නේපාලයේ ගංගා මායා අධිකාරි (Ganga Maya Adhikari) පසුගිය දිනවල පුවත්පත් ශීර්ෂපාඨ මවමින් සිටියේ සිය පුතාගේ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටු නොවන්නේ නම් මිය යන බව කියමින් පුරා දින 47 ක් බිර් රෝහලේ නිරාහාර උපවාසයක (a fast-unto-death) නිරත වී සිටි නිසා ය. මීට පෙර ද ඇය අවස්ථා ගණනාවක මෙවැනි නිරාහාර උපවාසවල නිරත වී සිටි අතර ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර ය.
අවසානයේ එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ චබිලාල් පවුදෙල් නමැත්තා සිය වරද පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයට භාර විය. මේ වන විට ඔහු ව නඩු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ක්‍රිෂ්ණන් ප්‍රසාද් අධිකාරි නම් වූ ගංගා මායා අධිකාරිගේ පුත්‍රයා ඝාතනයට ලක් වූයේ මෙයට වසර 14කට පෙර 2004 වසරේදී ය. සිය පුත්‍රයාගේ ඝාතකයන් සොයා දෙන ලෙස රජයෙන් කළ ඉල්ලීම් සියල්ලම ගඟට කැපූ ඉණි බවට පත්වෙද්දී 2013 වසරේදී ඇය සහ ඇගේ සැමියා වූ නන්ද ප්‍රසාද් අධිකාරි යන දෙදෙනාම එක්ව බාලුවතාර් හි පිහිටා ඇති අග්‍රමාත්‍ය නිල නිවසේදී නිරාහාර උපවාසය ආරම්භ කළහ. පසුව ඇගේ සැමියා නන්ද ප්‍රසාද් අධිකාරි මාස 11කට පසු උපවාසය හේතුවෙන් ම මරණයට පත් විය.
නන්ද ප්‍රසාද් අධිකාරිගේ මරණය නේපාල රජයට බරපතළ මානව හිමිකම් චෝදනා එල්ල වීමට හේතු විය. සිය ආදරණීය පුත්‍රයාට යුක්තිය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් සිය සැමියා නිරාහාරව මිය ගිය විට ගංගා මායා අධිකාරි තීරණය කළේ තමන් ද නිරාහාරවම මිය යා යුතු බව ය. නේපාල ආණ්ඩුව පොරොන්දු ඉටු කරන තෙක් ඇය සිය සටන අත්හැරියේ නැත. මේ නිසා ගංගා මායා අධිකාරි, නූතන මානව හිමිකම් ක්ෂේත්රයේ ගෙන ගිය අරගලය නේපාල ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවෙනු ඇත.
නේපාල රජය ගංගා මායා අධිකාරි හට නේපාල රුපියල් මිලියන 10 ක වන්දි මුදලක් ද ප්රදානය කිරීමට තීරණය කර තිබේ. මෙය මුලින්ම තීරණය වූයේ 2013 වසරේදී වුවත් එය සිදුවුණේ නැත. මේ අනුව ප්‍රමාද ගාස්තුවක් වශයෙන් ඇගේ නමට නේපාල කෘෂිකර්ම සංවර්ධන බැංකුවේ ඇති ගිණුමට පොලිය වශයෙන් නේපාල රුපියල් 19, 63,000 ක් ද බැර කිරීමට රජය මේ වන විට ක්‍රියා කර තිබේ. නේපාල රජය වගවීම ප්‍රකට කළ අවස්ථාවක් වශයෙන් ද මෙම සිදුවීම ඉතිහාසයට එක්වනු ඇති.