×

ජීවිතය වඩින තෙක් බලා සිටින යුවතී – නූරා හුසේන්

සුඩානයේ නූරා හුසේන් දැන් සිටින්නේ මරණය අබියස ය. තමන් ව නිදි යහනේදී අමානුෂික ලෙස දූෂණය කිරීමට තැත් කළ තමන්ගේම සැමියා ඝාතනය කළ බවට චෝදනා ලද ඇයට 2018 ජූනි මස මුල සතියේ මරණ දණ්ඩනය නියම වී තිබේ.


ඇය තමන්ගේම සැමියාව මරා දැමුවේ ඇයි?

නූරා හුසේන් 19 හැවිරිදි ය. ඇයට විවාහ වන ලෙසට පවුලෙන් බල කෙරුණේ වයස අවුරුදු 15 දී ය. එය ප්‍රතික්ෂේප කළ ඈ, වසර 3 ක කාලයක් නිවසින් පළාගොස් සිටියාය. අවසානයේ පියාගේ බලකිරීම මත 2017 අප්‍රේල් මාසයේ නූරාට විවාහ වීමට සිදු විය. නූරා සිය සැමියාට කැමති වූයේ නැත. අවසානයේ මධු සමයේදී සැමියා සමග ලිංගික සබඳතා පැවැත්වීම ඇය විසින් ප්‍රතික්ෂේප කළ විට ඇයව පළමු වරට සැමියා විසින් දූෂණය කෙරුණේ ඇගේම සහෝදරයා සහ ඥාති සහෝදරයන් දෙදෙනෙක් විසින් ඇයව අල්ලාගෙන සිටියදී ය.

පසුදිනයේ ද ඇගේ සැමියා ඇයව දූෂණය කිරීමට තැත් කළේය. එවිට නූරා හුසේන්, ඔහුට පිහියකින් ඇන මරා දැමුවාය. ඉන්පසු ගෙදර ගියාය. එවිට නිවැසියන් කළේ ඇයව අල්ලා පොලිසියට භාරදීමයි. 2017 මැයි මාසයේ ඇය මිනීමැරුම් නඩුවේ විත්තිකාරිය බවට පත්වූවාය.

සීඑන්එන් පුවත්සේවය, නූරා හුසේන් පිළිබඳ පළ කර ඇති එක් ශීර්ෂපාඨයක් ආරම්භ වන්නේ මෙසේ ය. ‘‘දත් සලකුණු සහ කැඩුණු ඇඳක්!“

දෑත්වල දරුණු කැපුම් තුවාළ, උරහිස්වලට කිඳා බැසි දත් පහර සහ කැඩුණු ඇඳක් ඇගේ නඩුවේ ප්‍රධානතම සාක්ෂි අතර වෙයි.

සුඩනයේ කාටුම් අගනුවර සිට ඇය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කණ්ඩායම ඇගේ දිවි බේරාගැනීම සඳහා මහත් සේ වෙහෙස වෙති. නූරා හුසේන් අයත් වන්නේ, වැස්සියක සේ නොඑසේ නම් දේපළක් වශයෙන් වැඩිමල් පිරිමින්ට බලෙන් විකුණා දමන කඳුළු පරම්පරාවට ය. ඇගේ ඉරණම බලහත්කාර විවාහ සහ වෛවාහක ස්ත්‍රී දූෂණය පිළිබඳ ආන්දෝලනයේ අලුත්ම පරිච්ඡේදය ද වේ.

සුඩාන නීතිය අනුව නූරා හුසේන් විවාහ විය යුතුව තිබුණේ විනිශ්චයකාරවරයෙක් ඉදිරියේ ය. එයට හේතුව විවාහ වන විට ඇගේ වයස අවුරුදු 18 ට අඩු වීමයි. ඒ අනුව නූරා හුසේන් එළඹ තිබෙන්නේ නීත්‍යානුකූල විවාහයකට නොවේ. එනම්, නූරාගේ විවාහය, නීතිය ඉදිරියේ බල රහිත ය. එයට අමතරව ඇය අත්අඩංගුවට ගන්නා විට ලබාගත් වෛද්‍ය වාර්තා ද ඔවුහු සිය ඇපෑලේදී වැඩි බරක් සහිතව ඉදිරිපත් කරති.

නූරා හුසේන් මංගල දිනයේදී…

තමන්ව සැමියා දූෂණය කළ බව නූරා කියතත්, නූරාගේ පවුලේ අය එය පිළිගන්නට සූදානම් නැත. ‘‘ඇයි ඒකි කසාද බැඳලනෙ හිටියෙ.. ස්වාමි පුරුෂයටනෙ අයිති..‘‘ යැයි ඔවුහු කියති.

ගැහැනියගේ ශරීරය, කසාදයෙන් පසුව තමන්ගේ පුද්ගලික දේපළක් වශයෙන් තවමත් පිළිගන්නා නොදියුණු ලෝකයක නූරා හුසේන්ලා දහස් ගණනක් කඳුළු මැද ජීවත් වෙති. ජීවිතය ගැන අල්ප හෝ බලාපොරොත්තුවක් නැතත්, නූරා හුසේන් ජීවිතය අයැදියි.

මේ වන විට ඇගේ ජීවිතය බේරා දෙන ලෙසටත්, ඇයට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ලෙසටත් සුඩාන රජයට බල කිරීම සඳහා අන්තර්ජාතික වශයෙන් විශාල ජන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි