×

කලකදි වහ – කලකදි රහ වෙනවාලු..

‘වෙරි ටැලන්ටඩ් ගයි‘.. ට්‍රම්ප්, කිම් ජොන් උන් හමුවූ පසුව කීවේ එසේ ය.


මොළේ ඇති කොලුවා වූ කිම් ජොන් උන් ද මේ හමුවේදී ‘න්‍යෂ්ටික අවිහරණය අද පටන් අරඹන බව‘ කීවේය. අද වන විට ට්‍රම්ප් සහතික වශයෙන්ම කියා තිබෙන්නේ ඇමරිකාව දකුණු කොරියාවේ සිදුකිරීමට නියමිතව සිටි සහ සිදුකරමින් සිටින ඒකාබද්ධ යුධ අභ්‍යාස ද නතර කරන බව ය.

නමුත් අතුරු කතා රැසක් මෙහි තිබේ.

රොකට් මෑන් සහ ඩෝටාඩ්

ඊයේ පෙරේදා වන තෙක්, උතුරු කොරියාවේ කිම් ජොන් උන් යනු ‘රොකට් මෑන්‘ ය. හෙවත්, අහස්කූරු යවා අහල ගම් බියවද්දන තක්කඩි කොල්ලෙකු මෙන් විටින් විට රොකට් විදිමින් කලාපය බියවැද්දවූ, කන ළඟින් බූ ගාන තක්කඩි කොලුවා ය. ඊයේ පෙරේදා වන තෙක්ම ‘ඩෝටාඩ්‘(dotard) හෙවත් ‘සිහිමද මහල්ලා‘ යනු ඇමරිකාවට සිදුවූ ‘ලොකුම අත්වැරදීම’ හෙවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

මේ දෙන්නාට දෙන්නා, වහකදුරු මෙන් වූ අතර, 2018 වසර ජනවාරි 1 වැනිදා රාත්‍රිය උදා වුණේ රොකට් මෑන් සහ ඩෝටාඩ්ගේ උමතු කතා නිසා බියවැදුණු ලෝකයකට ය. කන ළඟින් බූ ගාන දඩබ්බර කොලුවා න්‍යෂ්ටික බොත්තම තිබෙන්නේ තමන්ගේ මේසය උඩ යැයි කියූ අතර, සිහිමද මහල්ලා පසුදිනම කීයේ, ‘‘ඔහේගෙ බොත්තටම වඩා මගෙ බොත්තම ලොකුයි‘‘ කියා ය.!

නමුත් කලකදි වහ, කලකදි රහ වෙන බව සපථ කරමින් මේ වන විට මේ දෙදෙනා තරම් වීරයන් ජෝඩුවක් මෙලොව තවත් නැත. සැබෑවකි. ඇතැම්විට දෙදෙනා මේ වළක්වා ගත්තේ තුන්වන ලෝක යුද්ධය වීමට ද පුළුවන. ස්කයි නිව්ස්, සීඑන්එන්, වොෂින්ටන් පෝස්ට් වැනි පුවත්සේවාවන් කිහිපයක් නම් තවමත් ‘Rocket Man and Dotard‘ යනාදී වශයෙන් ශීර්ෂපාඨ ගෙන එනු පෙනේ.

නොබෙල් සාම ත්‍යාගය?

සියලුම දේවල් මේ අන්දමින්ම ඉදිරියට සිදුවුවහොත් 2018 නොබෙල් සාම ත්‍යාගය ‘ෂෙයාඩ් ප්‍රයිස්‘ එකක් වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර සමසේ බෙදී යාමට පවා ඉඩ ඇත. හරියට 1994 නොබෙල් සාම ත්‍යාගය, පලස්තීනයේ යසර් අර්ෆත් සහ ඊශ්‍රායලයේ යිට්සැක් රාබින් අතර බෙදී ගියාක් මෙනි.

සැබෑ වීරයා කවුද?

එයාෆෝස් යානයකින් සිංගප්පූරුවට පය තැබූ මොහොතේ පටන් ඩොනල්ඩ් ට්‍රම්ප් දෙස ලොවම තැති ගැන්මෙන් සහ දැඩි අවධානයකින් යුතුව බලා සිටියේ, ට්‍රම්ප් කුමක් කියන්නට යන්නේදැයි කිසිවෙකුට කලින් කිව නොහැකි නිසා ය. මේ අතර, කිම් ජොන් උන් ආවේ චීන ගුවන් යානාවකිනි. උතුරු කොරියානු නායකයා මේ හමුවට එන විට චීනය සමග සමීප සබඳතාවක් ගොඩ නගා ගැනීමට සමත් ව තිබූ බව සියුම් නිරීක්ෂකයන්ට පමණක් හසුවන කාරණයකි. ඔහු පසුගිය මාස කිහිපය තුළ ළඟ ළඟම දෙවතාවක් චීනයට ගියේය. කඳුකර සිරියාව නරඹන කුඩා කොල්ලෙකු මෙන් කිම් ජොන් කෝච්චියෙන් චීනයේ හැම තැනම ගියේය. කෙසේ නමුත් කිම් ජොන් උන් මේ ඉටු කරමින් සිටින්නේ චීන න්‍යාය පත්‍රයකැයි තවමත් කීමට වේලාසන වැඩි ය.

2018 ජූනි 12 වැනිදා පැවැත්වුණු ඓතිහාසික සමුළුවේදී කිම් ජොන් උන් සහ ට්‍රම්ප් හවුල් ප්‍රකාශකට අත්සන් තැබූහ. ඒ, උතුරු කොරියාව සම්බන්ධයෙන් නව ආරක්ෂක වගකීම් දැරීම, නව සාමකාමී සබඳතා ඇති කර ගැනීම, කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය ස්ථාපිත කිරීම, කොරියානු යුද්ධයෙන් මළ සොල්දාදුවන්ගේ අවශේෂ සොයාගැනීම සහ තවදුරටත් ඉහළ පෙළේ නිලධාරීන් සමග කතිකාවන් ඇති කර ගැනීම යන කාරණා සම්බන්ධයෙනි.

නමුත් සමස්ත චිත්‍රය එයට වඩා බොහෝ වර්ණවත් ය. ලෝකයේ බිහිසුණුම ආඥාදායකයා ද, ගුප්තම රාජ්‍ය නායකයා ද වශයෙන් ලෝකයෙන් 2011 වසරේ පටන් වැසුණු රටක රජ කරමින් සිටි මේ උතුරු කොරියාවේ ‘සුප්‍රීම් නායකයා‘ සැබවින්ම මේ කළේ ඔහුගේ පියාටත් සීයාටත් බැරි වූ දෙයයි. එනම් උතුරු කොරියාවේ දොරගුළු ලෝකයට විවර කිරීමයි. කිම් ජොන් ඉල් තාත්තා මෙන්ම කිම් ඉල් සුං සීයාද උතුරු කොරියාවේ මිනිසුන් අසූචි මිශ්‍ර කෑම කමින් රාජ්‍යත්වයට කඹුරමින් සිටින බව නොදැන සිටියා නොවේ. 1948 වසරේ සිට 1994 වසරේ මැරෙන තෙක්ම එක දිගට උතුරු කොරියාව අනුභව කළේ කිම් ඉල් සුං සීයා ය. 1945 වසරේ ජපන් අධිරාජ්‍යෙයන් ගැළවී කිරුළ හිස පැළඳි විට කිම් ඉල් සුං සිතුවේ ජපනා කළ දේම කොරියානු ක්‍රමයට කරන්නට ය. ඒ නිසා 1950 වසරේ දකුණු කොරියාව ආක්‍රමණය කිරීමට (එවකට කොරියාවේ දකුණ) ඔහු අණ දුන්නේය. ජගත් සංවිධානය සහ ඇමරිකාව දකුණු කොරියාවට ඉතිහාසයේ පළමු වතාවට ඈඳෙන්නේ මේ අමනෝඥ නියෝගය නිසා ය. එතැන් පටන් ඔහුගේ පුතා කිම් ජොන්-ඉල්, 2011 වසරේ මැරෙන තෙක්ම උතුරු කොරියාවේ ඉතිරිය අනුභව කළේය. අවසානයේ අද වන විට උතුරු කොරියාව යනු ජනතාව අසූචි මිශ්‍ර කෑම කන, මිනිසුන් මන්දපෝෂණයෙන් මිය යන රටකි. එය, නායකයෙක් මිය ගිය විට හත්දවසක් කුසගින්නේ සිටිය යුතු, එයින් ද නොනැවතී හිස්ටීරියාව වැළඳුණු කලෙක මෙන් බිම පෙරළෙමින් සහ අහසට අත් දිගු කරමින් වැළපිය යුතු නරුම රාජ්‍යයකි. සෝවියට් දේශය බිඳ වැටීමේ පසු උරුමයක් ලෙස 1994-98 අතර කාලයේදී උතුරු කොරියාවේ ඇති වූ සාගතය ලක්ෂ 24-35 ත් අතර ජනතාවක් මරා දැමුවේය. ඒ වන විට රටේ ජනගහනය සිටියේ ද ලක්ෂ 220 කි. එනම්, උතුරු කොරියාවෙන් 1/10 කට වඩා මේ කොලුවාගේ තාත්තා නොහොත් කිම් ජොන්-ඉල්ගේ සමයේදී මිය ගියේ බඩපණුවන් නිසා ය!

අදටත්, ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් දේශසීමාව හරහා දකුණු කොරියාවට පළා එන උතුරු කොරියානුවන්ගේ උදරයේ වැඩිපුරම සිටින්නේ ද පටිපණුවන් ය!

නමුත් ස්විට්සර්ලන්තයේ ඉගෙන ගත්, ට්‍රම්ප් තරමටම මැක්ඩොනල්ඩ්ස් ගිය කිම් ජොන්-ඉල්ගේ දෙවැනි පුතා, කිම් ජොන්-උන් නොහොත් නාහටෙ නාහන, කන ළඟින් බූ ගාන පොඩි පුතා කාලයත් සමග වෙනස් වූ සෙයකි. ලෝකය යනු උතුරු කොරියාවේ බඩසයින් දුක් විඳින ජනතාව තළමින් පෙළමින් සැප විඳීමේ පරපීඩා කාමුකත්වය නොවන බව කොලුවාට සිතුණා සේ ය. සැබවින්ම ඔහු ලෝකය දුටුවා සේ ය.

එනිසා, ඔහු ට්‍රම්ප්ගේ වහසිබස් වලට නොදෙවෙනි ව උත්තර දුන් නමුත්, ට්‍රම්ප්ගේ ඔලමොට්ටල තර්ජනවලට පමණ ඉක්මවා ප්‍රතිචාර දක්වන්නට ද  ඉක්මන් වුණේ නැත. තමන් සාකච්ඡාවලට කැමති නැතැයි මෙයට සති කිහිපයකට පෙර ට්‍රම්පච්චී ලියුමක්ම යැවූ විටත් ‘‘මම නම් ඕනෙ වෙලාවක එන්න ලෑස්තියි‘‘ වැනි ස්ථාවරයක සිටියේය. ඒ ගැන කියමින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශය හරහා ඇමරිකාවට පණිවුඩ ද යැව්වේය. එයින් නොනැවතී දකුණු කොරියාවේ පැවති ශීත ඔලිම්පික් උළෙලට ද ක්‍රීඩකයන් කණ්ඩායමක් යැව්වේය. ඉතින් ජනපීඩක මානසිකත්වයෙන් හති වැටී සිටින කිම් ජොන් උන් මේ කරන්නේ, උතුරු කොරියාව ලෝකයට විවර කිරීමයි. පරම්පරා ගණනක් දකුණේ සිටින සහ උතුර විසින් හොරෙන් පැහැරගෙන බලෙන් ගෙන ආ මිනිසුන්, උතුර දකුණ යාවෙන මතු දිනයේ සිය නෑ සියන් තුරුලේ අත්දකිනු ඇත්තේ ජීවිතය මිස අන් දෙයක් නොවේ. මේ අනුව මේ පුරාවෘත්තයේ සැබෑ ‘වැඩ්ඩා‘ කිම් ජොන් උන් ය.

මේ අතර, ට්‍රම්ප් ගේ මේ තීරණය නිසා ඇමරිකාවට ද නැතිවන්නට දෙයක් නැත. කුමන අර්ථයෙන් ගත්තද, දීර්ඝකාලීන විග්‍රහයේදී ට්‍රම්ප් යනු ඇමරිකාවට ‘දෙයියො දුන්නු දඬුවම‘ හැර වෙන දෙයක් නොවේ. ට්‍රම්ප්ගේ දුර නොදක්නා ආර්ථික ප්‍රතිපත්තිවල පලදාව ලැබෙනු ඇත්තේ තව දශකයක් හෝ ඊට නොඅඩු කාලයකිනි. ට්‍රම්ප් ධුරයට පත් වූ දා පටන් කළ කී දෑ අනුව, කිම් ජොන් උන්ගේ දුරදක්නා ප්‍රඥාව නිසා නොවේ නම් න්‍යෂ්ටික යුද්ධයක් ඇරඹීමට ඇමරිකාව සිටියේ ගිනි පිඹිමිනි. ලෝකයේ ලොකුම ආයුධ වෙළෙන්දා වන ඇමරිකාව, සංහිඳියාවට නොව යුද්ධයට පෙම් බඳින්නෙකි. ලෝකය ආරක්ෂණවාදයෙන් මිදී ලිබරල්වාදය වෙත පියනැගුවේ මන්දැයි වටහාගැනීමට තරම් බුද්ධියක් ට්‍රම්ප් ට තවම නැත. ඔහු නොමේරූ මහල්ලෙකි. මේ සිහිමද – නොමේරූ මහල්ලා තවමත් ආරක්ෂණවාදයේ පිහිට පතයි. එ් තුළ සිය පැවැත්ම සොයයි. ඉදිරියේදීද කොරියානු අර්ධද්වීපයේ සාමය යන මාතෘකාව, ට්‍රම්ප්ගේ ඔලොගුවේ ඇති දෙයක් නොව, කිම් ජොන් උන්ගේ මේසය මත ඇති දෙයක් බවට පත්වීම නිසැක ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්  දැන් මේ සාම ගිවිසුමේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හිමි කරගන්නට වලි කමින් සිටියි. දැන් ඉතින් ඔහුගේ ට්විටර් පිටුව පිරී යනු ඇත්තේ නොබෙල් සිහිනය ගැන උදාන වාක්‍යවලිනි. ‘‘මම අරේම කළා,.. මේමත් කළා.. අන්තිමට දින්නා..‘‘ යැයි ඔහු දැනටමත් කියමින් සිටියි. ඒවා අසා සිටිනවා හැර වෙන කරන්නට දෙයක් ද නැත.

නමුත් ‘කලකදි වහ-කලකදි රහ‘ වීම මනරම් දෙයකි. සෙන්තෝසා දූපතේ කැපෙලා හෝටලයේදී ඩොලර් මිලියන 15 ක් තමන්ගේ පසුම්බියෙන් වියදම් කරමින් සිංගප්පූරුව මේ හාදයන් දෙදෙනා එකම මේසයක ඉන්දවීමේ සැබෑ ප්‍රහර්ෂය ද උත්කර්ෂය ද එය වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි