×

ඉන්දියානු දේශපාලකයෙක් WhatsApp Groups 1800 ක් අලුතෙන් හදලා!

භාරතීය ජනතා පක්ෂයේ අලුත්ම මැතිවරණ ව්‍යාපෘතිය බවට පත්ව තිබෙන්නේ අමිත් ෂා ගේ ප්‍රධානත්වයෙන් දියත් වන වට්ස්අප් මෙහෙයුමකි.


ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) සභාපති අමිත් ෂා WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ Groups1800 ක් සාදා ඇති බව ඉන්දීය මාධ්‍ය හෙළිදරව් කරයි. දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාර සහ දේශපාලන ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් විසින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිටිනා ආකාරය ගැන මෙය තවත් ප්‍රබල නිදසුනකි.

ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය ලෙස හඳුන්වන මහ මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ 2019 වසරේදී ය. ඒ වෙනුවෙන් ඔවුන් මේ වනවිට සැලසුම් කර තිබෙන්නේ නූතනත්වය සමග අත්වැල් බැඳගත් සමාජ ජාල ප්‍රචාරණයක් හරහා කැම්පේන් කරන්නට ය.

භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ජා, සමාජ මාධ්‍ය සමග, විශේෂයෙන්ම ෆේස්බුක් සම්බන්ධයෙන් ප්‍රතිගාමී අදහස් දරන අයෙකි. පසුගිය දිනෙක ඔහු භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිරූපයට හානිදායක අන්දමින් ‘ෆේක් නිව්ස්‘ පෝස්ට් නොකරන ලෙසට සියලුම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් සහ පක්ෂ නායකයන්ගෙන් තර්ජනාත්මක විලාසයකින් ඉල්ලා සිටියේය.

amit-shah

අමිත් ෂා | Photo: Postcard News

දිල්ලියේ භාරතීය ජනතා පක්ෂ කාර්යාලයේ සමාජ මාධ්‍ය ඒකකය මේ වන විට අතිශය කාර්යබහුල තැනකි. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන නීල්කාන්ත් බක්ෂි මෙසේ කියා ඇත. “We are trying to bring all the party office bearers and workers on social media platforms. So far, over 1800 WhatsApp groups have been formed and the number is increasing.,

‘‘අපි සියලුම පක්ෂ සාමාජිකයන් සහ පක්ෂ නිලධාරීන් සමාජ මාධ්‍ය වේදිකා වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. මේ වන විට වට්ස් අප් ගෘෘප්ස් 1800 කට වඩා හදා තිබෙනවා. මේ සංඛ්‍යාව වැඩි වෙමින් යනවා..“

ඔවුන් පවසන්නේ පරිශීලකයන්ට සෘජුවම තොරතුරු ලබාදීම සහ ව්‍යාජ පුවත් පැතිර යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

භාරතීය ජනතා පක්ෂ නායක අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පණිවුඩ සහ භාරතීය ජනතා පක්ෂ මධ්‍යම රජයේ ජයග්‍රහණ පිළිබඳ පණිවුඩ පැතිරවීම දිරිමත් කිරීම සඳහා එම පක්ෂය දිස්ත්‍රික් සහ මණ්ඩල මට්ටමින් රැස්වීම් පැවැත්වීමට ද ඉදිරි මාස කිහිපය තුළ කටයුතු කරනු ඇත.

නරේන්ද්‍ර මෝදි | www.mid-day.com

නරේන්ද්‍ර මෝදි | www.mid-day.com

පක්ෂ න්‍යායපත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ කණ්ඩායම් ආකර්ෂණය කර ගැනීම මෙම වැඩපිළිවෙළේ වැදගත් අංගයකි. ඒ අනුව සෑම මැතිවරණ ආසනයකින්ම මෙම වට්ස්අප් කණ්ඩායම් පවත්වාගෙන යාම සඳහා ස්වෙච්ඡාවෙන් වැඩකරනවුන් 100 දෙනා බැගින් බඳවා ගැනෙනු ඇත. මෙම ස්වෙච්ඡා සේවකයන් කිසිදු පක්ෂ රැස්වීමකට, කිසිදු උද්ඝෝෂණයකට හෝ වෙනත් දේශපාලන ක්‍රියාකාරකමකට සහභාගි විය යුතු නැත. ඔවුන්ගෙන් අපේක්ෂා කරන අවමය වන්නේ සෑම දිනකම තමන්ගේ ජංගම දුරකථනය හරහා පැය බාගයක කාලයක් වෙන් කරගෙන වට්ස්අප් ගෘෘපය යාවත්කාලීන කරමින් පණිවුඩ බෙදා දීමයි. කර්ණාටක ප්‍රාන්තය තුළ පමණක් මේ සඳහා 25,000 ක කණ්ඩායමක් මේ වන විටත් හඳුනාගෙන තිබේ.

ඔවුන්ට මේ සඳහා ගෙවීමක් සිදුකරනු ලැබේ.

ස්මාට් ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ කෙසේද සහ ජංගම දුරකථනය තුළම කන්ටෙන්ට් එකක් (content) නිර්මාණය කර ගන්නේ කෙසේද සහ අනතුරුව එය සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත කිරීමට අනුගමනය කළ හැකි කෙටි ක්‍රම යනාදිය ගැන මේ වන විට භාරතීය ජනතා පක්ෂය සිය ස්වෙච්ඡා තරුණ පිරිස් සඳහා වැඩමුළු ද පවත්වමින් සිටියි. පක්ෂ ඇජෙන්ඩාවට අදාළව ප්‍රචාරණ අමුද්‍රව්‍ය ඔවුන් විසින්ම නිර්මාණය කිරීම සඳහා මෙමගින් දිරි ගැන්වේ. මෙහි පළමු පිරිස බෙන්ගලාරු හිදී පුහුණු වැඩමුළුවකට සහභාගි වූ අතර, මෙම කණ්ඩායම් අනතුරුව තම තමන්ගේ මැතිවරණ ආසනවලට ගොස් සිය පුහුණුව බෙදා දෙමින් තව තවත් කණ්ඩායම් නිර්මාණය කරනු ඇත.

එසේම මෙම ඇප් හරහා දත්ත එක්රැස් කිරීම සිදුවන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර 2016 වසරේදී වාර්තා වූයේ භාරතීය ජනතා පක්ෂය සිය සමාජ ජාල සාමාජිකයන්ගේ වයස, නේවාසික ලිපිනය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ දත්ත එක්රැස් කර ඇති බවයි. මේ වන විට කර්ණාටක ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂය සඳහා ලක්ෂ 84 ක් දෙනා ස්වෙච්ඡාවෙන් ලියාපදිංදි වී ඇත. ඒ අතරින් තෝරාගත් 25,000 ක් දෙනා මෙම සමාජ මාධ්‍ය මෙහෙයුම් සඳහා තෝරාගෙන ඇත. සති අන්තයේ දී ද සිය පහසුව අනුව තම වැඩකරන වේලාවන් තෝරාගැනීමට ඔවුන්ට හැකියාව තිබේ.

භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන පණිවුඩය වන්නේ ‘යහපාලනය, විනිවිදභාවය සහ වගවීම‘ යි. එදා පොදු ජනයාගේ අන්තර්ජාල වේදිකාව යනුවෙන් හැඳින්වූ සමාජ මාධ්‍ය ජාලය මේ වන විට දේශපාලන න්‍යායපත්‍රයන් සඳහා මහා පරිමාණයෙන් හා සංවිධානාත්මක ලෙස යොදාගන්නා බවට ඉන්දියාවෙන් සැපයෙන අලුත්ම උදාහරණය වන්නේ මෙම සිද්ධියයි.

2017 වසර තුළ ඉන්දියාවේ වට්ස්අප් පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 200 ක් විය. 2017 වසර තුන්වන කාර්තුව වන විට ඉන්දියාව සිටින්නේ ලෝකයේ පළමු වට්ස්අප් පරිශීලක රටවල් අතර 09 වන තැන ය. ලෝකයේ වට්ස්අප් වෙළඳපොළ සැලකූ විට ඉන්දියාව එයින් 28%කට හිමිකම් කියයි. (මූලාශ්‍රය: https://www.statista.com/statistics/291540/mobile-internet-user-whatsapp/)

 https://www.statista.com/statistics/291540/mobile-internet-user-whatsapp/

මූලාශ්‍රය: https://www.statista.com/statistics/291540/mobile-internet-user-whatsapp/

ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල වට්ස්අප්වලටත් වඩා ප්‍රචලිත සමාජ මාධ්‍ය වන්නේ ඉන්ස්ටන්ට් මැසෙන්ජර් (instant messenger) ය. 2014 මහ මැතිවරණයේදී මෝදිගේ බලය තහවුරු කිරීම සඳහා මිලියන 50 ක් වූ ඉන්ස්ටන්ට් මැසෙන්ජර් පරිශීලකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රචාරණ ව්‍යපාරයක් දියත් කළ බවට තොරතුරු තිබේ. මේ වන විට ඉන්දීය ලෝක් සභා මැතිවරණයට විශාල අභියෝගයක් වශයෙන් සැලකෙන්නේ කර්ණාටක ප්‍රාන්තයේ බලය කොංග්‍රසය වෙත තිබීමයි. නමුත් කොංග්‍රසයේ මැතිවරණ දේහය මේ වන විට මහා පරිමාණ දූෂණ චෝදනාවලින් වැසී ගොස් ඇති හෙයින් එබඳු ඌනතාවන් හයිලයිට් කිරීම සඳහා ද සමාජ ජාල ප්‍රචාරණ නොමදව යොදාගැනෙනවා ඇත.

ඉන්දියාව තුළ භාරතීය ජනතා පක්ෂය හින්දුත්වවාදය ප්‍රචාරණය කරන බවට භාරතීය ජනතා පක්ෂය වෙත නැගෙන චෝදනාව සුළුපටු නොවේ. අද දිනයේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරන්නේ බටහිර බෙංගාල මහඇමතිනී මම්තා බැනර්ජි විසින් මෝදි වෙත එල්ල කරන බරපතළ චෝදනාවකි. භාරතීය ජනතා පක්ෂය ‘තලෙයිබාන ක්‍රමයට හින්දුත්වවාදය ව්‍යාප්ත කරමින් සිටින බව‘ ඇය එහිදී කියා තිබේ.

බහු ආගමික, බහු වාර්ගික සහ බහු සංස්කෘතික රටවල් දේශපාලන ඇජෙන්ඩා අනුව ප්‍රමුඛතාවයේ ස්ථානගත කරන අලුත්ම අවිය ලෙස මේ වන විට යොදාගැනෙමින් තිබෙන්නේ සමාජ මාධ්‍යයන් ය. නාමල් රාජපක්ෂගේ ට්විටර් පොකුරු ගිණුම් යනාදිය හරහා ලංකාව ද මේ තත්වය අත්දකිමින් සිටින බවට තොරතුරු බොහෝ ය. 2017 ජනවාරි මාසය වන විට ලංකාවේ ජංගම දුරකථන හරහා සමාජ ජාල භාවිතා කරන පරිශීලකයන් ගණන මිලියන 4.2 කි. (මූලාශ්‍රය: We Are Social) ලංකාවේ ඩිජිටල් අවකාශ වර්ධනය සම්බන්ධයෙන් සැලකූ විට 2017 ජනවාරි මාසය වන විට එය 50%කට අධික වර්ධනයක් පෙන්වීය. (මූලාශ්‍රය: We Are Social)

ඊයේ දිනයේදී (21) අමිත් ෂා රාජස්ථාන් ප්‍රාන්තයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් පවසා තිබුණේ ‘දිනකට පැය 18 බැගින්‘ මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් වැඩ කළ යුතු බව ය!

සැබවින්ම ඉදිරි වසර 2 ක කාලයේදී  ආසියානු දේශපාලනයේ මැතිවරණ ජයග්‍රහණ සම්බන්ධ තීරණාත්මක සාධකය බවට පත්වනු ඇත්තේ සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන න්‍යායපත්‍රානුකූල ප්‍රචාරණයයි. එයින් සිදුවීමට නියමිත අවැඩ සහ සමාජ පරිහානිය, සමාජ මාධ්‍ය පරිශීලකයාගේ සාක්ෂරතාවයේ සහ මොළයේ ප්‍රමාණය අනුව තීරණය වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි