×

සුෂ්මා ‘සුන්‘කිරීම සහ සමාජ මාධ්‍ය මර්දනයට ආදර ඇරයුම

සුෂ්මා ස්වරාජ් මේ තත්වයට මුහුණ දුන් පළමු ඉන්දීය කාන්තාව නොවේ. භාරතීය ජනතා පක්ෂයේ ශිෂ්‍ය සංගමය විසින් දිල්ලි සරසවියේ සිදුකරන ප්‍රචණ්ඩතා ගැන ට්වීට් කළ ගුර්මෙහාර් කවුර් හට ද මේ ඉරණම අත් විය.


ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සමාජ මාධ්‍ය හරහා ‘දුෂ්ට සැලකීම්වලට‘, තර්ජන හා අවමානයන්ට නතු ව තිබේ. එසේ වීමට තරම් ඈ කළ වරද කුමක්ද? හින්දු – මුස්ලිම් යුවළකට පාස්පෝට් ලබාදීමට මැදිහත් වීමයි!
‘අනාගමික වීම‘ සහ ‘මුසල්මානුවන් සතුටු කිරීම‘ ( “appeasing Muslims and being secular”) යන චෝදනා දෙකෙන් ද මේ හා සමාන්තරව ඇයට දමා ගසනු ලැබේ.
කතාව ඇරඹුණේ මෙසේ ය. මුස්ලිම් තැනැත්තෙක් සහ ඔහු සමග විවාපත් වූ හින්දු භාර්යාව, ලක්නව් පාස්පෝට් කාර්යාලයෙන් සිය විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට යාමේදී විකාස් මිෂ්රා නමැති නිලධාරියා විසින් එම තරුණියව හිරිහැරයට පත් කර තිබේ. එම අත්දැකීම, තන්වි සෙත් නමැති එම තරුණිය විස්තර කරන්නේ මෙසේ ය. ‘‘ඔහු සදාචාර පොලිසියක් වගේ මගෙන් ප්‍රශ්න කරන්නටත් මට උපදෙස් දෙන්නටත් පටන් ගත්තා.“ මුස්ලිම් ජාතිකයෙක් සමග විවාපත් වීමෙන් අනතුරුව ඇගේ නම මුස්ලිම් බවට හරවාගෙන නොතිබීම ඔහුගේ දැඩි විවේචනයට සහ ප්‍රශ්න කිරීමට මෙහිදී වස්තු බීජ වී තිබිණි.
ලක්නව් යනු උත්තර් ප්‍රදේශ් හෙවත්, ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තයේ අගනගරයයි. හින්දු යුවතියක විවාහයෙන් පසුව, විශේෂයෙන්ම අන්‍යාගමිකයෙකු සමග විවාපත් වීමෙන් පසුව සිය නම වෙනස් කර නොතිබීම නිසා මේ නුවර පාස්පෝට් කාර්යාලයේ නිලධරයා කුපිත වී තිබේ! පසුව තන්වි නමැති එම යුවතිය මාධ්‍යය අමතා කියා තිබුණේ එයින් නොනැවතුණු මේ නිලධාරියා, සැමියාට පාස්පෝට් ලබාදීමට නම් ඔහු හින්දු ආගමට හැරිය යුතු යැයි ද පැවසූ බවයි. එතෙක් තමන් විසින් පාස්පෝට් දෙක රඳවා තබාගන්නා බව ද ඔහු කියා තිබේ!
‍සිද්ධියෙන් අනතුරුව තන්වි සෙත්, සුෂ්මා ස්වරාජ් විදේශ කටයුතු ඇමතිනියව ටැග් කරමින් මෙසේ ට්විටර් පණිවුඩයක් ලීවාය හෙවත් ට්වීට් කළාය.  “… Married a Muslim and not changed my name ever. He spoke to me very rudely and was loud enough for others to hear while discussing my case. I have never felt so harassed ever before. The other workers at the office acknowledged his rude demeanor,”

එහි සිංහල අදහස මෙසේ ය. 

‘‘මා මුස්ලිම් ජාතිකයෙකු විවාහ කර ගත්තත් නම වෙනස් කර ගත්තේ නැහැ. මේ නිලධාරියා මට ඉතාම රළු විදිහට කතා කළා. අවට සිටි අයටත් ඇසෙන විදිහට මහ හයියෙන් මේ ගැන කතා කළා. මම මීට පෙර කිසිදාක මේ තරම් අඩන්තේට්ටමකට ලක් වී නැහැ. කාර්යාලයේ සිටි අනෙක් අයත් ඔහුගේ මේ රළු හැසිරීම අනුමත කළා.“
කවුරුන් කෙසේ කුමන වැදගත් කාරණය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ව ටැග් කළත් නොදැක්කා සේ සිටින රටවල් ද ලෝකයේ එමට තිබියදී මේ වගකීම් සහගත ඉන්දීය ඇමතිනිය වහාම මේ ගැටළුවට ප්‍රතිචාර දැක්වූවාය. එම හින්දු යුවතියට වහාම විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට කටයුතු සිදු කෙරුණු අතර, අදාළ වැරදි හැසිරීම පළ කළ නිලධාරියාව වහාම ස්ථාන මාරුවකට ලක් කෙරිණි. ඒ, යාබද ගෝරක්පූර් දිස්ත්‍රික්කයේ වීසා කාර්යාලයට ය.
ඉන්පසුව සුෂ්මා ස්වරාජ්ට සිදුවූයේ ‘ට්විටර් සන්තෑසිය‘කි. පසුගිය ඉරිදා පටන් ඇගේ ට්විටර් ගිණුම පිරී ගියේ, අපහාසාත්මක වදන් සහ තර්ජනවලිනි. ඒවායින් ඇතැමකින් යෝජනා කර තිබුණේ ඇය වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ය. උපතින් හින්දු ජාතිකයෙක් වන ඇය ‘මුස්ලිමුන්ගේ පැත්තට අදින බව‘ ට්විටර් පණිවුඩ ගණනාවකින් කියා තිබිණි. පාලක භාරතීය ජනතා පක්ෂයේ දැඩි මතධාරී හින්දු ස්ථාවරයට ‘කීකරු නොවීම‘ ගැන ද ඇතැමුන් දෙස් දී තිබිණි. තවත් සමහරුන් ඇයව ‘වීසා මාතා‘ යැයි ද අපහාසාත්මක ලෙස අමතා තිබිණි.
ඇයව පාර දිගේ ඇදගෙන යා යුතු බව ද ඇතැමුන් කියා තිබූ අතර, තවත් අය ඇය මුහුණ දුන් වකුගඩු ශල්‍යකර්මය පවා ඉලක්ක කර ගනිමින් ඇගේ පුද්ගලිකත්වය ඉතාම නින්දිත අයුරින් ආක්‍රමණය කර තිබුණේ මෙසේ ය.
‘‘නුඹ ගැන ලැජ්ජයි. මේක නුඹේ ‘ඉස්ලාමීය වකුගඩුවේ‘ බලපෑමක්ද..?!
සුෂ්මා ස්වරාජ් 2016 දෙසැම්බර් මාසයේ වකුගඩු සැත්කමකට මුහුණ දුන්නාය. එම වකුගඩුව ඇයට දානය කළ තැනැත්තා මුස්ලිම් ජාතිකයෙකු බව කියමින් වාර්ගික අන්තවාදය සහ ජාතිවාදය ඇගේ ට්විටර් ගිණුමේ අවලස්සන ලෙස පෙරළිකරමින් සිටියදී ඔවුන්ට කදිම පිළිතුරක් දෙමින් සුෂ්මා ස්වරාජ් කියා තිබුණේ වකුගඩුවල ආගම කුමක්දැයි ලේබල් ගසා නැති බවයි.
තවත් අලජ්ජිත ට්විටර් පරිශීලකයෙක් මෙසේ ද කියා තිබිණි.  “She is almost dead woman as she runs on only one kidney (borrowed from someone else) and any time that can stop working.” -එක වකුගඩුවකින් ජීවත් වන (වෙනත් කෙනෙකුගෙන් ණයට ගත්) ඇය දැනටමත් මළමිනියක් ගානයි. කොයි වෙලාවෙ හරි ඒ එක වකුගඩුවත් නතර වෙන්න පුළුවන්!“
තන්වි නමැති හින්දු තරුණිය මුස්ලිම් ජාතිකයෙකු විවාහ කර ගැනීම, විවාහයෙන් පසු ඇය මුස්ලිම් නමක් ලබා නොගැනීම හෝ සැමියා හින්දු ආගමට මාරු නොවීම යන සිද්ධිමය කාරණා සියල්ලම මේ සමාජ ජාල පරිශීලකයන් පාවිච්චි කරන්නේ සුෂ්මා ස්වරාජ් ව සුන් කිරීම සඳහා ය. ඇය මේ ගැටළුවේදී ගත යුතුව තිබුණේ හින්දු පාස්පෝට් නිලධාරියාගේ පැත්ත බව ඔවුහු සිතති. අදාළ ලක්නව් පාස්පෝට් කාර්යාලයේ ඒ අවස්ථාවේ සිටි බව කියමින් ද ඇතැමෙක් ට්වීට්ස් ට්‍රොල්ස් ධාරාව සමග එක්ව සිටියේ තන්වි සෙන් බොරු කියන බවත්, ඇය පවසන ආකාරයේ හිරිහැරයක් එතැන සිදු නොවූ බවත් සනාථ කිරීමට එක් වෙමිනි.
මෙම හින්දුත්ව ට්‍රොල්ස් රැල්ල ඇතිවීමට බලපා තිබූ තවත් හේතුවක් වූයේ අදාළ පාස්පෝට් නිලධාරියා විසින් පළ කර තිබූ ට්වීටයකි. මුස්ලිම් විවාහ එකඟතාවය අනුව තන්විට ‘ෂදියා අනස්‘ යනුවෙන් නම මාරු කර ගැනීමට තමන් විසින් යෝජනා කළ බවත්, තමන් ඇගේ ලේඛන දැඩි පරීක්ෂාවට ලක් කළේ වැරදීමක් සිදුනොවනු පිණිස බවත් ඔහු ඒෂියන් නිව්ස් ඉන්ටනැෂනල් පුවත් සේවාව වෙත කියා තිබිණි. ඔහුගේ ප්‍රකාශය සහ ඔහුගේ ස්ථාන මාරුව විසින් කුපිත කරවනු ලැබූ හින්දුත්වවාදීන්, සුෂ්මා ස්වරාජ් නමැති රටේ ඉහළම නිලයක් දරන කාන්තාවගේ නිලයට සහ ඇගේ පුද්ගලික ජීවිතයට පහර දුන් ආකාරය, සමාජ මාධ්‍ය ජාල හරහා ආසියාතිකයන් අත් විඳින්නට ප්‍රිය කරන ‘වල්බූරු නිදහස‘ පිළිබඳ කදිම සාක්ෂියකි.
සුෂ්මාට ට්විටර් හරහා මෙසේ දිගට හරහට පහර වැදෙද්දී ඇගේ කිසිදු දේශපාලන සගයෙක් හෝ මිතුරෙක් ඇගේ සහායට එකදු ට්විටර් පණිවුඩයක් හෝ නිල වශයෙන් පෝස්ට් කළේ නැත! ඈ වෙනුවෙන් ට්විටර් ඔස්සේ හඬනැගුවේ මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන් සහ විචාර බුද්ධියෙන් යුත් උගතුන් පමණි.

සැබෑ ජීවිතයේදීත් නැති දෙයක්

අන්තර් ආගමික විවාහ හෙවත් ආගම් දෙකකට හෝ විශ්වාසයන් දෙකකට අයත් පුද්ගලයන් දෙදෙනෙක් හදවතේ බැම්මෙන් එක් වී ඔවුන් විවාහ වූ පසු ඒ පිළිබඳ ඔවුන්ටත් නැති මහත් වූ රුදාවක් ඇති කර ගන්නෝ ඊනියා කී බෝඩ් වීරයෝ ය. එසේත් නැතිනම් අන්තර්ජාලය ඔස්සේ පුද්ගල ප්‍රතිරූප විනාශ කරමින් ජාතිවාදය සහ ආගම්වාදය පැටව් ගස්සවන්නෝ ය. සමාජ මාධ්‍ය උපදින්නේම අන්තර් මානව සබඳතා ජාලගත කරමින් සමාජය ජීවත් වීමට වඩාත් සුදුසු තැනක් බවට පත් කිරීමට බවට ඔවුන් තුළ කිසිදු අදහසක් නැත. සමාජ මාධ්‍ය භාවිතය සමාජ වගකීම සමග බද්ධ කළ යුතු බව ට ඔවුන්ට කිසිදු හැඟීමක් නැත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ඔවුන් හැසිරෙන්නේ සමාජ මාධ්‍ය හෝ අන්තර්ජාලය ඔස්සේ ලැබී ඇති නිදහස, ඔවුන්ට දරාගත නොහැකිවාක් මෙනි. පැහැදිලිවම මෙය ආචාරධර්ම සහ සමාජ මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ බරපතළ ගැටලුවකි. නමුත් සිය සැබෑ ජීවිතවල පවා ස්වයං පාලනයක් නැති ආසියාතික ජාගර සන්දර්භය තුළ අන්තර්ජාල හෝ සමාජ මාධ්‍ය භාවිතය තුළදී පමණක් ස්වයං පාලනයක් බලාපොරොත්තු විය හැකිද?

හැබෑවට බැරි දේ සමාජ මාධ්‍ය හරහා

සුෂ්මා ස්වරාජ් මේ තත්වයට මුහුණ දුන් පළමු ඉන්දීය කාන්තාව නොවේ. භාරතීය ජනතා පක්ෂයේ ශිෂ්‍ය සංගමය විසින් දිල්ලි සරසවියේ සිදුකරන ප්‍රචණ්ඩතා ගැන ට්වීට් කළ ගුර්මෙහාර් කවුර් හට ද මේ ඉරණම අත් විය. ඉන්දියානු නිළි ප්‍රියංකා චොප්රා වරක්, හින්දු අන්තවාදීන් ත්‍රස්තවාදීන් සේ හැසිරෙන ආකාරය දැක්වෙන ඉන්දීය ටෙලිවිෂන් මාලා නාටකයක රඟපෑවිට ද ඇයට මෙවැනිම ට්විටර් ‘සාප රැල්ලකට‘ මුහුණ දීමට සිදුවූයේ හින්දු ජාතිකයන් කිසිවිටෙක ත්‍රස්තවාදීන් නොවන බවත්, සියලු මුසල්මානුවන් ත්‍රස්තවාදීන් බවත් සිතන නූගත් සමාජ ජාල පරිශීලකයන් හේතුවෙනි.

‘‘විෂබීජ අපගේ ය. නමුත් සුළඟ වූයේ ෆේස්බුක් ය!“ 

ආසියාතික රටවල පොදු ලක්ෂණයක් සේ දැකිය හැකි මෙම සමාජ මාධ්‍ය අවභාවිතයට දේශීය සන්දර්භය තුළ දැකිය හැකි නිදසුන් අපමණ ය. නමුත් ෆැන්ටසියේ උත්කර්ෂය සමාජ විනාශයක් දක්වා ඇදී යාමට සමාජ ජාල යොදාගැනීමට පරිශීලකයන් උත්සුක වීම ඔවුන්ගේම වළ කපා ගැනීමකි. දිගන ප්‍රහාර උත්සන්න  වූ සමයේ මුස්ලිමුන්ට එරෙහිව සිංහල ෆේස්බුක් පරිශීලකයන් හැසිරුණු ආකාරය ගැන නිව්යෝක් ටයිම්ස් හි පළ වූ, එහි රචකයන් මැද මහනුවර සිටි ලියූ අගනා ලිපිය ”Where Countries Are Tinderboxes and Facebook is a Match“ https://www.nytimes.com/2018/04/21/world/asia/facebook-sri-lanka-riots.html මගින් සවිස්තරාත්මක ව දැක්වෙන්නේ ගිනි ඇවිලීමට අවශ්‍ය කළමනා සියල්ල සහිත ගිනිපෙට්ටිවලට සමාන රටවලට ෆේස්බුක් සමාජ ජාලය ගිනිකූරක් වූ හැටි ගැන ය. එහිදී ජනාධිපති උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හරින්ද්‍ර දිසානායක පැවසුවේ තමන් ෆේස්බුක් වෙත සම්පූර්ණයෙන්ම දොස් නොකියන බව ය. එහිදී ඔහු ගෙන ආ උපමාව, The germs are ours, but Facebook is the wind, | ‘‘විෂබීජ අපගේ ය. නමුත් සුළඟ වන්නේ ෆේස්බුක් ය!“ යන්න අද දක්වා සැලකෙන්නේ සමාජ ජාල පරිශීලකයන්ගේ හැසිරීම සහ පාලනය සහ ලංකාවේ සිදුකළ ෆේස්බුක් අවහිරය පිළිබඳ බහුඅරුත් සපයන කදිම කියමනක් ලෙස ය.

සමාජ මාධ්‍ය කුමක් කරනු ඇතිද?

සමාජ මාධ්‍ය තුළ ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ මාර්ගෝපදේශනයන් සමූහයක් තිබේ. ප්‍රචණ්ඩත්වය වැපිරීම, පුද්ගලිකත්වයට පහර දීම යනාදිය ඒවායින් සපුරා තහනම් ය. ඒවා ප්‍රකාශිතව ඉංග්‍රීසි ඇතුළු ප්‍රධාන භාෂාවන් කිහිපයකින් එකී සමාජ මාධ්‍ය තුළ අන්තර්ගත ව ඇති නමුත් ඒවා කියවන්නට කරදර වන්නේ කවුද? අනෙක් අතට, කේම්බ්‍රිජ් ඇනලිටිකා වැනි අපවාදවලින් පසු, සමාජ මාධ්‍ය අධීක්ෂණය, එකී සමාගම් විසින් දැඩි කර ඇති අවස්ථාවක, මෙවැනි අවභාවිතයන් ඔවුන්ගේ අධීක්ෂණයට හසු නොවෙන්නේ ද යන පැනය මතු වේ.
උදාහරණයක් වශයෙන් ෆේස්බුක් සමාජ ජාලය ගනිමු. මේ මොහොත වන විට තාක්ෂණික අධීක්ෂණ යාන්ත්‍රණයන්ට අමතරව ලොව පුරා ෆේස්බුක් ‘කන්ටෙන්ට් මොඩරේටර්ස්‘ලා හෙවත් පරිශීලකයන් ෆේස්බුක් වෙත ඇතුළත් කරන තොරතුරු ‘ඩිලීට් කළ යුතුද‘ නොඑසේ නම් ‘ඉග්නෝ කළ යුතුද‘ යන්න තීරණය කරන මානව අධීක්ෂණයන් 10,000 ක් දෙනා ලොව පුරා විවිධ තැන් හි සිට සිය රැකියාව කරති. ඔවුන්ගේ රැකියාවේ ගුණාත්මය කොතරම් පහළ මට්ටමක පවතින්නේදැයි වටහා ගැනීමට නම් ඔබ ‘ද ක්ලීනර්ස්‘ වාර්තා චිත්‍රපටය නැරඹිය යුතුමය. පිලිපීනයේ මුඩුක්කුවල වෙසෙන, ඩුටර්ටි වීරයෙකු සේ සලකන ජාතියේ කී බෝඩ් වීරයන් පිරිසක් එහිදී ඔබට මුණ ගැසෙනු ඇත. ලොව පුරා මිලියන 3 ක් පමණ ෂෙයා කර තිබූ ට්‍රම්ප්ගේ සුප්‍රකට චිත්‍රය ‘නග්න‘ හෝ ‘නියුඩිටි‘ සේ සලකා ඩිලීට් කර දැමුවේ ඔවුන් විසිනි. වෙනකක් තබා, වියට්නාම් යුද්ධයේදී ඇමරිකානු හමුදාව විසින් එල්ල කළ නාපාම් ප්‍රහාරයට හසු වී – සියොළඟම පිළිස්සී යාම නිසා නිරුවතින් දිව යන වියට්නාම් දැරියගේ සුප්‍රකට ඡායාරූපය පවා මෙවැනි ‘මොඩරේටර්ස්ලා‘ විසින් ෆේස්බුක් තුළින් ඩිලීට් කර දමනු ලැබීය. අබු ග්‍රාහිබ් වධ කඳවුරේදී ඇමරිකානු සොල්දාදුවන් සුනඛයෙක් අත දරාගෙන රැඳවියෙකු වධ බන්ධනයට ලක්කරන සුප්‍රකට ඡායාරූපය, මේ ඊනියා මොඩරේටරයන් දුටුවේ ප්‍රචණ්ඩත්වය ප්‍රකට කරන්නක් ලෙසිනි. එය මකා දැමූ පිලිපීන මොඩරේටර්වරියගේ කල්පනාව වූයේ ඒ සිටින්නේ රැඳවියෙකු නොව අයිසිස් භටයෙකු බව ය! ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත අන්තර්ගතයන් ගැන අබමල් රේණුවකවත් අවබෝධයක් නැතිව අන්තර්ගතය පාලනය කරන, පරිශීලකයන්ගේ නිදහස ගැන තමන්ගේ මනසේ තරමේ හැටියට තීරණ ගන්නා ඊනියා සදාචාර පොලිසියක් ෆේස්බුක් තුළ අද ක්‍රියාත්මක වෙමින් තිබේ. එය, අපහාසාත්මක යැයි සංවිධානාත්මකව ‘රිපෝට්‘ කළ පමණින් ෆේස්බුක් පිටු වසා දමන, දේශීය භාෂා බාධකය හමුවේ නිරුත්තර වන, වැදි ප්‍රජාවට අයත් සාමාජිකයෙකුගේ ඡායාරූපයක් පළ කළත් ‘නියුඩිටි‘ චෝදනාව යටතේ ගිණුම් අවහිර කරන ෆේස්බුක් පොලිසියේම තවත් දිගුවකි.
ඒ අතරවාරයේම, ට්විටර් සමාජ ජාලය සැලකුවහොත්, සුෂ්මා ස්වරාජ් හට අපහාසාත්මක අන්දමින් ඉංග්‍රීසි බසින් ට්විටර් පෝස්ට් පළවෙද්දී පවා ට්විටර් පාලකයන් නිහඬ ය. සැබවින්ම මෙවැනි අත්තනෝමතික නිදහසක් රිසි සේ අත්විඳින සමාජ ජාල ප්‍රජාව අනාගතයේදී මුහුණ දීමට නියමිත සැබෑ අවදානම පවතින්නේ ඊට වඩා බොහෝ ඉහළිනි. එය රාජ්‍ය මර්දනයට ඇරයුමක් විය හැකි බව සිතන්නට තරම් බුද්ධියක් ඔවුන්ට නැත.

රාජ්‍ය මර්දනයට ආදර ඇරයුමක්

‍2017 ජූනි මාසයේ ජර්මනිය ප්‍රධාන වශයෙන්ම ‘හේට් ස්පීච්‘ හෙවත් ‘‘වෛරී කථනය‘‘ට එරෙහිව පනතක් ගෙන ආවේය. එහි අරමුණ අන් කිසිවක් නොව සමාජ මාධ්‍ය ජාල නියාමනය කිරීමයි. 2018 ජනවාරි 1 වැනිදා පටන් ජර්මනියේ නීතිය බවට පත් ව ඇති, NetzDG කෙටි නමින් හඳුන්වන එහි නිල නාමය Network Enforcement Act හෙවත් ‘ජාල බලගැන්වීමේ පනත‘ ය. බලගැන්වීම කෙසේ වෙතත්, මෙහි විධිවිධාන ප්‍රකාරව සමාජිකයන් 10,000 කට වඩා සිටින සමාජ මාධ්‍ය ජාලයක් තුළ වෛරී කථනයක්, ආණ්ඩු විරෝධී යමක් පළ වුවහොත් එය එනයින්ම අපරාධ වරදක් වන අතර, යූරෝ මිලියන 50 දක්වා වූ අති දැවැන්ත දඩයකට මෙන්ම සමාජ ජාලය රට තුළ වසා දැමීම ද ආණ්ඩුවට සිදුකළ හැකි ය. ඉන්දියාවේ ද අප පසුගිය දිනවල දුටුවේ වාර්ගික හෝ ආගමික අසහනය ඇවිළවූ බවට චෝදනා කරමින් ඉන්දීය ආණ්ඩුව, ෆේස්බුක් ගිණුම් දහස් ගණනක් අත්හිටුවා ඇති බවට එරට වගකිව යුතු දේශපාලකයෙකු විසින් පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ පවසන ආකාරයයි. සුෂ්මා ස්වරාජ් ගේ ට්විටර් ගිණුම් සිද්ධියේදී මෙවන් බලපෑමක් ඇති වනු ඇතැයි කීමට තවම වේලාසන වැඩි වන්නේ, අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැනි දැඩි හින්දුත්වවාදියෙක්, මුස්ලිමුන්ට කත් ඇද්දා යැයි දොස් අසන සුෂ්මා ස්වරාජ් විදේශ කටයුතු ඇමතිනිය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි සිතීමට අපහසු නිසා ය. කෙසේ නමුත් ‘විෂබීජ සුළඟ‘ට නතුවීම වෙනුවට වේලාසනින්ම – අපම පෙරහණක් බැඳ ගැනීම වඩා සුදුසු ය.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි