×

කබීලා ගෙදර යන්න සූදානම්. මීළඟ නායකයා යුධ අපරාධකරුවෙක්ද?

කොංගෝ රාජ්‍යය පුරා දශක දෙකකට ආසන්න කාලයක් යකඩ හස්තයකින් පාලනය කළ ජෝසප් කබීලා තුන් වන වාරයක් සඳහා ධුරයේ රැඳී නොසිටීමට තීරණය කර තිබේ.


කොංගෝ ජනපති ජෝසප් කබීලා (Joseph Kabila) 3 වන වතාවට ජනාධිපති වීමට අපේක්ෂා නොකරන බව ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒ වෙනුවට ඔහු විසින් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එම්මානුවෙල් රමාසානි සිය අනුප්‍රාප්තිකයා වශයෙන් නම් කර තිබේ.

මීට පෙර කොංගෝවෙන් ලැබුණු ආරංචි මාර්ග සඳහන් කළේ කොංගෝ ජනපති ජෝසප් කබීලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරමින් තෙවන වර තේරී පත්වීම සඳහා දෙසැම්බර් 23 වැනිදා පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව ය.

කොංගෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කොංගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ උපරිම ධුර කාලය වාර දෙකකි.

ජෝසප් කබීලා කොංගෝවේ ජනාධිපති පදවියට පත්වූයේ 2001 වසරේදී සිය පියා වන ලෝරන්ට් කබීලාගෙන් පසුව ය. එතැන් පටන් මේ මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය තුළ දැඩි ග්‍රහණයක් පවත්වාගෙන යාමට ඔහු සමත් විය. 2016 වසරේදී කබීලාගේ දෙවන ධුර කාලය ද අවසන් වූ නමුත් බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ ඔහු තවදුරටත් ධුරයේ රැඳී සිටියේ රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කරමිනි. ඒ අනුව හටගත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් පුද්ගලයන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බලයෙන් ඉවත් වීම සඳහා කබීලා ගෙන ඇති තීරණය ඇම්නේස්ටි ඉන්ටනැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා ආයතනය) මානව හිමිකම් සංවිධානය විසින් විස්තර කරන්නේ ‘කොංගෝ ජනතාවට සුබ ආරංචියක්‘ යනුවෙනි.

බෙම්බාගේ ආගමනය

බෙම්බා අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයේදී (ICC)

කොංගෝවේ හිටපු උප ජනාධිපති ජීන්-පියරේ බෙම්බා (Jean-Pierre Bemba) පසුගිය සතියේ සිය රට බලා පැමිණියේය. ඔහු MLC පක්ෂයේ නායකයා ය. තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහු විසින් මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

පියරේ බෙම්බා කින්ෂාෂා නුවරට පැමිණෙන අවස්ථාවේදී ඔහුගේ ආධාරකරුවෝ රැසක් ඔහුව පිළිගැනීම සඳහා එක්රොක් ව සිටියහ. බෙම්බා වසර 10කට අධික කාලයක් ගත කළේ බෙල්ජියමේ හේග් නුවර බන්ධනාගාරයක ය. 2002 ඔක්තෝබරය සහ 2003 මාර්තු අතර කාලය තුළ කොංගෝ හමුදාවට අසල්වැසි මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ තුළ යුධ අපරාධ සිදුකළ බවට එල්ල වූ චෝදනා එහිදී විභාග විය. පසුව අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය විසින් ඔහු වරදකරු නොවන බවට තීන්දු කෙරිණි. එහිදී තීරණය වූයේ කොංගෝ හමුදාව විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් ඔහු වෙත වගකීමක් නොපැවරෙන බව ය. නමුත් වෙනත් නඩුවක තීන්දුව ලැබෙන තෙක් ඔහුව බෙල්ජියමේ නිලධාරීන් වෙත භාරදීම සිදුවිය. අවසානයේ බෙල්ජියමේ සිට ඔහු සිය රට බලා පැමිණ තිබුණේ ද පුද්ගලික ජෙට් යානාවකිනි. බෙම්බාගේ රථ පෙරහැරට මාර්ගය පාදා ගැනීම සඳහා පොලිසියට මිනිසුන් විසුරුවා හැරීම පිණිස කඳුළු ගෑස් ප්‍රහාර පවා එල්ල කිරීමට සිදුව තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි