×

ජගත් සංවිධානයේ ‘රොක් තරුව‘- හිටපු මහ ලේකම් කොෆී අනන් සමුගෙන යයි.

ජගත් සංවිධානයේ හිටපු මහලේකම් කොෆී අනන්, වයස අවුරුදු 80 දී, අද දිනයේ මෙලොව හැර ගියේය.


ලෝකයේ එදා මෙදාතුර බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ජගත් සංවිධානයේ ජනකාන්ත සලකුණක් වශයෙන් ඝානා ජාතික කොෆී අනන් ( Kofi Annan) සැලකේ. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙවත් ජගත් සංවිධානයේ මහලේකම් ධුරයට පත් ප්‍රථම කළු අප්‍රිකානුවා වශයෙන් ද කොෆී අනන් ඉතිහාසගත වේ.

කෙටි කලක් ඔත්පළව සිටීමෙන් පසු අද දිනයේ ඔහු ස්විට්සර්ලන්තයේදී මිය ගිය බව කොෆී අනන් පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කොෆී අනන් සිය වෘත්තීය ජීවිතය සහමුලින්ම පාහේ කැප කළේ ජගත් සංවිධානයේ උන්නතිය උදෙසා ය. ලෙහෙසියෙන් කලබල නොවන සන්සුන්, එහෙත් දැඩි පෞරුෂයක් වශයෙන් ඔහු ලොව පුරා ප්‍රකට ය. ජගත් සංවිධානයේ සත්වැනි මහලේකම්වරයා මෙන්ම, ජගත් සංවිධානයේ නිත්‍ය කාර්ය මණ්ඩලය අතරින් මහලේකම් පදවියට පත් කරගත් ප්‍රථමයා ද කොෆී අනන් වේ. වාර දෙකක්, එනම් 1997 ජනවාරි 1 වැනිදා පටන් 2006 වසරේ දෙසැම්බර් 31 දක්වා ජගත් සංවිධානයට නායකත්වය ලබාදුන්නේය.

2001 නොබෙල් සාම ත්‍යාගයේ සම ජයග්‍රාහකයන් දෙදෙනා බවට පත්වූයේ ද කොෆී අනන් සහ ජගත් සංවිධානයයි. එය, ජගත් සංවිධානයේ ප්‍රතිරූපය ඉහළ නංවමින් පුද්ගලයෙකු වශයෙන් ද සිය ප්‍රතිරූපය ඉහළ නංවාගැනීමට කොෆී අනන් දැක්වූ සමර්ථබව පිළිබඳ හොඳම උදාහරණයයි.

කොෆී අනන් ජගත් සංවිධානයේ මුල් පුටුව හෙබවූ කාල පරිච්ඡේදය, 1945 වසරෙන් පසු එම සංවිධානය වැඩි වශයෙන්ම පරිහානියට පත්ව තිබූ සමයයි. කොෆී අනන්, එම කීර්ති නාමය නැවත සංවිධානය වෙත ගෙන ඒමට මෙන්ම, සිය ඉලක්ක සාර්ථක කර ගැනීමට ද නොමද දායකත්වයක් සැපයීය. ඔහු ජගත් සංවිධානයේ මුල් පුටුවට පත්වන විට සෝවියට් සංගමය කැඩී යාම නිසා අලුත් ප්‍රශ්න රැසක් හටගෙන තිබූ අතර, සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් ඇමරිකාවේ පදනම් සසල වීම, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සඳහා ගෝලීය බලවේගයක අවශ්‍යතාවය වැනි තත්වයන් හටගත්තේය. ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදුවූ ඉරාක ආක්‍රමණය සම්බන්ධයෙන් මේ යුගයේ ලෝකය විසම්මුතියක පසුවිය.

‘‘මා සිතන ආකාරයට මගේ අඳුරුතම මොහොත වන්නේ ඉරාක යුද්ධයයි. අපට ඉරාක යුද්ධය නතර කර ගන්න නොහැකි වීමයි.“ අනන්,  2013 පෙබරවාරි මාසයේ ජාත්‍යන්තර ටයිම් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පැවසීය. ‘‘මම එයට බෙහෙවින් වෙහෙස වී වැඩ කළා. ලෝක නායකයන් ගණනාවක් සමග දුරකථනයෙන් සංවාද කළා. ඇමරිකාවට ආරක්ෂක කවුන්සිලයේ සහයෝගය තිබුණේ නැහැ..“ යනුවෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් කොෆී අනන් පදනම වෙත වීඩියෝ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පැවසීය.

‘‘ඒ නිසා ඇමරිකාව තීරණය කළේ ආරක්ෂක කවුන්සිලයේ සහයෝගය නැතිව යුද්ධයට යන්නයි. ජගත් සංවිධානය මේ යුද්ධය අනුමත කළා නම් සංවිධානයේ කීර්ති නාමයට සිදුවන දේ ඔබට සිතාගන්නට පුළුවන්ද?“ ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් මේ සම්බන්ධයෙන් ජගත් සංවිධානය විවේචනය කළේ යුද්ධයට සහයෝගය පළ නොකිරීම හරහා ජගත් සංවිධානය ‘අදාළ දේවල් නොකරන බව‘ කියමිනි. ‘‘නමුත් අපි එසේ නොකළේ මන්දැයි දැන් ඔබ හොඳින් දන්නවා.“ යැයි කොෆී අනන් පසුව පැවසීය.

කොෆී අනන් සිය දෙවැනි ධුර කාලයේදී විශාල කාලයක් වැය කළේ ජගත් සංවිධානයට ඇමරිකා එක්සත් ජනපදයෙන් අය විය යුතුව තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 2 ක මුදල නැවත ලබාගන්නට ය.

අවසානයේ 2006 දෙසැම්බර් 31 වැනිදා ජගත් සංවිධානය හැර යන විට එය, සාම සාධක මෙහෙයුම්වලට දැඩි සේ කැපවුණු, දුප්පත්කම තුරන් කිරීම සඳහා වේගයෙන් වැඩ කරන ගෝලීය සංවිධානයක් බවට පත්ව තිබුණේය.

‘‘කොෆී අනන්, යහපත සඳහා මගපෙන්වූ බලවේගයක් වීය‘යි ජගත් සංවිධානයේ වත්මන් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් (Antonio Guterres) පවසයි. ‘‘සංවිධානය තුළ විවිධ තනතුරු හොබවමින් ඔහු සංවිධානය අභිමානවත් සහ නිත්‍ය අධිෂ්ඨානයෙන් යුතුව සහශ්‍රකය වෙත ගමන් කරන තැනක් බවට පත්කළා‘‘.

සහශ්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals)වල නියමුවා

ජගත් සංවිධානයේ සහශ්‍රක සංවර්ධන ඉලක්ක ලොව පුරා කතා බහට ලක්වූවක් වන අතර, ශ්‍රී ලංකාව ද ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක ඒවා ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙළවල් සකස් විය. කොෆී අනන් මේ පිටුපස සිටි නිත්‍ය නියමුවා විය.

නිවැරදිවම කියන්නේ නම් කොෆී අනන් කිසිදු විටෙක විශ්‍රාමික ජීවිතයක් ගත නොකළේය. සංවිධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ද ඔහු විවිධ ගරු තනතුරු හොබවමින් එය සමග රැඳී සිටියේය. එක්සත් ජාතීන්ගේ අරාබි ලීගය සඳහා විශේෂ නියෝජිතවරයා වශයෙන් 2012 වසරේ සිරියානු කටයුතු අධීක්ෂණය කළේ ඔහු ය. එසේම 2007 වසරේදී පිහිටුවා ගත් කොෆී අනන් පදනම හරහා ඔහු නිතිපතාම ගෝලීය ගැටළු සමග රැඳී සිටියේය.

‘අට්ටා‘

කොෆී අනන්ගේ නමට ‘අට්ටා‘ නමින් තවත් මැද කොටසක් ඇත. ඝානාවේව අකාන් බසින් එහි අරුත ‘නිවුන්‘ යන්නයි. කොෆී අනන් සමගම නිවුන් සහෝදරියක් වන ඉයුෆා උපත ලබා තිබීම එයට හේතුවයි. 1938 අප්‍රේල් 8 වැනිදා ඝානාවේ කුමාසි නුවර ප්‍රභූ පවුලක උපන් කොෆී ‘අට්ටා‘ අනන්, පළාත් ආණ්ඩුකාරවරයෙකුගේ පුතෙකි. එසේම ඔහු ගෝත්‍රික නායකයන් දෙදෙනෙකුගේ මුණුපුරා ද වේ.

කුමාසි හි සැප පහසු ජීවිතයක් ගත කළ ඔහු හොඳ අධ්‍යාපනයක් ලබාගත්තේය. කුමාසි හි විද්‍යා හා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු කොෆී අනන් ඉංග්‍රීසි, ප්‍රංශ සහ අප්‍රිකානු භාෂා ගණනාවක නිපුණතාවය ලබාගත්තේය. ඇමරිකාවේ මිනසොටා හි ආර්ථික විද්‍යාව පිළිබඳ අධ්‍යයන කටයුතුවලින් අනතුරුව ඔහු ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා ගියේය. එහිදී අන්තර්ජාතික ගැටළු පිළිබඳ උපාධියක් හැදෑරීම ආරම්භ කළ ඔහු, ජගත් සංවිධානයට බැඳුණේය.

මේ ඝානා ජාතිකයා විවාහ වුණේ 1965 වසරේදී නයිජීරියානු කාන්තාවක සමග ය. අමා නමැති දියණියක් සහ කෝජෝ නමැති පුත්‍රයෙක් ඔවුන්ට සිටියි. 1971 වසරේ නැවත ඇමරිකාව බලා පැමිණෙන කොෆී අනන් විවාහ ජීවිතයෙන් වෙන් වෙමින් නැවත අධ්‍යාපනය වෙත යොමු විය. ඉන්පසු ජිනීවා වෙත නැවත ගොස් ජගත් සංවිධානයේ කටයුතුවල නියැළෙන අතර, ස්වීඩන් ජාතික නීතීඥවරියක් වන නැනේ ලැගර්ග්‍රෙන් මුණ ගැසී 1984 වසරේදී ඇය සමග විවාපත් විය.

ජගත් සංවිධානයේ තනතුරු ගණනාවක්

ඉතියෝපියාවේ අප්‍රිකාව සඳහා වන ජගත් සංවිධාන ආර්ථික කොමිෂන් සභාවේ, ඊජිප්තුවේ හදිසි බලකායේ සහ ජිනීවා හි සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ කොෆී අනන් මුල් කාලයේ සේවය කළේ ජගත් සංවිධාන සේවකයෙක් විසිනි.

පසුව ඔහු නිව්යෝක් නුවර පිහිටා තිබෙන ජගත් සංවිධාන මූලස්ථානයේ මානව සම්පත්, අයවැය, මූල්‍ය සහ කාර්ය මණ්ඩල ආරක්ෂාව පිළිබඳ ජ්‍යේෂ්ඨ තනතුරු ගණනාවක් ඔහු විසින් හෙබවීය.

1990 වසරේ ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක්‍රමණය කිරීමෙන් පසු එහි රැඳී සිටි 900 කට ආසන්න අන්තර්ජාතික කාර්ය මණ්ඩලය සහ ඉරාක නොවන ජාතිකයන් රටෙන් පිටකිරීමේ මෙහෙයුම්වල මූලිකත්වය ගත්තේ ඔහු විසිනි. එසේම ඉරාකය තුළ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි බටහිර ජාතිකයන් එයින් මුදවා ගැනීම සඳහා ද ඔහු කටයුතු කළේය. මානුෂීය සහන, තෙල් සමග හුවමාරු කර ගැනීම සඳහා ඉරාකය සමග මූලික සාකච්ඡා පැවැත්වූයේ ද ඔහු විසිනි.

ජගත් සංවිධානයේ මහලේකම් ධුරයට පත්වීමට පෙර කොෆී අනන් සේවය කරමින් සිටියේ ජගත් සංවිධාන සාම සාධක කටයුතු ප්‍රධානියා සහ පැරණි යුගෝස්ලෝවියාව සඳහා පත් කළ විශේෂ නියෝජිතයා ලෙස ය.

කළු පැල්ලම් 2ක්

ජගත් සංවිධානය කොෆී අනන්ගේ ධුර කාලයේදී විශාල කළු පැල්ලම් දෙකක් ද තවරා ගත්තේය. එ්, 1994 රුවන්ඩා සමූලඝාතනය සහ 1995 ජූලි මාසයේ බොස්නියාවේ සීබ්‍රෙනිකා නුවර සිදුවූ සංහාරයයි. මේ සංහාර ද්විත්වය වැළැක්වීමට ජගත් සංවිධානය මැදිහත් නොවුණු බවට නැගෙන චෝදනාව සුළුපටු නොවේ. මේ අවස්ථා දෙකේදීම කොෆී අනන්ගේ නායකත්වය යටතේ ජගත් සංවිධානය සාම සාධක සේනා මෙහෙයවූ නමුත්, සිවිල් ජීවිත බේරාගැනීමට ඔවුහු අසමත් වූහ. අනන් මේ වෙනුවෙන් පසුව සමාව ඉල්ලා සිටියේය. පසුව මහ ලේකම් ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු මේ සිදුවීම් දෙකම සම්බන්ධයෙන් වාර්තා කැඳවීය.

සුරැකීමේ සිද්ධාන්තය

මහ ලේකම්වරයා වශයෙන් කොෆී අනන් සිය අත්දැකීම් ඇසුරෙන් ජගත් සංවිධානයට නව සිද්ධාන්තයක් සකස් කර දුන්නේය. ඒ, “Responsibility to Protect,” හෙවත් ‘සුරැකීමේ සිද්ධාන්තය‘ යි. වර්ග සංහාරය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වාර්ගික ශෝධනය සහ යුධ අපරාධ යන අංශයන් සමග කටයුතු කරන විට පාදක කර ගත යුත්තේ මෙම සිද්ධාන්තය බව ඔහු තරයේ කියා සිටියේය.

1999 වසරේ නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් නිදහස ලබන විට එයින් ලොව පුරා පැතිර ගිය බලපෑමක් ඇති විය. එමගින් අවධාරණය කෙරුණේ ද සාමූහික සමාජ වගකීම පිළිබඳ සිද්ධාන්තයයි.

2006 වසරේදී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ඇතිකිරීමට ද කොෆී අනන් මූලිකත්වය ගත්තේය. එසේම බකාස්සි අර්ධද්වීපය සම්බන්ධයෙන් කැමරුන් රාජ්‍යය සහ නයිජීරියාව අතර ඇති වූ ආරවලක් සමථකරණයට සඳහා ද ඔහු මැදිහත් විය.

ජගත් සංවිධානයෙන් සමුගැනීමේ කතාව කරන විට කොෆී අනන් පැවසුවේ ජගත් සංවිධානයේ මූලික ජයග්‍රහණයන් වන්නේ මානව හිමිකම් ප්‍රවර්ධනය, අති දිළිඳුකම හා අති ධනවත් කම අතර ඇති පරතරය පියවීමට කටයුතු කිරීම සහ ඒඩ්ස් වැනි බෝවන රෝග නිවාරණය සඳහා ගෙන යන සටනයි.

කිසිවක් පුද්ගලිකව නොගත් මිනිසා

මේ සියල්ල පරයා කොෆී අනන් නාමය, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් දිළිසීමට තවත් හේතුවක් තිබේ. එනම්, කිසිදු කාරණයක් පුද්ගලිකව තමන්ට පීඩාවක් බවට පත් කර නොගැනීමට ඔහු දැක්වූ අසහාය සමත් කමයි. වෘත්තීය වශයෙන් ලබන කිසිදු පසුබැසීමක් ඔහු සිය පුද්ගලික කඩා වැටීමක් ලෙස දුටුවේ නැත. එසේම ප්‍රසිද්ධ සංසදයන්වලදී තමන් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බව ඔහු අමතක කර දැමුවේය.

වරක් සිය ජීවිත කතාව ලියමින් කොෆී අනන්, ලෝකයේ ඉහළම අන්තර්ජාතික සංවිධානයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වීම කුමක් වැනිදැයි උපහාස රසයෙන් අනූනව මෙසේ ලියයි. ‘‘”SG,” for secretary-general, also signified “scapegoat” around U.N. headquarters.!“

ජගත් සංවිධානයේ හිටපු ඇමරිකා එක්සත් ජනපද තානාපති රිචඩ් හෝල්බෘෘක් මෙසේ කියයි. ‘‘කොෆී අනන් යනු, රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ රොක් තරුවයි!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි