×

නයිජීරියාවේ ජනාධිපති පුතාගේ මංගල්‍යය : පුද්ගලික ජෙට් යානා 50 ක් – මුහුණු ආවරණ ගළවාගෙන ජය වේවා යැයි කෑ ගැසූ සෙනගක්

උතුරු නයිජීරියාවේ කානෝ නගරයේ ගුවන් තොටුපොළ හිටිවනම පුද්ගලික ජෙට් යානාවන්ගෙන් පිරී ගියේය.


නයිජීරියාවේ සහ බටහිර අප්‍රිකාවේ ප්‍රභූ ආරාධිතයන් පැමිණ තිබුණේ ඒවායෙනි. හිටපු නයිජීරියානු ජනපති ගුඩ්ලක් ජොන්සන් ද ඒ අතර විය. ගැම්බියාවේ ජනපති ආර්යාව ද ගැම්මෙන් යුතුව පැමිණ, මනාලිය සමග ඡායාරූපවලට පෙනී සිටියාය.

නයිජීරියානු ජනපතිවරයාගේ පුතා වන යුසුෆ් බුහාරි සහ රටේ ප්‍රබල ආගමික නායකයෙකුගේ දියණිය වන නසීර් බයෙරෝ විවාපත් වන්නට යන නිසාය, ඒ.

රාජකීය මාළිගයට ගොඩබිමින් පැමිණියෝ ද දහස් ගණනකි.

සැමරුම් ඇරඹුණේ සෙනසුරාදා ය. මේ රාජකීය විවාහයත් සමග බිචී හි එමීර්වරයා වශයෙන් මනාලියගේ පියාට අලුත් පට්ටමක් ලැබේ. එනම්, ඔහුගේ ආගමික නායකත්වය තවත් ඉහළ තලයකට ඔසවා තැබේ. අලුත විවාපත් ජෝඩුව නම් ඒ උත්සවයේදී දැක ගන්නට ලැබුණේ නැත.

අලුත් නෑයෝ

තරුණ යුවළ හමුවුණේ එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේදී ය. කොතරම් ලිබරල් විදේශයන් හි අධ්‍යාපනය ලැබුවත්, හැදී වැඩුණත් උපන් රටේදී මහජන මුදල් කාබාසීනියා කරමින් අන්ත පසුගාමී ලෙස වසංගතය මැද පවා රාජකීය වෙඩිමක් ගැනීම සංස්කෘතිකත්වයට ගරු කිරීමකි! පිටරටවල ඉගෙන ගෙන ලංකාවේ ක්‍රමයට ලංකාවේදී හැසිරෙන ජනාධිපති පුතාලා, අගමැති-ඇමති පුතාලා සහ අලුත් පුතාලා ගැන තොරතුරු ලංකාවේ ද එමට ය.

නයිජීරියාව කෙතරම් සංස්කෘතික රටක් ද යත්, මංගල්‍යයට පෙර මනාලිය විසින් සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැර තිබූ ඡායාරූප සමහරක් රටවැසියන්ගේ උදහසට හේතු වූයේ ඒවා ‘අශ්ශීල‘ බව කියමිනි. හේතුව, එම ඡායාරූපවල මනාලියගේ ඇඳුමේ උරහිස් නිරාවරණය ව පැවතීම ය!

යුසුෆ් බුහාරි වැනි, නයිජීරියානු ජනපති මුහමදු බුහාරිගේ ජීවතුන් අතර සිටින එකම පුත්‍රයා කරකාර බඳින විට මීට වඩා සංයමයක් ඇති කුමරියක තෝරාගන්නටත් තිබුණා යැයි කියූ අය සිටියහ.

සමහරුන් කීවේ පුද්ගලික ජෙට් යානා 100 ක් පමණ මංගල්‍යයට ආ බවයි. කෙසේ නමුත් BBC පුවත් සේවය නයිජීරියානු ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් ඒ ගැන ඇසූ විට ගණන භාගයකට බස්සවා තිබිණි.

උත්සවය කරගත්තේ ‘යන්තමින්‘ බව බොහෝ දෙනාගේ අදහසයි. හේතුව, නයිජීරියාව නරක ලෙස කොරෝනා වෛරස් වසංගතයෙන් බැට කමින් සිටින නිසා ය. මරණ දෙදහස් ගණනකි. රාජකීය වෙඩිමට පැමිණ සිටි බොහෝ අය මුහුණු ආවරණ පැළඳ සිටීමට උත්සුක වූයේ ඒ නිසා ය. නමුත් දැඩි ආරක්ෂාවක් මැද මාළිගය වටා රැස්ව සිටි අය නම් මුහුණු ආවරණ ගැන තැකුවේ නැත. ඒවා පහත් කරගෙන හෝ ගළවාගෙන ඔවුහු ප්‍රීති ඝෝෂා නැගූහ. රජුන්ට සුබ පතන විට ඒ බව පෙනෙන්නටත් තිබිය යුතුය. රජුට පක්ෂපාතීත්වය පෙන්වූ පසු යටත් වැසියන්ට මළත් කම් නැත. අප්‍රිකානු හා ආසියානු රටවල බහුතර මානසිකත්වය එයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි