ලෝක න්‍යෂ්ටික අවිවලින් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ රුසියාවෙහි යැයි බී.බී.සී. මාධ්‍යය සේවය පසුගියදා වාර්තා කර තිබිණ. න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන රටවල් කවරේ ද, ඒ ඒ රටවල් සතුව කොපමණ න්‍යෂ්ටික අවි ප්‍රමාණයක් පවතින්නේ ද යන්නත් මේ වාර්තාවෙන් අනාවරණය විය. ශීතල යුධයෙන් පසුව ගෝලීය න්‍යෂ්ටික අවි සංචිතය කැපී පෙනෙන ලෙස පහළ බැස ඇතැයි කියා අවි ආයුධ පිළිබඳ විශාරදයෝ පෙන්වා දෙති. Nuclear weapons – reality check
එසේ වුවත් පුපුරණ ද්‍රව්‍යය අඩංගු මිසයිල ශීර්ෂ සිය ගණනක් එක් කෙටි දැනුම් දීමකින් ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ඔවුන්ගේ අදහසයි. මේ තත්ත්වය තුළ න්‍යෂ්ටික අවි සහිත සෑම රාජ්‍යයක්ම තම යුධායුධ ගබඩා පමණක් නොව තම සැලසුම් පවා නවීකරණය කර ගත යුතු බැව් එකී විද්වත්හු අවධාරණය කරති.
න්‍යෂ්ටික අවි බලය සහිත සෑම රටක්ම වාගේ එකී කාරණය හා බද්ධ බොහෝ තොරතුරු සඟවන බව දක්නට ලැබේ. රටවල් නවයක් න්‍යෂ්ටික අවි 9000කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ හමුදා සේවාවන් තබාගෙන ඇතැයි කියා චෝදනා නැඟෙ. ඒවා ගොඩබිම් හෝ සාමුද්‍රික හෝ මිසයිල බවත් ගුවන් නැව් කඳවුරුවල ගබඩා කර තිබෙන බවත් වාර්තාව පෙන්වා දෙයි. එයින් 1800කට ආසන්න සංඛ්‍යාවක් ඉතා සුළු අනතුරු ඇඟවීමක් මඟින් වුව ක්‍රියාත්මක මට්ටමට රැගෙන ඒමට හැකි වීම භයානක තත්ත්වයකි.
න්‍යෂ්ටික අවි සීමා කිරීම පිළිබඳ ජාත්‍යන්තර එකඟතාවයක් රටවල් අතර ඇත. 1970 සිට රාජ්‍ය 190ක් පමණ මේ එකඟතාවයත් සමඟ කටයුතු කරයි. න්‍යෂ්ටික අවි බලය සතු ප්‍රබලයන් ලෙස සැලකෙන රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ චීනය වැනි රටවල් ඒ අතර ඇත. ඉන්දියාව, ඊශ්‍රායලය සහ පාකිස්තානය මේ ගිවිසුමට කිසිදිනෙක අත්සන් තැබුවේ නැත. න්‍යෂ්ටික අවි හරණ ගිවිසුමට උතුරු කොරියාව පළමුව අත්සන් කළ මුත් 2003දී එයින් ඉවත් වූයේය. න්‍යෂ්ටික අවි බලය සහිත ලෝක බලවතුන් පස්දෙනා මතු කී එකඟතාවය මඟින් හඳුනාගෙන ඇත. එකී පංච මහා බලවතුන් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ චීනයයි. මේ රටවල් පහම න්‍යෂ්ටික අවි අත්හදා බලන්නට පටන් ගත්තේ න්‍යෂ්ටික අවි හරණ ගිවිසුමට අත්සන් කරන්නට පළමුව සිට යැයි කියාත් අනාවරණය වේ. ගිවිසුමට යටත් වීමත් සමඟම ඒ රටවල් න්‍යෂ්ටික අවි ගබඩා පවත්වාගෙන යෑම සීමා කර ඇත. හඳුනා නොගත් රටවල් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම ගිවිසුම මඟින් තහනම් කෙරිණ. දකුණු අප්‍රිකාව සහ සෝවියට් සංගමයේ සාමාජිකයන්ව සිටි බෙලරුසියාව, කසකස්තානය සහ යුක්‍රේනය න්‍යෂ්ටික අවි වර්ධනය කිරීමේ පටිපාටියෙන් ඒ අනුව ඉවත් විණ.
රට රටවල න්‍යෂ්ටික අවිහරණ ප්‍රගතිය
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ රුසියාව යන රාජ්‍ය පුපුරණ ද්‍රව්‍ය සහිත මිසයිල ශීර්ෂ වර්ධනය මේ වනවිට පහළ දමා තිබේ. ඊශ්‍රායලය සහ ප්‍රංශය සාපේක්ෂව වෙනස්වීමක් පෙන්වා නැත. චීනය, පාකිස්තානය, ඉන්දියාව සහ උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වැඩි කළ බව ඇමෙරිකා විද්‍යාඥයන්ගේ ෆෙඩරේෂනය පෙන්වා දෙයි.
මේ අතර, එක්සත් රාජධානිය 2020 වසරේ මැද භාගය වනවිට එරට සංචිත ගත න්‍යෂ්ටික අවි ප්‍රමාණය 180ක් පමණ වනතුරු පහළ හෙලන්නට සැලසුම් කර තිබේ. වසර දෙදහස් හතළිස් ගණන් වනවිට සිය න්‍යෂ්ටික ශක්තිය වර්ධනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ඇමෙරිකා, ඩොලර් ට්‍රිලියනයක් යෙදවීමට සැලසුම් කර ඇත. ඇමෙරිකාව නිපදවන පුපුරණ ද්‍රව්‍ය සහිත මිසයිල ශීර්ෂ 150ක් පමණ බෙල්ජියම, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ තුර්කිය වැනි රටවලදී ඉදිරියේදී දක්නට ලැබෙනු ඇති බව සඳහන් වේ.
න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සම්බන්ධයෙන් ලෝක නායකයන් විටින් විට කතා කර ඇත. න්‍යෂ්ටික අවිවලින් තොරව ලෝක සාමය සහ ආරක්ෂාව ඇතිකිරීමට තමන් දායක වන බැව් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා වරක් කියා සිටියේය. මේ කතාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමට ජාතීන් සියයකගේ අනුමැති සහිත ජගත් ගිවිසුමක් ඇතිවීම දක්වා දික් ගැස්සිණ. නව එකඟතාවයට රටවල අත්සන් කළේ පසුගිය වසරේදී ය. අවාසනාවකට මෙන්, න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන රටවල් මේ එකඟතාවට පිටුපෑවේය. අමෙරිකාවත්, බ්‍රිතාන්‍යයත් කියා සිටියේ මෙමඟින් න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමට අනතුරක් සිදුවන බවකි. නව එකඟතාවය පිළිගන්නට නේටෝ රාජ්‍යයන් ද අසමත් වූයේය. න්‍යෂ්ටික ඇවි නැති කිරීම සඳහා වූ අන්තර්ජාතික ව්‍යාපාරය මේ එකඟතාවය පෙරට රැගෙන ඒම පසු පස සිටියේය. ඒ නිසා 2017 නොබෙල් සාම ත්‍යාගය එයට පිරිනැමිණ. එහෙත් න්‍යෂ්ටික අවි භාවිතය අදටත් එසේමය.