×

නූතන මානවයාගේ පැරණිම සිතුවම දකුණු අප්‍රිකාවේ ගල් කැටයකින් හමු වේ.

නූතන මානවයන් ගැන තවත් ඔත්තුවක්. නූතන මානවයා විසින් අඳින ලදැයි සැලකෙන වසර 73,000 ක් පැරණි සිතුවමක් දකුණු අප්‍රිකාවෙන් සොයාගැනේ.


සිතුවම සොයාගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ දකුණුදිග වෙරළ තීරයේ බ්ලොම්බොස් ලෙන ආශ්‍රයෙන් කරන ලද කැණීම් වලිනි. එය වසර 73,000කට පළමුව ජීවත්වුණු මානවයන් විසින් අඳින ලද්දක්‍ බව පුරා විද්‍යාඥයෝ සඳහන් කරති. සිතුවම සටහන්ව තිබෙන්නේ පාෂාණ කැබැල්ලක් මතය. එම පාෂාණ කැබැල්ල මිලිමීටර 38.6ක් දිගැති, මිලිමීටර 12.8ක් පළලැති එකකි. චිත්‍රය ඇඳ තිබෙන්නේ රත් පැහැ හිරියල් වර්ණක භාවිතයට ගනිමිනි. සිතුවම සටහන්ව තිබෙන්නේ හරස් – කඩ රේඛානයක් හැටියට බැව් පුරා විද්‍යාඥයෝ පවසති.

REUTERS

REUTERS

“… සිතුවම හුඟක් සංකීර්ණයි. එහි සඳහන් රේඛා පාෂාණ කැබැල්ලේ දාරවලින් හදිසියේම වගේ අවසන් වන බවක් පෙනෙනවා. ඒ රේඛා ඇඳ තිබෙන්න ඇත්තේ විශාල පෘෂ්ඨයක් මත බව එයින් ගම්‍යය වෙනවා. …” යැයි කැණීම් කටයුතුවලට සහභාගී වුණු පුරා විද්‍යාඥ ක්‍රිස්ටෝපර් හෙන්ෂිල්වූඩ් පවසයි. ඔහු නෝර්වේ බර්ජෙස් සහ දකුණු අප්‍රිකාවේ විට්වෝටර්ස්රෑන්ඩ් විශ්වවිද්‍යාල මඟින් කෙරෙන පුරා විද්‍යා පර්යේෂණ සඳහා සහභාගී වී සිටින විද්වතෙකි. පාෂාණය මත සටහන්ව ඇති රේඛා, සිතුවමක් හැටියට හඳුන්වාදීමේ දෙගිඩියාවක් ඇති බව පුරා විද්‍යාඥ ක්‍රිස්ටෝපර්, රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබිණ. කෙසේ වුවත් එකී රේඛා, එය අඳින ලද මානවයාට නම් අර්ථයක් ගෙන දුන්නාට සැකයක් නැති බව හෙතෙම වැඩිදුරටත් පවසයි.

වසර 73000 ක් පැරණි සිතුවම සටහන් වී තිබෙන්නේ මෙම කුඩා ගල් කැබැල්ල මත ය. | REUTERS

වසර 73000 ක් පැරණි සිතුවම සටහන් වී තිබෙන්නේ මෙම කුඩා ගල් කැබැල්ල මත ය. | REUTERS

හිරියල් වර්ණක හෙවත් මැටිවලින් සකසන ලද වර්ණක මිනිසා පළමුවෙන්ම භාවිතයට ගෙන තිබෙන්නේ අඩු තරමින් මෙයට වසර 285,000කට පමණ ඉහතදී බව පුරා විද්‍යාඥයෝ සඳහන් කරති.

නූතන මානවායාගේ ආදිතමයන්ට අයත් යැයි තහවුරු කරගන්නා ලද නිර්මාණ සහ භාණ්ඩ කිහිපයක් බ්ලොම්බොස් ලෙන ආශ්‍රිත කැණීම් කටයුතුවලින් සොයා ගන්නට පුරා විද්‍යාඥයෝ පසුගිය කාලයේදී සමත් වූහ. රත් පැහැ හිරියල් යොදා වර්ණ ගන්වන ලද පබළු, හිරියල් වර්ණක සහිත කැටයම් සහ වර්ණක තැනීමේ මෙවලම් කට්ටලයක් එසේ සොයා ගන්න ලද දෑ අතර ඇත. එම භාණ්ඩ වසර 100,000කට පමණ පළමුව මිනිසා භාවිතයට ගන්නා ලද ඒවා බව පුරා විද්‍යාඥයෝ තහවුරු කරගෙන සිටිති.

නූතන මිනිසා හෙවත් හෝමෝ සේපියන් මිහිමත පහළ වූයේ අද අප්‍රිකාව වශයෙන් හැඳින්වෙන ප්‍රදේශවල මෙයට වසර 315,000කට පමණ ඉහතදී බවට විශ්වාසයක් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි