×

පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් වසර 10කට සිරගෙට!

පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් හට අද වසර 10ක සිර දඬුවමක් නියම විය. ඔහුගේ දියණිය වන මරියාම් නවාස් ෂරීෆ් හට වසර 7 ක සිර දඬුවමක් ද, බෑණා වන සෆ්දාර් අවාන් හට එක් අවුරුදු සිර දඬුවමක් ද මේ සමගම නියම විය.


ලන්ඩන් නුවර සුපිරි මහල් නිවාස 4 ක් සම්බන්ධයෙන් පැන නැගී තිබූ දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාගය අවසන් වෙමින් මෙම තීන්දුව නිකුත් කෙරිණි.

එනම්, ආදායමට කිසිසේත් නොසරිලන අන්දමේ වත්කම් දැරීම සහ, ජාතික වගවීමේ බියුරෝවට නඩු කටයුත්තේදී සහාය නොදැක්වීම යන වරද සඳහා වරදකරු කරමින් මෙම දඬුවම ලබා දී තිබේ.

මෙම වත්කම් පිළිබඳ හෙළිදරව් වී තිබුණේ 2015 වසරේදී පැනමා පත්‍රිකා (පැනමා පේපර්ස්) හරහා ය. දූෂිත ලෙස උපයා ගත් මුදල්වලින් නවාස් ෂරීෆ් විදෙස් රටවල දේපළ දරන බව හෙවත් අක්වෙරළ වත්කම් දරන බවත්, එම දේපළ සමග ඔහුගේ දරුවන් ද සම්බන්ධ බවත් මෙමගින් සවිස්තරාත්මක ව හෙළිදරව් කර තිබිණි.

පාකිස්ථාන අධිකරණයක් මගින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන විට ද නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය සිටින්නේ ලන්ඩන් නුවර ය. නවාස් ගේ බිරිඳ වන කුල්සූම් නවාස් හට පිළිකාවක් වැළඳී ඇති අතර, එයට ප්‍රතිකාර ලබාදීම සඳහා ඔවුහු ලන්ඩන් නුවරට පැමිණ සිටිති.

හිටපු පාකිස්ථාන අගමැතිවරයා පවසන්නේ මෙම තීන්දුව සඳහා පාකිස්ථාන දේශපාලනය බලපෑම් කළ බවයි.

නඩු තීන්දුව පිටු 100 කට අධික, දීර්ඝ එකකි.

මේ අතර ලන්ඩනයේ පාක් ලේන් හි පිහිටා තිබෙන, නවාස් ෂරීෆ් ට අයත් Avenfield House නමැති දේපළ හතර රාජසන්තක කිරීමට ද පාකිස්ථාන අධිකරණය අද නියෝග කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබූ මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් වන විට, ලෝකයේ ට්විටර් පරිශීලකයන් අතර #AvenfieldReference යන්න වැඩිම සෝදිසි කිරීමක් සහ පෝස්ට් සංඛ්‍යාවක් සහිත හෑෂ්ටැගය බවට පත්ව තිබුණේය.

නවාස් ෂරීෆ් ට හිමි ඇවන්ෆීල්ඩ් මහල් නිවාස – ලන්ඩනය – Photo credit – The Express Tribune

ඉස්ලාම් ඉන්ජන්ෂන් තහනමට ලක් වී සිටින හෙයින් ජීවිතාන්තය දක්වා දේශපාලනයේ යෙදීමට තහනම් ව ඇති නවාස් ෂරීෆ් පාකිස්ථානය තුළ තවමත් ප්‍රබල චරිතයකි. මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග රට තුළ උණුසුම් තත්වයක් ඇති වේ යැයි බියෙන්, ඉස්ලාමාබාද් අධිකරණය විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නගරයේ ප්‍රධාන මංමාවත් රැසක් වසා දැමූ අතර, ජන රැස්වීම් ද තහනම් කර ඇත.

පාකිස්ථාන මහමැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ ද ජූලි 25 වැනිදා ට ය. නවාස් ෂරීෆ්ගේ සොයුරු ෂබාස් ෂරීෆ්, නවාස්ගේ පක්ෂය වන PML-N වෙතින් මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත ය.

Shahbaz Sharif | Photo Credit: The Nation

ඉස්ලාමාබාද් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කර තිබූ අයුරු | Photo Credit: Reuters

2017 ජූලි මාසයේ පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය, නවාස් ෂරීෆ් ව අගමැති ධුරය දැරීමට නුසුදුසු අයෙක් ලෙස නම් කර ඔහුව ධුරයෙන් පහ කිරීමට කටයුතු කළේ ද පැනමා පත්‍රිකා හරහා සිදුවූ මෙම හෙළිදරව්ව හේතුවෙනි. නවාස් ෂරීෆ් එයට පෙර 1990 වසරේ සිට 1993 ජූලි මාසය දක්වා ද, 1997 පෙබරවාරි මාසයේ සිට 1999 ඔක්තෝබරය දක්වා ද පාකිස්ථානයේ අගමැති ධුරය දැරුවේය. පාකිස්ථාන අගමැතිනී බෙනාසීර් භූතෝගේ ඝාතනයට වගකිව යුතු බවට ද ඔහුට මාධ්‍ය වෙතින් චෝදනා එල්ල වී තිබිණි.

Source: BBC

කියවන්න-

පාකිස්ථාන දේශපාලනයේ අලුත්ම අවිය – ඉස්ලාම් ඉන්ජන්ෂන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි