×

හයවැනි වතාවටත් ඔවුන්ගේ ජීවිත බුල්ඩෝසර් කෙරිණි !

ඊශ්‍රායල් හමුදාව විසින් ඔවුන් ව මෙසේ බුල්ඩෝසර් කර දමන්නේ හයවැනි වතාවට ය.


එසේ නැවත නැවතත් බුල්ඩෝසර කෙරෙන්නේ හිසට තිබූ සෙවණ නොවේ.

ඔවුන්ගේ ජීවිත ය.

බෙඩුයින් ගෝත්‍රිකයෝ… බොහෝ දෙනෙක් ඔවුන් ව හඳුන්වන්නේ එසේ ය.

බෙඩුයින් (Bedouin) ගෝත්‍රිකයන් එඬේරුන් ය. ඔවුන් ජීවත් වන්නේ බැටළුවන් ඇති කරමිනි.

සතුන් දක්කන්නන් වුවත්, රාත්‍රියට ඔවුන්ට හිස් අහස යට නිදාගත හැකිද?

ඔවුන්ගේ දරුවෝ ඈත විවෘත මඩුවල සිට ඊශ්‍රායල හමුදාව විසින් සිය ජීවන අයිතිය කුඩු කරන අයුරු බලා සිටිති. නමුත් නොහඬති.

මේ ජනාවාසයේ ළමුන්ම 35 කි. වැඩිහිටියන් ද සමග 65 දෙනෙකි.

(Photo by Emmanuel DUNAND / AFP)

බටහිර ඉවුර පිහිටා තිබෙන්නේ පලස්තීන භූමියේ වීම ඔවුන්ට සාපයක් වී ඇත. ජෝර්දාන් නදිය ඔවුන්ට නැගෙනහිරින් ගලා යයි.

නමුත් මේ ජීවිතවල කිසි තෙතමනයක් නැත.

අද ඔවුන් නිවෙස් අහිමි වී අව්වට කර වන්නේ සෙල්සියස් අංශක 39 ක දැඩි උණුසුමක් මැද ය.

බටහිර ඉවුරෙන් ඊශ්‍රායලය මේ වන විට අල්ලාගෙන ඇති කොටසින් 60%ක් ම ජෝර්දාන් නිම්නයයි.

ඔස්ලෝ ගිවිසුම් (Oslo Accords) ප්‍රකාරව ජෝර්දාන් නිම්නය Area C ලෙස නම් කර ඇත.

එහි අදහස, මෙම කලාපයේ පූර්ණ හමුදා සහ සිවිල් පාලනය තිබෙන්නේ ඊශ්‍රායල් හමුදාව අත බවයි.

නෝර්වීජියානු සරණාගත කවුන්සිලය ගණන් බලන ආකාරයට 2020 නොවැම්බරයේ පටන් මේ ජනතාවගේ ජනාවාස මෙසේ විනාශ කෙරෙන්නේ හය වැනි වතාවට ය. එය, මෑත වර්ෂවලදී වාර්තා වුණු දරුණුම ජනාවාස විනාශ කිරීමකි.

ඔවුන්ට කවදත් ස්ථිර නිවාස තිබුණේ නැත. ජෝර්දාන් නිම්නයේ ඉදිකර ගෙන තිබුණේ ද සුව පහසු නිවාස නොවේ.

හම්සා අල්-බාකි පෙදෙසේ වසන ඔවුන්ට එ් මට්ටමින් හෝ බියක් සැකයක් නැතිව නිදාගන්නට ගෙයක් කියා දෙයක් ලැබුණේ යුරෝපා සංගමයේ සහ බටහිර ඉවුර රැකගැනීමේ කොන්සෝටියමේ මැදිහත් වීම, මත ආධාර ලෙස ය.

නමුත් හරියටම උදේ 9 වන විට පැමිණි හමුදාව ඔවුන්ගේ නිවාස, සතුන්ගේ මඩු මෙන්ම කුඩා වගාවන් ද වනසා දැමීම ඇරඹූහ.

ඊශ්‍රායලය පැවසුවේ මේ ප්‍රජාව විකල්ප භූමියක ‘නැවත පදිංචි කරවීම‘ට තමන් උත්සාහ කළ බවයි.

නමුත් ඔවුන් කළේ එය නොවන බවට එඬේරු දෙස් දෙති.

ඔවුන් කිසිසේත්ම මේ ඉවත් වීමට කැමැත්ත පළ කළේ නැත. ඔවුන් කළේ විරෝධය පෑමයි.

අන්තර්ජාතික නීතිය යටතේ නැවත පදිංචි කළ හැකිය. නමුත් බලෙන් පදිංචි කළ නොහැකි ය.

බලයෙන් අත්පත් කර ගත් ජනාවාසයක් එම ජනාවාසයේ කැමැත්තට පටහැණිව වෙනත් තැනකට ගෙන යා නොහැකි ය.

ඊශ්‍රායල හමුදාව මේ පෙබරවාරියේ ඔවුන්ගේ ජල ටැංකි ද වනසා දැමූහ. ඔවුන්ට බොන්නට වතුර නැති විය.

සතුන්ට ද පිපාසාව උරුම විය.

මූලික අවශ්‍යතා ඉටු කර ගත නොහැකිව අසරණ වූ විට මිනිසුන් ඕනෑම දෙයක් කරන බව පාලකයෝ දනිති.

මේ ට්විටර් වීඩියෝවෙන් දැක්වෙන්නේ අසරණ වූ බෙඩුයින් දරුවන් සිය ජනාවාස බුල්ඩෝසර කරන අයුරු තාවකාලික මඩුවක සිට නරඹන හැටි ය.

ඊශ්‍රායලය මේ වන විට බෙඩුයින් ගම්මාන 38 ක් සිය හමුදාව අභ්‍යාස කරන භූමි ලෙස නම් කර ඇත.

එනම් ඒවා ‘ෆයරින් කලාප‘ ය.

ඕනෑම වෙලාවක නඩු නැතිව වෙඩි කෑ හැකිය.

ජගත් සංවිධානයේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) ට අනුව ‘ෆයරින් සෝන්ස්‘ ලෙස ඔවුන් නම් කර තිබෙන්නේ බෙඩුයින් මිනිසුන් 6,200 ක් ජීවත් වන පෙදෙස් ය.

පලස්තීනයේ බටහිර ඉවුරේ වැඩිම අවදානමකට මුහුණ දී සිටින ප්‍රජාවන් අතරට බෙඩුයින් ප්‍රජාව එක් වෙති.

ජලය, සනීපාරක්ෂාව, විදුලිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි මූලික සේවාවන්ට ඔවුන්ට ප්‍රවේශය අහිමි ය.

ජෝර්දාන් නිම්නයේ පලස්තීන නිවාස වනසන ඊශ්‍රායලය කියන්නේ බලපත්‍ර නැතිව ඒවා ඉදි කර ඇති බව ය.

ඉතිහාසය පුරාම එඬේරුන් ගේ නිවහන වූයේ අහස යට යම් තැනකි.

නමුත් ඔවුන්ටත් අවසානයේ හිස තබා ගන්නට උණුසුම් ගෙදරක තෙත නැති පොළොවක් උවමනා ය.

ඊටත් වඩා වැදගත් ප්‍රශ්නයක් ඔවුහු අපෙන් අසති.

තමන්ගේම නිජබිමේ හිසට වහළක් තනා ගන්නට බලපත්‍රයක් උවමනාද?

පසු සටහන

පලස්තීනයේ ජෝර්දාන් නිම්නයේ භූමි ප්‍රමාණය අක්කර 395,368 කි. එනම් හෙක්ටයාර 160,000 කි. එහි ඊශ්‍රායල ජනාවාස 38 ක් ඇති අතර පලස්තීන ජනාවාස 34 ක් ඇත. එනම්, ජෝර්දාන් නිම්නයේ ඊශ්‍රායල යුදෙව් ජාතිකයෝ 13,000 ක් ද, පලස්තීන ජාතිකයෝ 65,000 ක් ද ජීවත් වෙති.

SOURCE: AL JAZEERA AND NEWS AGENCIES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි