×

ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා 35%ක් බදු ඉවත් කිරීමේ නොපෙනුණු කතාව- ලෝකය දකිමින්..

වැට් බද්ද, සෙස් බද්ද, රේගු බද්ද පමණක් නොව ජාතිය ගොඩනැගීමේ බද්ද පවා අයකරමින් 101%ක බදු ගසන ආර්තවයක් ගැන ලංකාවේ ඇති වූ සමාජ ජාල කේන්ද්‍රීය කතා බහ, අවසානයේ 40%ක සෙස් බද්ද ඉවත් කිරීම දක්වා ගෙන යාමට හැකි වීම ගැන එයට සම්බන්ධ වූ සියලු පාර්ශවයන් වෙත කෘතඥ විය යුතුය. නමුත් සටන මෙතැනින් අවසන්ද? යටත් පිරිසෙයින්, සටන මෙතැනින් ආරම්භ වේද? නියම සටන වන්නේ 40%ක හෝ 101% ක බද්ද ඉවත් කර ගැනීම පමණක්ද? කිසිසේත්ම නැත.


නමුත් සටන මෙතැනින් අවසන්ද? යටත් පිරිසෙයින්, සටන මෙතැනින් ආරම්භ වේද? නියම සටන වන්නේ 35%ක හෝ 101% ක බද්ද ඉවත් කර ගැනීම පමණක්ද? කිසිසේත්ම නැත.

බදු අඩු කළ පමණින් කිලිනොච්චියේ දැරිය පෑඩ්ස් පාවිච්චි කරාවිද?

මෙසේ සිතමු. ලංකාවේ සනීපාරක්ෂක තුවාවල මිල ඉදිරියේදී අඩු වනු ඇත. 35% ක සෙස් බද්ද ඉවත් කිරීමේ වාසිය පාරිභෝජකයා වෙත ලැබෙනු ඇත. නමුත් නෙළුම්යාය පදනමට කිලිනොච්චියේ හමුවූ දැරියක් මෙහිදී සිහිපත් වේ. ඇය වයස අනුව ‘අපේ පරම්පරාවේ‘ කෙනෙකි. නමුත් සිය අම්මා, ආච්චි අම්මා කළාක් මෙන්ම ඇයද සිය ආර්තවය දිනවලදී පාවිච්චි කරන්නේ හං පාට වුණු චීත්ත කැබැල්ලකි. ඇය ජීවිතයේ කිසි දිනෙක වාණිජ සනීපාරක්ෂක තුවායක් ඇසට දැක නැත. ඒ ගැන ඇයට අදහසක් ද නැත. ගමේ කඩේ ඒවා විකුණන්නට ද නැත. කිසිවෙක් ඒවා ඉල්ලන්නේ ද නැත. කඩේට ගොස් පෑඩ් පැකට් එකක් ඉල්ලා සිටීමට තරම් දැනුමක් හෝ ධෛර්යයක් නැති වීම ගැන ද ඔබ ඇයට දොස් නොකිව යුතුද වේ. ඉතින්, ලංකාව යා යුතු වන්නේ/ කළ යුතු වන්නේ වාණිජ සනීපාරක්ෂක තුවා ‘ප්‍රමෝට් කරන‘ සමාජ ව්‍යාපෘතියක් වෙත නම්, ඒ පණිවුඩය ඇයට සන්නිවේදනය විය යුතුය. ඒ එක් කතාවකි.

දෙවැනි කතාව මෙසේ ය. වාණිජ සනීපාරක්ෂක තුවා භාවිතයේදී ඇතිවන ආසාත්මිකතා යනාදිය ගැන විශාල කතා බහක් සමාජය තුළ ඇත.‘ඇතැම් පෑඩ්ස්වර්ග පාවිච්චි කළ විට වඳ වෙනවා‘ වැනි පදනමක් නැති ජාතිවාදී ගිනි පුපුරු ද කලින් කලට එයට එක් වේ. කෙසේ වෙතත්, වාණිජ පෑඩ්ස්වල සනීපාරක්ෂාවේ දිගු කාලීන සහතිකය ගැන ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් කිසිදු විධිමත් පර්යේෂණයක් මෙතෙක් කර නැත. ‘පිටරටින් එන සනීපාරක්ෂක නිෂ්පාදන සෞඛ්‍යයට හිතකර බව‘ටත් දේශීය නිෂ්පාදන ‘ෂුවර් නැති බවටත්‘ පූර්ව නිගමනයක් පමණක් ඇත.

සනීපාරක්ෂක තුවා ‘සනීපාරක්ෂිත බව‘ ෂුවර්ද?

බදු අඩුවීමත් සමග ලංකාවේ වාණිජ සනීපාරක්ෂක නිෂ්පාදනවලට ඇති ඉල්ලුම තවත් වැඩි වනු ඇත. වැඩි වැඩියෙන් පිටරටින් ඒවා ගෙන්වීමටත්, නිෂ්පාදනය කිරීමත් සිදුවනු ඇත. සමාගම් සිය සැපයුම් වැඩි කරනු ඇත. නමුත් පිටරට වේවා දේශීය වේවා, වෙළඳපොළේ ඇති කෘතිම ආර්තව නිෂ්පාදන සනීපාරක්ෂිත යැයි සිතනවා නම් මෙම සබැඳියට  යන්න.  හෝ  මෙවැනි සබැඳි සිය ගණනක් අන්තර්ජාලයේ තිබේ. ඒ සියල්ලේම සාරාංශය මෙසේ ය. කෘතිම සනීපාරක්ෂක තුවා යනාදිය නිෂ්පාදනයේදී plasticizers හෙවත් ප්ලාස්ටික් අංශු අනිවාර්යයෙන්ම භාවිතා කරයි. ඩයොක්සින් සහ ගම් වර්ගද භාවිතා කරයි. පෑඩයේ ‘සුදු පාට‘ ලබාගැනීමට විරංජන කාරකයක් වශයෙන් කපු පුළුන්වලට යොදන්නේ ඩයොක්සින් ය. plasticizers පිළිකාකාරකයන් ය. ඩයොක්සින් නිසා ද ඩිම්භකෝෂ පිළිකා ඇති වන බව වෛද්‍ය විද්‍යාව මගින් සනාථ කළ සත්‍යයකි. කළල විකසනයට ඒවායින් බලපෑම් සිදුවිය හැකිය. යෝනි මාර්ගයේ ආසාදන ඇති කළ හැකිය. ඇතැම් අවස්ථාවක කෘතිම සනීපාරක්ෂක නිෂ්පාදනවලින් කෘමිනාශක අංශු ද සොයාගෙන ඇත. හෝමෝන විකෘතිතා, ශ්‍රෝණි ප්‍රදාහ යනාදී බියජනක ලැයිස්තුවක්ම කෘතිම සනීපාරක්ෂක නිෂ්පාදන හේතුවෙන් ඇති වන බව දියුණු ලෝකය තුළ අලුත් කතිකාවක් නොවේ.

ඒ නිසාම, අප අවධාරණය කරන්නේ, බදු අඩු කළ විට කෘතිම සනීපාරක්ෂක නිෂ්පාදනවලින් සිදුවිය හැකි සෞඛ්‍යමය හානිය තවදුරටත් නොසලකා හැරෙන බව ය. විටෙක එයින් මේ තත්වය දිරිමත් වීමක් ද සිදුවිය හැකි බව ය.

බදු අඩු කිරීමේ කතාව – 100% ඔට්ටුද?

ලෝකයේ මුලින්ම සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා තිබූ බදු ඉවත් කළ රට බවට පත්වූයේ කෙන්යාවයි. ඒ, 2004 වසරේදී ය. කැනඩාව 2015 වසරේ මැද භාගයේ සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා තිබූ බදු ඉවත් කළේ ඒ සඳහා ඉදිරිපත් වූ දහස් ගණනකගේ අත්සන් සහිත පෙත්සමක් සලකා බැලීමෙනි.

ඉන්දියාව සනීපාරක්ෂක තුවා සඳහා පනවා තිබූ 12%ක GST බදු මුදල ඉවත් කළේ පසුගිය ජූලි 12 වැනිදා ය. ක්‍රියාකාරීන් එය සෝපහාසයෙන් යුතුව හඳුන්වා දුන්නේ ‘රුධිර බද්ද‘ (Blood Tax) කියා ය. ඒ රටේ කාන්තාවන්ගෙන් 80%කට සනීපාරක්ෂක නිෂ්පාදන පහසුකම් නැත. රුධිර බද්ද අහෝසි කිරීම හෝ අඩු කර ගැනීම සඳහා ඒ සඳහා රටේ සිවිල් ක්‍රියාකාරීන් මහත් සේ අරගල කළ අතර ඔවුන්ට ඒ සඳහා අධිකරණයට යාමට ද සිදුවිය. අත්සන් 400,000කට අධික පෙත්සම් ද ඉදිරිපත් වී තිබිණි. නමුත් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා එම බද්ද 100%කින්ම අඩු කළේය.

Plan International දත්තවලට අනුව වයස එංගලන්තයේ අවුරුදු 14-21 අතර දැරියන් දස දෙනෙකුගෙන්ම එක් අයෙක් තවමත් ආර්තව දුගී භාවයෙන් පෙළෙති. සංවර්ධිත රටක් ලෙස සැලකුණත්, ආර්තව දුගී බව නාගරිකව දැඩි සේ පවතින එංගලන්තය තුළ, ඇතැම් දැරියන් තවමත් පාසල් යන්නේ මේස් එකක් හෝ ටොයිලට් පේපර්ස් කැටියක් යට ඇඳුමේ තබාගෙන බව ද BBC වාර්තාවක් පසුගිය දිනෙක හෙළි කර තිබිණි. එක්සත් රාජධානිය තුළ ටැම්පූන් ටැක්ස් යනුවෙන් හඳුන්වන මෙම රුධිර බද්ද අය කිරීම ආරම්භ වූයේ 1973 වසරේ ඔවුන් යුරෝපීය ආර්ථික ප්‍රජාව (European Economic Community) සමග එක් වූ දින පටන් ය. තවමත් 5%ක ප්‍රමාණයකින් එය පවත්වාගෙන යයි. එයට ටැම්පූන් ටැක්ස් කියා කියන්නේ, ඒ රටවල කාන්තාවන් භාවිතා කරන ප්‍රධානතම සනීපාරක්ෂක නිෂ්පාදනය ටැම්පූන්ස් වන නිසා ය. මේ වන විට එම 5% ද ඉවත් කළ යුතු බව අවධාරණය කරමින් සිවිල් හඬ දිගටම නැගේ. ප්‍රංශය ද 2015 වසරේදී මෙම බද්ද 5.5% දක්වා අඩු කළේය.

Tampoons – ටැම්පූන

මේ අතර, 2000 වසරේ පටන් ඔස්ට්‍රේලියානු රජය ඒවා පුදුම සහගත ලෙස ‘අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ‘ ගණයට අයත් කරමින් ඒ මත 10%ක භාණ්ඩ හා සේවා බද්දක් (GST) පැනවීය. ටැම්පූන්, පෑඩ්, ලයිනර්ස්, කප්ස්, ස්පොන්ජ්ස් යනාදී භාණ්ඩ 11 ක් එයට අයත් විය. ගතවූ වසර කිහිපය පුරා ඔස්ට්‍රේලියාව තුළ මෙම අරගලය දියත් වූ අතර 2015 වසරේදී ‘‘මගේ ආර්තවයට බදු ගැසීම නතර කරන්න‘‘ (“stop taxing my period,”) යනුවෙන් ඉදිරිපත් වූ පෙත්සමකට අත්සන් ලක්ෂයක් (100,000 ක්) තබා තිබිණි. නමුත් 2015 වසරේදී ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත, එම බදු මුදල් අයකිරීම තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කළේය. මේ සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික බදු ආදායම ඩොලර් මිලියන 30 කි.

ස්ලෝවැකියාව පනවා තිබෙන්නේ 20%ක බද්දකි. එය, අත්‍යාවශ්‍ය භාණ්ඩ මත පනවනු ලබන සාමාන්‍ය බද්ද වේ.

ඇමරිකාව තුළ සනීපාරක්ෂක නිෂ්පාදන අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වශයෙන් සලකා අඩු බද්දක් අය කිරීම සිදු කරයි. එම බදු ප්‍රතිශතය ජනපදයෙන් ජනපදයට වෙනස් වේ. ඇලස්කාව, ඩෙලවෙයා, මොන්ටානා, නිව් හැම්ප්ෂයර් සහ ඔරිගන් යන ජනපද විසින් වඩාත් අඩු බදු ප්‍රතිශතයක් අය කිරීම සිදු කරයි. 2017 නොවැම්බර් වන විට නිව්යෝක්, මේරිලන්ඩ්, නිව්ජර්සි,ෆ්ලොරිඩා ඇතුළු ජනපද 9 ක් පමණක් ආර්තව බද්ද ඉවත් කර තිබේ. නිව්යෝක් ජනපදයට මෙම බදු ඉවත් කිරීම නිසා වාර්ෂිකව අහිමි වූ බදු ආදායම ඩොලර් මිලියන 10 ක් බව ද වාර්තා වේ. 2018 ජනවාරි මාසයේ කැලිෆෝනියා ජනපදය ටැම්පූන් බද්ද ඉවත් කිරීමේ යෝජනාවක් ප්‍රතික්ෂේප කළේය.

සංවර්ධිත රටවල් පවා සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා තිබෙන බදු මුළුමනින් ඉවත් කිරීමට මෙසේ පැකිළෙන්නේ ඇයි? එසේ කිරීම පහසු නොවන නිසා ය. ඇත්ත.. ආර්තවයෙන් බදු ඉපැයීම ලැජ්ජා සහගත කරුණක් වන්නට පුළුවන. එය ස්ත්‍රීවාදීත්වයට එල්ල වන මරු පහරක් ද වන්නේ මේ ලෝකයේ ඉපදෙන කිසිදු ගැහැණියක් සම්බන්ධයෙන් ආර්තවය ඇගේ ‘තෝරාගැනීමක්‘ නොවන නිසා ය. නමුත් ආර්තව නිෂ්පාදන යනු කර්මාන්තයකි. යුරෝපියානු රටවල් මේ වනවිට ප්‍රකාශිතවම, සීරෝ ටැක්ස් හෙවත් 0%ක බද්දක් සනීපාරක්ෂක නිෂ්පාදන මත පැනවීම ‘සිදුකළ නොහැකි දෙයක්‘ සේ හඳුනාගෙන සිටිති. යම්කිසි බද්දක් පවත්වා ගැනීම, මේ වාණිජ කර්මාන්තයේ පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ද හඳුනාගෙන තිබේ.

මේ අනුව ප්‍රශ්නය දැන් තරමකට පැහැදිලි ය. ලෝකයට කෘතිම සනීපාරක්ෂක නිෂ්පාදන කර්මාන්තයක් අත්‍යාවශ්‍යද…?

ස්කොට්ලන්තය අපට කියන්නේ කුමක්ද?

ස්කොට්ලන්තය ආර්තව දුගී බව මුලිනුපුටා දැමූ ලෝකයේ පළමු රට බවට පත්වන්නට උත්සාහ කළේ 2017 වසරේදී ය. ඒ, නියමු ව්‍යාපෘතියක් හරහා එරට අඩු ආදායම්ලාභී කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදා දීම මගිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයට අනුව ස්කොට්ලන්තයේ කාන්තාවන් 5 දෙනෙකුගෙන්ම එක් අයෙක් ආර්තව දුගී බවෙන් පෙළෙති. ඔවුන් සිය ආර්තවය දිනවල පාවිච්චි කරමින් සිටියේ ටොයිලට් පේපර්ස්වල සිට පරණ රෙදි කැබලි දක්වා වූ සනීපාරක්ෂක නොවන ක්‍රමවේදයන් ය. මේ වන විට ස්කොට්ලන්ත රජය ආර්තව දුගී බවට එරෙහිව කටයුතු කිරීම සඳහා පවුම් මිලියන 5.2 ක දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවමින් සිටියි. Young Scot සංවිධානය පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණේ, තවමත් ස්කොට්ලන්තයේ අධ්‍යාපනය ලබන සිසුවියන්ගෙන් 1/4කට සනීපාරක්ෂක නිෂ්පාදන වෙත ප්‍රවේශ වීමේ දුෂ්කරතා පවතින බවයි. ස්කොට්ලන්තය තුළ, ‘සනීපාරක්ෂක පහසුකම් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති අයිතිය‘ (Access to period products) යනුවෙන් අලුත් මානව හිමිකමක් ගැන කතා බහක් ද ඇති වී තිබේ. ඔවුන්ගේ සිහිනය, ආර්තව දුගී බව රට තුළ ‘තහනම්‘ කරන්නට ය.

ස්කොට්ලන්තයේ නියමු ව්‍යාපෘතිය සඳහා කෘතිම සනීපාරක්ෂක නිෂ්පාදනයන් සිදුකරන සමාගම් නොමසුරුව සිය කාලය සහ ධනය වැය කළේය. පූර්ණ අනුග්‍රහය දැක්වීය. ඒ, අවසානයේ රජය විසින් හෝ පිරිවැය දරා (දැන් සිදුවන්නේ එයයි) තමන්ගේ නිෂ්පාදන සඳහා පුළුල් වෙළඳපොළක් සාදා දෙන බව සක් සුදක් සේ නියත වූ නිසා ය. ස්කොට්ලන්ත රජය දෙවැනි අදියරේදී පවුම් මිලියන 5.2 ක් වෙන් කිරීමෙන් ඒ බව සනාථ වී තිබේ. නමුත් දැන් ඇසිය යුතුව තිබෙන ප්‍රශ්නය, කොපමණ කලක් මෙසේ ‘නිකං දෙන්නට‘ පුළුවන්ද යන්න නොවේද?

සුබසාධන රාජ්‍යය නවීන ලෝකය තුළ සැලකනේනේ ‘අසමත්‘ සංකල්පයක් ලෙස ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු සමාජ වගකීම සමග බද්ධ වූ මහජන සේවා සැපයීම රාජයේ ප්‍රමුඛතම වගකීමක් බවට පත්විය. නමුත් රාජ්‍යය ඒ අති මහත් පිරිවැය හැමවිටම දරාගත යුතුය. ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාව සපයන එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාව හෙවත් NHS මේ වන විට පසුවන්නේ පැවැත්ම පිළිබඳ අතිශය අවදානම් අඩියක ය. බොහෝ විට මේ බව අවබෝධ වන විට ප්‍රමාද වී වැඩි ය.

පෑඩ් මෑන්ටත් නොපෙනුණු දේ

පසුගිය දිනවල ඉමහත් සේ කතා බහට ලක් වූ ‘පෑඩ්මෑන්‘ චිත්‍රපටයේදී එහි කථා නායක අරුණාචලම් මුරුගනාදන් ලෝක ප්‍රසිද්ධියට පත් වන්නේ දුප්පත් කාන්තාවන්ට දරා ගත හැකි වියදමකින්, කපු පුළුන් පෑඩයක් මසා ගත හැකි යන්ත්‍රයක් සොයාගැනීම නිසා ය. එය ඉතා සාධනීය දෙයකි. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විසින් පවා, විශේෂයෙන්ම සරණාගත කඳවුරුවල සිටින කාන්තාවන් සඳහා කපු පුළුන් භාවිතයෙන් සනීපාරක්ෂක තුවා කඳවුරු තුළදීම සකස් කර ගැනීම උගන්වයි. නමුත් වාණිජ වේවා, වාණිජ නොවේවා, මේ පෑඩ්ස් අවසානයේ මේ මිහිතලය මත යම් තැනෙක කසළ කඳු බවට පත්වීම නොවැළැක්විය හැකිය.

ස්ත්‍රියගේ ආර්තවය නිසා මිහි මඬල සුසුම් ලෑ යුතුද?

BBC වාර්තාවකට අනුව ලෝකයේ කාන්තා ජනගහනයෙන් හරි අඩක්ම සනීපාරක්ෂිත ආර්තව උපක්‍රම පාවිච්චි කරන්නේ නැත. අවම වශයෙන් කාන්තාවක් සිය ජීවිත කාලය තුළ වසර 30 ක් ආර්තවය සමග ජීවත් වෙයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, කාන්තාවක් සිය ජීවිත කාලය තුළ වසර 6ක් ම ගතකරන්නේ රුධිරය වැකුණු, කායික හා මානසික අපහසුතාවලින් පිරි ජීවිතයකි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) අනුව ලංකාවේ දැරියන්ගෙන් 60%ක් ඔසප් දිනවලදී එක් දිනක් හෝ පාසල් යාමෙන් වැළකී සිටිති. අති මහත් බහුතරයක් වාණිජ සනීපාරක්ෂක තුවා වෙත ප්‍රවේශ වීමේ නොහැකියාවෙන් ද පෙළෙති.

සැබවින්ම ලංකාව තුළ බදු ඉවත් කර පෑඩ්ස්වල මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඇති ව තිබෙන සාධනීය සංවාදය මෙයින් ඉදිරියට ගමන් කළ යුතු වන්නේ සනීපාරක්ෂාව සහ පරිසර හිතකාමිත්වය වෙතට ය. මිල අඩු හෝ තමන්ටම නිපදවා ගත හැකි, නැවත නැවතත් භාවිතා කළ හැකි පරිසර හිතකාමී විකල්පයක් වෙත ය.

අවාසනාවකට මෙන් ලංකාව තුළ ‘පරිසරය සුරැකීම‘ යන්න උනන්දු සහගත මාතෘකාවක් වන්නේ පාසලේදී රචනා ලිවීමේදී පමණි. අවාසනාවකට මෙන් වැඩිහිටි පරිභෝජනවාදී ජීවිතය තුළ ලංකාවේ පරිසරය සුරැකීම යන්න ඇල් මැරුණු මාතෘකාවකි. නමුත් සෑම කෘතිම ආර්තව නිෂ්පාදනයක් තුළම වියෝජනය නොවන හෙවත් නොදිරන ප්ලාස්ටික් අංශු ග්‍රෑම් 2 ක්වත් තිබේ.

සාමාන්‍යෙයන් කාන්තාවක් සිය ජීවිත කාලය පුරාම කෘතිම පෑඩ්ස් භාවිතා කරන්නේ නම්, ඇය අවම වශයෙන් පරිසරය තුළ කොතැනක හෝ ගොඩගැසෙන කසළ කන්දකට පෑඩ්ස් 12,000-15,000 ක් පමණ එක් කරනු ඇත. ලංකාව වැනි බොහෝ රටවල, මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අති දැවැන්ත ගැටළුවකි. අප මේ කතා කරමින් සිටින්නේ, කසළ කඳු නාය යාම නිසා මිනිසුන් මිය යන රටක සිට ය. වැසිකිළියකට ගොස් පෑඩ් එකක් මාරු කර ගැනීම ගැන ලංකාවේ එක් කොණක පාසල් දැරියක් සිතන විට, එසේ යාමට වැසිකිළියක්වත් නැති පාසල් 9000 ක් තිබෙන රටක සිට ය. ඒ බව ද අමතක නොකරන්න. ඒවා බැහැර කිරීමේ ක්‍රමවේදයන් ද කිසිසේත්ම ලංකාවේ නැත. ඉන්දියාවේ විශ්ව විද්‍යාල වැනි ස්ථානවල ඒවා දහනය කරන දාහක සවිකර ඇතත්, ඒවායින් ද අවසානයේ සිදුවන්නේ වායු දූෂණයයි. ඉන්දියාව තුළ පමණක්, වසරකට හෙක්ටයාර 24 ක් සම්පූර්ණයෙන් පුරවා දැමිය හැකි තරමේ පාවිච්චි කර විසි කර දැමූ සනීපාරක්ෂක නිෂ්පාදන මිලියන 432 ක් ගොඩ ගැසෙයි! තහවුරු කර ඇති කරුණක් වන්නේ කෘතිම සනීපාරක්ෂක තුවායක් සම්පූර්ණයෙන්ම දිරාපත් වී පරිසරයෙන් ඉවත් වීම සඳහා වසර 500-800 අතර කාලයක් ගත වන බවයි. එක් පෑඩයක් සඳහා! ඉතින් අවසානයේ ස්ත්‍රියගේ ආර්තවය නිසා මිහි මඬල සුසුම් ලෑ යුතුද?

විකල්පයක් තිබිය යුතුය.

ලංකාවේ අවධානය මෑත කාලයේ සනීපාරක්ෂක තුවාවල බදු අඩු කර ගැනීම වෙත යොමු වන විට, කළ යුතුව තිබෙන්නේ නැවත නැවතත් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂිත, පරිසර හිතකාමී විකල්පයක් වෙත යාම බව අවධාරණයෙන් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ නෙළුම්යාය පදනම (Nelumyaya Foundation) පමණි. ඔවුන් ඉදිරිපත් කරන විකල්පය වන්නේ නැවත නැවතත් පාවිච්චි කළ හැකි, රෙදිවලින් නිර්මිත සනීපාරක්ෂක තුවායන් ය. නෙළුම්යාය පදනම ලංකාවේ ගම් නියම් ගම් වෙත යමින් කෘතිම සනීපාරක්ෂක තුවාවල තිබෙන පරිසර හානිය සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ගැටළු පමණක් නොව, ආර්තවය හා සබැඳි සමාජයීය තහංචි පිළිබඳ ද සාධනීය කතිකාවක් ගෙන ඒමට වෙහෙස විය. කෙසේ නමුත් ඔවුන් ඉදිරිපත් කරන විකල්පය වෙළඳපොළේ ප්‍රචලිත කිරීම හෙවත් කෘතිම සනීපාරක්ෂක තුවා සඳහා ‘විකල්පයක්‘ වශයෙන් වෙළඳපොළේ පැවතීම අවශ්‍ය බව ඔවුන් දැන් වටහාගත යුතුය. මේ අතර අගනුවර කාන්තා පාසල්වලට වැඩසටහන් සඳහා පැමිණි පිළිගත් වෛද්‍යවරියක් රෙදි භාවිතයෙන් සනීපාරක්ෂක තුවා පිළියෙළ කරගන්නා ආකාරය පිළිබඳ පාසල් දැරියන් දැනුවත් කර ඇති බව ද දැනගන්නට ලැබිණි. ඒ අනුව නැවත නැවතත් පාවිච්චි කළ හැකි, සනීපාරක්ෂිත, පරිසර හිතකාමී ආර්තව නිෂ්පාදන යනු පෑඩ්මෑන්ගෙන් ද ඔබ්බට දිව යන දියුණු කතිකාවක් බව අප නිහතමානීව පිළිගත යුතුය.

ලෝකයේ ආර්තව දුගී බව පිළිබඳ සාකච්ඡාව ද දියුණු සමාජ කථිකාවක් වශයෙන් අවසානයේ නාභිගත වන්නේ ‘තිරසාර ආර්තවය‘ (Sustainable Menstruation) වෙත ය. එයින් එක හෙළාම ආමන්ත්‍රණය කෙරෙන්නේ සනීපාරක්ෂාවේ ගැටළු සහ ආර්තව නිෂ්පාදනවලින් සිදුවන මහා පරිමාණ පරිසර දූෂණයයි.

ඉතින් ලංකාවේ ‘තිරසාර සංවර්ධනය‘ තුළ ‘තිරසාර ආර්තවය‘ උප මාතෘකාවක් බවට පත්වන්නේ කවදාද? ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය වන්නේ එයයි.

පරිසර හානිය කෙටියෙන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි