අවසානයේ සමුදුරු ජීවීන් එසේ මිය යන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නස්පැත්තිය නිසා මිස වාරකන් නිසා නොවේ යැයි පහදා දෙන්නට අධිකරණයට යන්නටත් ලංකාවට සිදුවිය.
නොමිලේ ලැබුණු, ඉපදෙන විටම ලැබුණු ස්වභාවික සම්පතට ආදරය කරන්නට නොදන්නා මිනිසුන් සිටින ප්‍රධාන පෙළේ රටක් බවට ලංකාව පත් ව තිබේ. අද වන විට ගෝලීය වශයෙන් සොබාදහමට වින කටින ප්‍රධානතම සාධකයක් බවට ප්ලාස්ටික් දූෂණය (Plastic polution) පත් ව තිබේ.
මිහිතලයෙන් 3/4 ක් ම වැසී ගොස් තිබෙන්නේ මහා සාගරයෙනි. නමුත් මේ මහා සාගර සහ මිරිදිය ජල සම්පත සිතාගත නොහැකි තරම් වේගයෙන් ප්ලාස්ටික් නිසා දූෂණය වෙමින් පවතියි.
ප්ලාස්ටික් නිපදවන්නේ සියවස් ගණන් ගතකර තැනුණු පොසිල ඉන්ධනවලිනි. ප්ලාස්ටික් බහුඅවයවයකි. සංවර්ධිත ලෝකය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය අධික වේගයෙන් සිදුවන්නට පටන් ගත්තේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ය. ජීවිතාරක්ෂක මෙවලම් නිසා අජටාකාශ සංචාර ආරක්ෂිත විය. එය මෝටර් රථ වල සිට ජෙට් යානා දක්වා සියල්ලේම බර අඩු කර දැමුවේය. පිරිසිදු පානීය ජලය නිපදවීම සඳහා පවා ප්ලාස්ටික් මෙවලම් භාවිතා වේ.
එක්වරක් පමණක් භාවිතා කර ඉවත දැමිය හැකි ප්ලාස්ටික් සඳහා තවමත් ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇත. නමුත් ඒවා ලෝකයේ වාර්ෂික ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් 40%කට වග කියයි. ආහාර ඔතන තුනී ප්ලාස්ටික් අසුරණයකට තිබෙන්නේ විනාඩියක සිට පැය කිහිපයක ආයු කාලයක් වන්නට පුළුවනි. නමුත් එය සම්පූර්ණයෙන් මිහිමතින් බැහැර වීමට වසර සිය ගණනක් ගත වේ.
වාර්ෂිකව විවිධ ප්ලාස්ටික් යෙදවුම් සහ භාණ්ඩ වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 300 ක් ලෝකය නිපදවයි.
සෑම වසරකම ඒ අතරින් ප්ලාස්ටික් ටොන් මිලියන 8ක්වත් අවම වශයෙන් අපේ සාගරවලට එක් වේ. එය, මතුපිට මුහුදේ පටන් ගැඹුරු මුහුද දක්වා මුළු සාගර ජල තලය පුරාම පවතින සියලු ආකාරවල ‘සමුද්‍රීය සුන්බුන්‘ (marine debris)වලින් 80%කට වග කියයි.
සාගරය තුළ වසන ජීවීහු එක්කෝ ඒවා ගිල දමති. එසේත් නැතිනම් ඒවායේ පැටලෙති. එසේත් නැතිනම් පසුගිය දිනවල ලංකාවේ ධීවර කර්මාන්තය තුළ දැකගත හැකි වූවා සේ ප්ලාස්ටික් අංශු උන්ගේ ශ්වසන පද්ධතියට ඇතුළු වේ. ඒවා අවසානයේ නතර වන්නේ වාතය පිරිසිදු කරන කරමල්වල රැඳීමෙනි. එවිට උන් දිය තුළම මිය යති. ඇතැම්විට ඒවායින් මාරක තුවාළ ද උන්ගේ සිරුරු අභ්‍යන්තරයේ වර්ධනය වේ.
ප්ලාස්ටික් දූෂණය ආහාර සුරක්ෂිතතාවයට, ආහාරවල ගුණාත්මයට, මිනිස් සෞඛ්‍යයට, වෙරළබඩ සංචාරක කර්මාන්තයට වින කටින සාධකයක් වන අතර, එය දීර්ඝ කාලීන ලෙස දේශගුණික වෙනස්කම් සඳහා ද දායක වේ.
පහත දැක්වෙන්නේ මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වන, ලෝකයේ ජලාශ්‍රිත ප්ලාස්ටික් දූෂණය පිළිබඳ සංවේදී ඡායාරූප පෙළකි. මේ සතුන්ට මෙසේ සිදුව තිබෙන්නේ වාරකන් නිසා නොවේ, ප්ලාස්ටික් නිසා ය..