නෙදර්ලන්ත අගමැති (Dutch Prime Minister) මාක් රූට්ටේ (Mark Rutte) හැමදාම පාහේ අගමැති කාර්යාලයේ වැඩට එන්නේ පාපැදියක නැගී ය. එය ඔහුගේ දින චරියාවේ කොටසකි.
‘‘අවුරුදු 10 ක් යනකල් මම ගොඩක් බයිසිකල් පැද්ද කෙනෙක් නෙවෙයි. නමුත් දැන් අවුරුදු 2 ක ඉඳන් මම මගේම බයිසිකලයක් පදින්න පටන් ගත්තා. කාලගුණය යහපත් හැම විටම මම ඔෆිස් එන්නේ ඒ විදිහටයි..“ ලෝක ආර්ථික සංසද රැස්වීමකදී නිහතමානී ලෙස එසේ පවසන නෙදර්ලන්ත (ඕලන්ද නායකයා) ‘ඔෆිස් පැමිණීම‘ යනුවෙන් හඳුන්වන්නේ අන් කිසිවක් නොව අගමැති කම හෙබවීමයි.
ධුරයෙන් බැබළෙනවා වෙනුවට දියුණු රටවල නායකයන් තම චර්යාවෙන් ධුර බබළවන්නේ එසේ ය.
ලෝකයේ මේ වන විට ජනගහනයට වඩා වැඩි බයිසිකල් ගණනක් තිබෙන ලෝකයේ ප්‍රථම රට බවට, එනම් ලෝකයේ ‘පාපැදි ජාතිය‘ බවට නෙදර්ලන්තය පත්ව තිබේ. 2018 වසරේ දත්තවලට අනුව නෙදර්ලන්තයේ ජනගහනය මිලියන 17 කි. නෙදර්ලන්තයේ ඇති පාපැදි ගණන මිලියන 23 කි.
රටේ සමස්ත ගමනාගමනයෙන් 1/4ක්ම මේ වන විට සිදුවන්නේ පාපැදිවලිනි. ඒ ගමන්වලින් ද කාලක් සමන්විත වන්නේ අගමැති රුට්ටේ මහතා වැනි, රැකියාවට පාපැදියෙන් යන අයගෙනි.
Cycling craze
නෙදර්ලන්තයේ බයිසිකල් ප්‍රතිපත්තියෙන් උගත හැකි පාඩම් බොහෝ ය. ලෝකයේ සුවපහසුම රටවල්, එසේත් නැතිනම් හොඳින් සුවපහසු ලෙස ජීවත් විය හැකි රටවල බොහෝ ජනතාව සෘතු භේදයෙන් පීඩාවක් නැතිනම් මේ වන විට සිය කැමැත්තෙන්ම පාපැදියට මාරු වී ඇත.
නෙදර්ලන්තය, පාපැදිය පැද යාම දිරිමත් කිරීම සඳහා පාපැදිකරුවන්ට මුදල් ගෙවයි. ඒ අනුව සෑම කිලෝමීටරයකටම බදු අය නොකරන ඩොලර් සත 22 ක් බැගින් ඔබේ පසුම්බියට එක් වනු ඇත.
වසර 2025 වන විට අරාබිකරයේ තෙල් සම්පත සිඳී යනු ඇත. පොසිල ඉන්ධන කෙරෙහි රැඳී පවතින ලෝක ගමනාගමන ක්ෂේත්‍රයේ අනාගතය වනු ඇත්තේ පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේදයන් ය
නෙදර්ලන්තය මෙන්ම ඩෙන්මාර්කය, ජර්මනිය, ස්වීඩනය, ෆින්ලන්තය, බෙල්ජියම, නෝර්වේ යනාදී රටවල් ද ඉහත වගුවේ දක්වා ඇති ප්‍රමාණවලින් මේ වන විට පාපැදිවලට මාරු වෙමින් සිටිති.
එක්සත් රාජධානිය ද පාපැදියෙන් රැකියාවට යාම දිරිමත් කිරීම සඳහා සිය පුරවැසියන්ට මුදල් දීමනාවක් ලබා දෙයි. මේ ක්‍රමය හඳුන්වන්නේ Cycle to Work scheme යනුවෙනි එහිදී ශ්‍රමිකයන්ට ‘ඩිස්කවුන්ට්‘ සහිතව පාපැදි ලබාගත හැකිය. එසේත් නැතිනම් සේවායෝජකයා විසින් පාපැදි මිලදී ගෙන ඒවා සේවකයන්ට සාමාන්‍යයෙන් මාස 12 කාලයක් සඳහා කල්බදු ක්‍රමයට ලබා දෙයි. මාසිකව පාපැදියට ගෙවන මිල වැටුපෙන් අඩු කර ගනු ලැබේ. මේ අතර, බ්‍රිතාන්‍ය පාපැදිකරුවන්ට නෙදර්ලන්ත හාදයන්ට මෙන්ම සැතපුමක් පැද යන විට ඩොලර් සත 26 ක් බැගින් පසුබ්මියට ස්වයංක්‍රීයව එකතුවන ක්‍රමයක් ද ඇත. වර්තමානයේ බෙල්ජියමේ ද මෙයට සමාන ක්‍රමයක් ක්‍රියාත්මක ය.
දැන් නැවතත් ඕලන්ද අගමැති දෙස හැරෙමු. මාක් රුට්ටේ 2017 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවූ විට ඔහුට නෙදර්ලන්තයේ හැදූ බැවටුස් වර්ගයේ නමුත් තවම මෝදි නම් පාපැදිය පදින බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඉන්ඩියා ටුඩේ පුවත්පත ලිපියක් පළ කරමින් කියා සිටියේ දිල්ලියේ පාරවල හැටි දන්නා නිසා මෝදි නම් කිසිදිනෙක එවැනි ‘අවදානම් වැඩක්‘ නොකරනු ඇති බවයි. ඇත්ත ය. දිල්ලියේ පාපැදි තබා යතුරුපැදියකින් හෝ ත්‍රිරෝද රථයකින් ඔබ ගමන් කර තිබේ නම් මේ කියමනේ සත්‍යාසත්‍යතාවය ඔබ අත්දැක ඇතුවාට සැක නැත. දිල්ලි නාගරිකයන් මාර්ග නීති මායිම් කරන්නේ නැත. යතුරුපැදි ඉගිලෙන්නේ හෙල්මට් රහිතව ය. ත්‍රිරෝද රථවල ගමන් බිමන් යන මගීන්, ඒවා දමන වෙට්ටුවල බරපතළ කමේ හැටියට ඕනෑම වේලාවක රථයෙන් ඉවතට විසිවෙන්නට වුණත් සූදානමින් සිටිය යුතුය. ඒ නිසා ‘යතුරුපැදි‘ ජාතියක් බවට නෙදර්ලන්තය පත්වීම පසුපස ඔවුන්ගේ මාර්ග විනය, පරිසරයට ආදරය කරන මිනිසුන් මෙන්ම දියුණු මහා මාර්ග යන තුන්කට්ටුවම තිබෙන බව නොකියාම බැරි ය.
වයඹදිග යුරෝපයේ පිහිටා තිබෙන එහි කැපී පෙනෙන භූ විෂමතාවක් වන්නේ පැතලි භූ තලයයි. මේ තත්වය තුළ ඔවුන් මේ වන විට රට තුළ කිලෝමීටර 35,000 ක් ආවරණය වන පරිදි පාපැදි මං තීරු තනා ඇත. උල්ට්‍රෙච් නගරයේ ලෝකයේ දිගම උමං පාපැදි මාර්ගය ද දැකගත හැකිය. පාපැදියට මාරු වීම මගින් නෙදර්ලන්තයට වාර්ෂිකව ඩොලර් මිලියන 20 ක ආර්ථික වාසියක් ද හිමි වේ. කිලෝමීටරයකට මෝටර් රථයකින් පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වන ග්‍රෑම් 150 ක් කපා හරින්නට ද පාපැදියට හැකි වෙයි.
නෙදර්ලන්තය යනු ඕලන්දයයි. ඒ රටවල වැසියන්ට අපේ රටේ වැසියන් කියන්නේ ‘ලන්දේසිකාරයන්‘ හෙවත් ‘ලංසි‘ කියා ය. ලන්දේසිකාරයන් ලංකාව ආක්‍රමණය කළේ 1640 සිට 1796 අතර කාලයේ ය. ඒ කාලයේ ලංකාවට කීවේ ‘ඩච් සිලෝන්‘ – Dutch Ceylon කියා ය. ලන්දේසි නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම මගින් ලංකාව පාලනය කළ ඕලන්දක්කාරයෝ 1976 වසරේදී යටත්විජිත ලංකාවට අයිතිවාසිකම් කීම අත්හැර දැමූහ. ඉන්පසු සුද්දන් විසින් ද අතහැර දැමූ ලංකාව මෝටර් රථ අතිරික්තයකින් පිරී යද්දී සුද්දන් සහ ඕලන්ද කාරයන් කළේ පාපැදියට මාරු වීමයි!
මේ අතර නෙදර්ලන්ත අගමැති මාක් රුට්ටේ තවත් මසුරන් වටින කතාවක් කියයි.
‘‘ඕලන්ද වැසියන් බයිසිකල් පදින්නට හරිම කැමතියි. මොකද අපි පුංචි රටක්…! දහනව වැනි සියවසේ ඉඳන්ම අපි බයිසිකල් පැදීම පුරුදු වුණු ජාතියක්“
ලංකාවේ වර්ග ඵලය වර්ග කිලෝමීටර 65,610 ක් වන විට නෙදර්ලන්තයේ වර්ගඵලය වර්ග කිලෝමීටර 41,543 km2 කි. ඇත්ත ය. ලෝකයේ වැනියට ලොකුම දූපත වන ලංකාවේ පරහකට තිබෙන්නේ කඳු පල්ලම් තිබීමයි. නමුත් මුළු ලංකාවම කඳුකරය නොවේ!
එසේ තිබියදීත්, ලංකාවේ රාජ්‍ය නායකයන් සහ හිටපු රාජ්‍ය නායකයන් පාපැදිට මාරු වූ අවස්ථා අති විරල ය. ඒ ද, ආණ්ඩු පෙරළීම හෝ ඉන්ධන මිලට විරෝධය පෑම හෝ අයවැය පරාජය කිරීම වැනි කාරණා වෙනුවෙන් ය. එනිසා මේ ලංසි අගමැතිගෙන් ලංකාවට තවමත් උගත හැකි පාඩම් බොහෝ ය.