×

ප්‍රියංකා චොප්රා – නික් ජෝනාස් : කොන්දේසි විරහිත ගෝලීය පෙම් පුවතක්

ප්‍රියංකා චොප්රා, ඇමරිකානු ගායක නික් ජෝනාස් සමග අතිනත ගනියි.


‘‘අපේ සබඳතාවයේ තිබෙන සුවිශේෂීම දෙයක් වන්නේ එකිනෙකාට ආදරය කරන සහ ගරුකරන ඇදහිලි හා සංස්කෘතීන්ගෙන් යුතු පවුල් දෙකක් එකට එකතු වීමයි..“ සුපිරි හින්දි නිළිය ප්‍රියංකා චොප්රා මෙන්ම සුපිරි ගායක නික් ජෝනාස් ද තම සමාජ ජාල ගිණුම්වල කිසිම වෙනසක් නැතිව කියා තිබෙන්නේ එකම කතාව ය.

නික් ජෝනාස් සහ ප්‍රියංකා චොප්රා ආගම්, සංස්කෘතින්ගෙන් පමණක් නොව වයසින්වත් එකිනෙකාට ගැළපෙන්නේ නැතැයි ඔබට කියන්නට පුළුවන. 36 හැවිරිදි ප්‍රියංකා චොප්රා අතිනත ගන්නේ 26 හැවිරිදි නික් ජෝනාස් සමග ය.

විවාහෝත්සවය පැවැත්වුණේ ද විදේශිකයන් ට තමන්ගේ රටේ යුවතියන් දීග දීම තවමත් රුචි නොවන ඉන්දියාවේදී ම ය. එහිදී සිදු කෙරුණේ ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයකි. එයට පවුල් දෙකෙහිම සාමාජිකයන් අතිමහත් ප්‍රීතියෙන් යුතුව සහභාගි වී සිටින අන්දම දැකගත හැකි විය. වසරක් පෙම් කළ ඔවුහු, මෙයට මාස 4කට පෙර විවාහ ගිවිස ගත්හ.

ඇමරිකානු ජාතික නික් ජෝනාස් ටෙක්සාසයේ අතිශය ජනප්‍රිය ගායකයෙකි. කලෙක ජෝනාස් බ්‍රදර්ස් නමැති ජනප්‍රිය සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු ඩිස්නි චිත්‍රපටයක් වන කෑම්ප් රොක් වැනි නිර්මාණවලට රංගනයෙන් ද දායක වී ඇති අයෙකි.

ඔහුට ප්‍රියංකා චොප්රා මුණ ගැසෙන්නේ ඉන්දියානු රූප සුන්දරිය හොලිවුඩය හා ඇමරිකානු රූපවාහිනී ක්ෂේත්‍රය ආක්‍රමණය කිරීමත් සමග ය. ඇය Quantico රූපවාහිනී මාලා නාටකයේ සහ Ventilator, Baywatch, A Kid like Jake චිත්‍රපටවලට රංගනයෙන් එක් වූවාය. 2000 වසරේ ලෝක රූ රැජින බවට පත් වූ ඇය, ඉන්දියාවේ ඉහළම ගෙවීමක් ලබන නිළියක බවට පත්වූයේ චිත්‍රපට 50කට පමණ රංගන දායකත්වය ලබා දෙමිනි. ටයිම් සඟරාව විසින් ඇයව 2016 වසරේදී ලෝකයට වඩාත්ම බලපෑම් කළ හැකි කාන්තා චරිත 100 අතරට එක් කර තිබිණි. මේ අතර ෆෝබ්ස් සඟරාව පැවසුවේ 2017 වසරේදී ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ඇයව එක් වී ඇති බවයි.

මේ නිසා ප්‍රියංකා චොප්රා, ‘නිළි ගායිකාවක‘ ලෙසද නික් ජෝනාස් ‘ගායක නළුවෙකු‘ ලෙස ද හඳුන්වා දිය හැකිය.

නමුත් අපට නම් සැබෑ ප්‍රවෘත්තිය වන්නේ නිළි ගායිකාවක ගායක නළුවෙකු සමග අතිනත ගැනීම නොව, ප්‍රියංකා චොප්රා නමැති නූතන ඉන්දියානු තරුණිය, සංස්කෘතික සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් නික් ජෝනාස් නමැති ඇමරිකානු තරුණයෙකු සමග අතිනත ගෙන, සංස්කෘතිය, ආගම්, ඇදහිලි වැනි භූගෝලීය බෙදීම් හෝ සීමා මායිම් කිසිවක් නැති සැබෑ ගෝලීය ප්‍රේම කතාවක් ලියා තැබීම ය.

පෙර ලිපිය-
ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස් අතිනත ගනිති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි