×

ලෝක බලවතුන් දෙදෙනා හමුවෙති : පුටින් ඇමරිකාව ෂේප් කරගෙන වීරයෙක් ලෙස පිටව යයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවූහ.


මිත්‍රශීලී වදන්වලින් තොර වූ, සැලසුම් කළ කාලයට කලින් අවසන් වූ මෙම සාකච්ඡාවේදී  සැලකිය යුතු ප්‍රගතියක් අත් වූයේ නැති බව පෙනෙන්නට තිබුණත් සීඑන්එන් පුවත් සේවය පවසන්නේ පුටින්ට අවශ්‍ය දේ මෙමගින් ඉටු වූ බවයි.

කෙසේ නමුත්, සාකච්ඡාවෙන් පසුව පුටින් කියා තිබෙන්නේ ‘ජෝ බයිඩන් අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්‍රිකයෙකු (an experienced statesman) බවයි.

මේ අතර ජෝ බයිඩන් කියා සිටියේ, තමන්ට රුසියාව සමග සබඳතා වැඩි දියුණු කර ගැනීමට නියම අවස්ථාවක් ලැබුණු බවයි.

බයිඩන්ගෙන් පුටින්ට තෑග්ගක්

ඇමරිකානු ජනාධිපතිවරයා පුටින්ට ඒවියේටර් අව් කණ්නාඩි දෙකක් සහ බයිසන් ගවයෙකුගේ පළිඟු ප්‍රතිමාවක් තෑගි දුන්නේය. පුටින් නම් බයිඩන්ට කිසිදු තෑග්ගක් දුන් බවක් දැනගන්නට නැත. 2018 වසරේදී පුටින්, එවකට ජනපති සහ ඔහුගේ හොඳම මිත්‍රෙයකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ව ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී මුණ ගැසෙන විට නම් පාපන්දුවක් තෑගි කර තිබේ.

මෙහිදී සාකච්ඡා කෙරුණු සාමාන්‍ය කරුණු අතර සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ විදේශ ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම ඇතුළත් වෙයි.

කෙසේ නමුත් මෙය එදිරිවාදීකම් ඉස්මතු කළ සාකච්ඡාවක් නොවන බවට රුසියානු නායකයා පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියේය.

න්‍යෂ්ටික ආයුධ පාලනය

මෙම සාකච්ඡාවේදී දෙරට නායකයන්, න්‍යෂ්ටික ආයුධ පාලනය සම්බන්ධයෙන් කතිකාවක් ඇරඹීමට එකඟ වූහ. දෙරටේ අගනුවරවලට දෙරටේ තානාපතිවරුන් ද යැවිය යුතු බවට තීරණය විය.

ඇමරිකාවට එල්ල වූ සයිබර් ප්‍රහාර

ඇමරිකාවට සයිබර් ප්‍රහාර එල්ල වූයේ රුසියාවෙන් ය යන කරුණ CNN පුවත් සේවය විසින් මතු කළ විට පුටින් එයට පිළිතුරු දීම වෙනුවට, රුසියාවට එල්ල වූ සයිබර් ප්‍රහාර ගැන කතා කරන්නට පටන් ගත්තේය. ‘‘අප දෙපාර්ශවයටම අනිවාර්යයෙන් නිශ්චිත බැඳීම් තිබෙනවා‘‘ යනාදී වශයෙන් පිළිතුරු දීමට ද ඔහු වග බලා ගත්තේය.

රුසියාවේ දේශපාලනය ගැන කතා කරන විට ද පුටින් ඇමරිකාව පැත්තට ඇඟිල්ල නැවත යොමු කළේය. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සහ ජනවාරි 6 කැපිටල් හිල් ප්‍රචණ්ඩත්වය ඔහු දැඩි සේ විවේචනය කළේය. ඇමරිකාවේ ජීවත් වන බොහෝ කළු ජාතිකයන් හට ‘‘කට අරින්න ඉඩක් නෑ. වෙඩි තියල මරනවා‘‘ යනුවෙන් ද පුටින් කියා සිටියේය.

නවාල්නි කැමැත්තෙන් අත්අඩංගුවට පත් වුණා!

රුසියාවේ සිදුකරන විසම්මුතිය මර්දනය සම්බන්ධයෙන් ඇසූ විට ද පුටින් අපභ්‍රංශ පිළිතුරක් ලබාදුන්නේය. එය ග්‍රාමසේවක තමන් විසින්ම ගස් බැඳගත්තා වැනි සිද්ධියකි. එනම් ඇලෙක්සි නවාල්නිව අත්අඩංගුවට ගැනීම සහ ඔහු මේ වන විට වසර දෙකහමාරක සිර දඬුවමක් විඳීම ගැන ඔහු පැවසුවේ ‘‘ඔහුට ඇත්තටම අත්අඩංගුවට පත් වන්නට අවශ්‍යතාවයක් තිබුණා..‘‘ යනුවෙනි.

‘‘මේ මිනිහා රුසියාවෙ නීතිය කැඩීම ගැන ප්‍රසිද්ධයි. නීතියෙන් දෙවරක් වරදකරු කළ කෙනෙක්… හිතාමතාම නීතිය කඩන්නයි ඔහුට අවශ්‍ය. ඔහු තමන්ට අවශ්‍ය දේ ම කළා. ඒ නිසා අපිට මොන විදිහෙ සාකච්ඡාවක් ද එයා ගැන කරන්න පුළුවන්..?‘‘ යැයි පුටින් ඇසුවේය.

කෙසේ නමුත් නවාල්නි යම් හෙයකින් බන්ධනාගාරයේදී මරණයට පත් වුවහොත් ‘විනාශකාරී ප්‍රතිඵල‘ ඇති විය හැකි බව පුටින් පැවසුවේය.

Russia’s President Vladimir Putin holds a press conference after meeting with US President at the ‘Villa la Grange’ in Geneva on June 16, 2021. (Photo by DENIS BALIBOUSE / POOL / AFP) (Photo by DENIS BALIBOUSE/POOL/AFP via Getty Images)

ක්‍රිමියාව ඈඳා ගැනීම ගැන

රුසියාව විසින් නීති විරෝධී ලෙස 2014 වසරේදී සිදුකළ ක්‍රිමියාව ඈඳා ගැනීම ගැන විමසන විට පුටින් කියා සිටියේ, කලාපයේ හමුදා ක්‍රියාකාරකම් රුසියාව විසින් සිදු කරන්නේ සම්පූර්ණයෙන්ම අන්තර්ජාතික නීතියට එකඟව බවයි. යුක්රේනය නේටෝ සංවිධානය සමග ගිවිසුම් ගත වීම ගැන ඇසූ විට ඔහු කීවේ ‘‘එ් ගැන සාකච්ඡා කරන්නට දෙයක් නැති බව‘‘ යි.

සිය රට තුළ අසීමිත බලයක් ඇති ඒකාධිපති නායකයෙක් ලෙසට නම් දරා ඇති පුටින්, ආත්ම විශ්වාසයෙන් යුතුව සහ කිසිවක් ගණන් නොගන්නා ආකාරයෙන් කතා කිරීම අසීරු දෙයක් හෝ හුරු නැති දෙයක් නොවේ. එනිසා ලෝකයේ බලවත්ම මිනිසා ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව පවා ඔහු සිය ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට මිස සසල වීමට අවස්ථාවක් ලෙස සලකන්නේ නැත.

ජිනීවා සාකච්ඡාවෙන් පුටින්ට ලැබුණේ මොනවාද?

මෙම ජිනීවා සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස පුටින්ට ඉල්ලීමක් කර තිබුණේ ඇමරිකාවයි. මෙය අනෙක් අතින්, පුටින්ට ඇමරිකාවේ ජනපතිවරයා වන බයිඩන්ට සමාන ලෙස සැලකීමේ අවස්ථාවක් ලබාගැනීමකි.

‘‘මේක තමයි හරියටම ක්‍රෙම්ලිනයට අවශ්‍ය කර තිබුණේ.. ඇමරිකාව සමග සමානයෙක් වශයෙන් කතා බහ කිරීම..‘‘ යැයි මොස්කව් හි ක්‍රයිසිස් ගෘෘප් හි ජ්‍යේෂ්ඨයෙකු පවසයි.

‘‘මෙම සාකච්ඡාව එදිරිවාදී තැනකට දිව ගියා නම්, එසේත් නැතිනම් මොස්කව් පාලනයට අවාසි සහගත වන තැනකට ගියා නම්, එතැනින් එහාට බයිඩන්ව පරීක්ෂා කරන්නටත් පුටින් පසුබට වෙන්නේ නැහැ..‘‘ යැයි ද ඔහු තවදුරටත් පවසයි.

‘‘මෙය ඇමරිකාව හා රුසියාව අතර ද්වීපාර්ශවික සබඳතා සාමාන්‍යකරණය වීමේ ආරම්භය නොවේ. එය ඒවා තවදුරටත් පිරිහෙන්නේ නැතිව නතර කර ගැනීමේ උත්සාහයක්..‘‘ යැයි ද ඔහු කියයි.

TOPSHOT – US Secretary of State Antony Blinken (L), US President Joe Biden (2nd L), Russian President Vladimir Putin (2n R) and Russian Foreign Minister Sergei Lavrov (R) pose for press ahead of the US-Russia summit at the Villa La Grange, in Geneva on June 16, 2021. (Photo by Brendan Smialowski / AFP) (Photo by BRENDAN SMIALOWSKI/AFP via Getty Images)

US Secretary of State Antony Blinken (L), US President Joe Biden (2nd L), Russian President Vladimir Putin (2n R) and Russian Foreign Minister Sergei Lavrov (R) pose for press ahead of the US-Russia summit at the Villa La Grange, in Geneva on June 16, 2021

රුසියාවේ සිටින පුටින් වාදීන් මෙම සාකච්ඡා වලින් ප්‍රමුදිතව සිටිති. සිය නායකයා ‘හරි‘ බව අන්තර්ජාතික වශයෙන් ද ඔප්පු වී ඇති බවක් ඔවුහු සිතති. ආරක්ෂාව සහ සම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් කතා කරන අතරවාරයේම ඇමරිකානු සමාජයේ අඩුපාඩු ඉස්මතු කර පෙන්වමින් ඇමරිකාවට ‘කට උත්තර නැති කිරීමට‘ ද පුටින් සමත් වී ඇත.

පුටින් ගේ විරුද්ධවාදීන්ට අනුව නම්, දේශපාලන විසම්මුතිකවාදීන්ට වස දෙන සහ ඔවුන්ව හිරේ යවන, නීති විරෝධී ලෙස විදේශ භූමි ඈඳා ගන්නා පුටින්ගෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

අවසානයේ පුටින්ට අවශ්‍යම දේ සිදුවිය. ඔහු ඇමරිකාව ‘ෂේප්‘ කර ගන්නා ගමන්, පුටින් වාදීන්ට ද හුරේ දමන්නට අවස්ථාවක් ලබාදුන්නේය. ඔහු ජිනීවා කතා බහෙන් පසුව ස්විට්සර්ලන්තයෙන් යන්නේ විශාල රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ද ලබාගනිමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි