×

මල් පාත්තියෙන් එලොව ගොස් මෙලොව ආ ක්වීන් ගිටාර් වාදක බ්‍රයන් මේ!

ක්වීන් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදක බ්‍රයන් මේ මහතා මේ වන විට 72 වන වියෙහි පසුවෙයි.


70 – 80 දශක වල සුපිරි පොප් රොක් සංගීත කණ්ඩායමක් වූ ක්වීන් හි ගිටාර් වාදක බ්‍රයන් මේ මහතා හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

ඒ් තම මල්පාත්ති‌යේ වැඩකටයුතු කරමින් සිටියදී දේහයේ පසුපස ප්‍රදේශයේ ඇතිවූ වේදනාවක් නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී ය.

බ්‍රයන් මහතා රෝහල් ගත කර තිබෙන්නේ මෙම මස මුල් දිනයක දී වන අතර, එවිට දේහයේ පසුපස මාංශපේශි වල වේදනාවක් මත මෙසේ රෝහල් ගත කළ බවට වාර්තා වී තිබුණ ද, මේ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ තමා ට ඇතිවූ සුළු හෘද්‍යාබාධ තත්ත්වයක් මත මෙය සිදුවූ බවයි.

එම හෘද්‍යාබාධ තත්ත්වය තුළ සිය ධමනි නාල තුනක් අවහිර වී තිබුණු බවත්, මරණයේ සේයාව පෙනෙන නොපෙනෙන මානයට තත්ත්වය අසාද්‍ය වූ බවත් ඔහු හෙලිදරව් කළේය.

බ්‍රයන් මහතා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මේ පිළිබඳ තොරතුරු සඳහන් කරමින් පෝස්ටු පළ කර තිබේ.

මල් පාත්තියේ සිටියදී ඇතිවූ මාංශ පේශී අපහසුතාවයෙන් සතියකට පසු ද අධික වේදනාවකින් පෙළෙමින් සිට ඇති ඒ මහතා, එම්ආර්අයි ස්කෑන් පරීක්ෂාවක් සිදුකිරීමෙන් පසු කශේරුවේ තදබල ස්නායු තෙරපුමක් ඇති බවට සොයාගෙන තිබේ.

මෙම ස්නායු තෙරපුම නිසා ඇතිවූ වේදනාව ඒ මහතා සඳහන් කර තිබුණේ, කිසිවකු විසින් ඉස්කුරුප්පුවක් තම පිට ඔස්සේ ගෙනියන්නේ මෙන් දැනුණු බවයි.

මෙම ස්නායු තෙරපුමෙන් පීඩා විඳි බ්‍රයන් මහතා හට මිනිත්තු 40 ක පමණ කාලයක පපුවේ වේදනාවක් හට ගෙන ඇති අතර, පරීක්ෂා කීරීමේදී හෙලිදරව් වී ඇත්තේ සුළු හෘද්‍යාබාධ තත්ත්වයක් හට ගෙන ඇති බවයි.

හෘද්‍යාබාධ තත්ත්ව සඳහා සිදුකරන ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂාවකින් වෛද්‍යවරුන් තහවුරු කර ගෙන තිබෙන්නේ බ්‍රයන් මහතා ගේ ධමනි නාල තුනක් සිරවී ඇති බවයි.

විවෘත හෘද සැත්කමක් සිදුකිරීම සඳහා ඇතැම් පාර්ශව තමාට බල කර සිටි මුත් බ්‍රයන් මහතා එකඟ වී තිබෙන්නේ ස්ටෙන්ට් තුනක් තැන්පත් කිරීමේ සැත්කම වෙතයි.

හැමෝම මට කියන්න ගත්තා, ඔයාට බ්ලඩ් ප්‍රෙෂර්, ඔයාට හාට් රේට් ඒක වැඩියි.. ඒත් මම මගේ බයික් එක දිගටම පැද්දා.. හොඳින් ආහාර පාලනය කරා.. තෙල් සහිත ආහාර පාලනය කරා.

ඒ බ්‍රයන් මහතා ගේ වදන් ය.

එමෙන්ම සෑම පුද්ගලයකු සිය වයස 60 කරා ළඟා වීමේදී ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂාවක් සිදුකර ගැනීම වැදගත් බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

අපගේ ජීවිතයේ සරත් සමය ට එළඹෙන විට අප හැමෝම අපගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුයි. සෞඛ්‍ය සම්පන්න හදවතක් තිබෙනවා යැයි බැලූබැල්මට පෙනෙන්නට පුළුවනි. එහෙත් එය එසේ නොවෙන්නට පුළුවනි.

තම කශේරුවේ ස්නායු තෙරපුම නිසා පාදයේ වේදනා ද හට ගත් බවත් ඒ සඳහා වේදනානාශක ඖෂධ ලබා ගැනීමට සිදුවූ බවත් බ්‍රයන් මහතා සඳහන් කර සිටියේය. ඖෂධ මත යැපීමට සිදුවීම ඉතා කරදරකාරී බව ද හෙතෙම පැවසීය.

තම කෂේරුවේ වේදනාවට අදාළ භෞතචිකිත්සක ප්‍රතිකර්ම සිදුකළ භෞතචිකිත්සකවරයා ට සිය ස්තූතිය පළකරමින් බ්‍රයන් මහතා පවසා සිටියේ, මරණයේ අභියසට ගොස් නැවත ජීවිතයේ සුළඟ යළි අත්විඳීමට අවස්ථාව උදා කර දුන් සැමට තම කෘතඥතාවය පළ කරනා බවයි.

ක්වීන් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදක බ්‍රයන් මේ මහතා මේ වන විට 72 වන වියෙහි පසුවෙයි.

දිවංගත සිය සංගීත සගයා ක්වීන් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක ෆ්‍රෙඩී මර්කරි ගේ චරිතාපදානය ආවර්ජනය කරමින් පසුගිය වසරේ තිරගත වූ බොහේමියන් රැප්සඩි චිත්‍රපටය ඔස්කාර් සම්මාන ජයග්‍රහණය කිරීමට සමත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි