×

පිරිමි සිතේ නුරා කුසුම – ඕකිඩ්

ඇතැම් ඕකිඩ් සුන්දරියන්ගේ උඩු තොල් සිපගන්නට වරම් ඇත්තේ කෝටිපතියන්ට පමණි.


තාත්තා දැන් නම් ඉක්මනට එන්න ඕනෙ” උතුරු මියන්මාරයේ පුටාවෝ හි හද්දා පිටිසර කඳුකර ගම්මානයක උණ බටවලින් තැනූ ගෙපැළේ කවුළුවකින් කඳුකරය දෙස බලන වාර් ගීයි පවසයි. ඈතින් රාජාලියෝ පියඹති. මේ සුළං සැර නිම්නය වෙන ම ලෝකයක් සේ ය.

මද වේලාවක් යන විට හිමාලය කඳුකරයේ කරක් ගැසූ “ඕකිඩ් දඩයක්කාරයා” ගෙපැළට ගොඩවුණේය. මේ අසූ එක් හැවිරිදි තරුණ මහල්ලා වෙදෙක් ද වේ. වෙදෙකියි කීම අවතක්සේරුවකැයි සිතේ නම්, ඊළඟට ළඟම සමාන වචනයට අනුව හේ ජීවකයෙකි.

පුරා සතියක් හිමාලයානු කඳුකරයේ වන මංකඩ ඔස්සේ ගිය ඔහු, සිය “දඩයම” ගෙපැළේ බිමට හෙළීය. අතීශය දුර්ලභ ගණයේ වියළි ඕකිඩ් මල් රැසක් බිම විසිරිණි. “තාත්තගෙ ගමන සාර්ථකයි” පුත්‍රයා ඒ දෙස බලා මහත් තෘප්තියෙන් කොඳුරයි.

ලොව විශාලම සපුෂ්ප ශාක කුලයට අයත් වන නිසාම, වර්ග විසි දෙදහසකට වඩා ඇති ඕකිඩ්, මිහිමත ඇති පැරණිතම මලකි. ඕකිඩ් උණ ලෝකයට වැළඳුණේ, 19 වැනි සියවසේ දී බ්‍රිතාන්‍ය පැළෑටි රැස්කරන්නකු වූ විලියම් ස්වයින්සන් විසින් බ්‍රසීලයෙන් එක්රැස්කර ගත් ඕකිඩ් මල් පිරුණු පෙට්ටියක් සිය මවු රටට යැවීමත් සමඟ ය.

එකල බ්‍රිතාන්‍ය වාර්තාවන්ට අනුව ලොව අනුරාගී ම මල ලෙස සැලකුණේ ඕකිඩ් ය. එකල ඇතැම් ඉංග්‍රී‍රිසි ජාතිකයන් ඕකිඩ් මල්වලින් නග්න කාන්තා දේහ සිතින් මවාගැනීමට පුරුදු වූ බව කියැවේ.

ප්‍රකට පුද්ගලයන් සිහිවනු වස් ඕකිඩ් මල් නම් කිරීම, අද වන විට ලොව ප්‍රචලිත සිරිතකි. සුන්දර ඩයනා කුමරිය ගේ පහළොස් වැනි මරණ සංවත්සරය නිමිත්තෙන් ඇය වෙනුවෙන් විලියම් කුමරු සහ කේට් කුමරිය අතින් සිංගප්පූරුවේදී ඕකිඩ් මලක් නම් කෙරුණේ මේ නොබෝදා ය.

නාරි හැඩතල මවන මේ මෘදු සහ වෛවාරණ කුසුමේ දුර්ලභ විශේෂ එකතු කරන්නට කැලෑ වදින්නෝ අද ද එමට සිටිති. දුර්ලභ ඕකිඩ් සඳහා තිබෙන පිටස්තර ලෝකයේ අධික ඉල්ලුම, සැපයුම සමඟ යා කරන්නේ එම දඩයක්කාරයන් ය. නූතන යුගයේ ඕකිඩ් දඩයක්කාරයෝ පවා ඒ වෙනුවෙන් සිය ජීවිත පරදුවට තබති. අමෙරිකානු ලේඛක සහ ඕකිඩ් විශේෂඥයකු වූ ලාන්ස් බර්ක්, ග්වාතමාලාවේ ඕකිඩ් සොයා යන අතර, චෞරයන්ගේ පැහැර ගැනීමට ලක්විය.

කාම්බෝජියාවේදී ඔහුට ගරිල්ලෝ වෙඩි තැබූහ. තායිලන්තයේදී කැලෑ වැදුණු ගමන නතර වූයේ, ඔහුට කොළරා රෝගය වැලඳීමෙනි. බ්‍රිතාන්‍ය උද්‍යාන ශිල්පී ටොම් හාට් ඩියුක් ඕකිඩ් දඩයම ට ගොස් පුරා මාස නවයක් ගරිල්ලන්ගේ ප්‍රාණ ඇපයේ පසුවිය.

මිනිසා මෙතරම් ඕකිඩ් මලට වශී වන්නේ මන්දැයි කිසිම විද්‍යාවකට පැහැදිලි කළ නොහැකි යැයි “දී ඕකිඩ් තීෆ්” (ඕකිඩ් සොරා) නමින් පොතක් ලියූ සූසන් ඕලින් පවසයි.

මියන්මාරය ඕකිඩ් සඳහා සුවිශේෂ දඩබිමක් වන්නේ, දුර්ලභ වර්ග ද ඇතුළු ව ඕකිඩ් විශේෂ 841 ක් එහි වැවෙන නිසා ය. කළු ඕකිඩ් නමැති කළු තිත් වැටුණු ඕකිඩ් වර්ගය ඒ අතරින් විශේෂ ය. කළු ඕකිඩ් මලක් සොයාගන්නට දඩයක්කරුවෙක් අඩුම වශයෙන් රාත්‍රීන් සතක් වත් කඳුකරයේ ගත කළ යුතු ය.

“ඕකිඩ් මල්වල සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් දීර්ඝායුෂ ලැබෙනවා කියලා බටහිර ජාතිකයො විශ්වාස කරනවා” සංචාරක කර්මාන්තය නොදියුණු අඩියක තිබුණත් කළු ඕකිඩ් සොයමින් සුද්දන් එහි එන්නේ මන්දැයි එක දඩයක්කරුවෙක් පැහැදිලි කරයි.

“නමුත් හරි මල හොයාගන්න එක තමයි වැදගත් ම දේ… හැම ඕකිඩ් මලක් ම එක වගේ නෙවෙයි… ඖෂධීය ගුණය මලෙන් මලට වෙනස්” දඩයක්කරුවෝ ඕකිඩ් මල් අසල සැරිසරන මී මැස්සන්ගේ ඉරියව් නිරීක්‍ෂණය කරති.

“සමහර ඕකිඩ් මල්වලින් පැණි බොන මී මැස්සො ටික වෙලාවකින් මැරිල වැටෙනවා. ඒකට හේතුව සමහර ඕකිඩ් මල් වර්ග විෂ සහිතයි” යැයි ද ඔවුහු කියති.

ඕකිඩ් දඩයක්කරුවන් හිමාලය වනය තුළට වැදෙන්නේ ප්ලාස්ටික් පැදුරක්, ලයිටරයක් සහ අනිවාර්යයෙන් ම කුඩා දුන්නක් සහ ඊතල ද සමඟ ය. දුන්න සහ ඊතල කුඩා සතුන් දඩයම් කරගැනීම සඳහා ය. “කැලේ ඕනෙ තතරම් ඌරො, වඳුරො ඉන්නවා. එහෙම දඩයමක් කරගන්න බැරිවුණු දවසට කොළ වර්ග කනවා” යැයි ඔවුහු කියති.

ඇතැමුන්ට මේ ගමන්වලදී මැලේරියාව වැළඳේ. ගෝත්‍රිකයන්ට හසුවන අවස්ථා ද තිබේ. හැරත් වනයේ සතුන් සඳහා ඇටවූ බොරු වළවල් ද එමටය. විෂඝෝර සර්පයන් ද එමට ය.

කළු ඕකිඩ් මල් යනු තනි කළු පැහැ මල් නොවේ. ඒවායේ කළු පැහැයට වඩා තිබෙන්නේ තද අඳුරු පාට කොළ පැහැයකි. සුන්දරියගේ උඩු තොල මත කළු තිත් යහමින් විසිරී ඇත. එය සිපගන්නට වරම් ඇත්තේ කෝටිපතියන්ට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි