×

සුවඳැති කුසුමකට සම්මානයක්

රෝරි පෙක් 2018 සම්මානය, අයුක්තිය අසාධාරණය වෙනුවෙන් දිවි දුන් මොල්ටෝවා මාධ්‍යවේදිනිය නමට !


ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයෙහි නියැලුණු ඩෆ්නි කරුවානා ගලිෂියා නැමැති මෝල්ටෝවා ජාතික නිදහස් මාධ්‍යවේදිනිය පසුගිය වසරේ ඔක්තෝම්බර් 16වැනිදා සිය මෝටර් රථයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකට මැදිව ජීවිතක්ෂයට පත් විණ.

අල්ලස් දූෂණවලට එරෙහිව සිය පෑන මෙහෙය වූ ඩෆ්නි බෝම්බයට ගොදුරු වූයේ මොල්ටෝවාහි සිය නිවෙස ආසන්නයේදීම ය. මේ බෝම්බ ප්‍රහාරය ඇයවම ඉලක්ක කර එල්ල කරනු ලැබූ බෝම්බ ප්‍රහාරයක් බව පසුව අනාවරණය විණ.

එලෙස ජීවිතයෙන් වන්දි ගෙවූ ඩෆ්නි කරුවානා ගලිෂියා මාධ්‍යවේදිනියගේ නම, රෝරි පෙක් 2018 සම්මානය සඳහා යෝජනා වී ඇති බව මේ වනවිට ප්‍රකාශයට පත් කෙරී ඇත. සම්මාන ප්‍රදානය ලබන නොවැම්බර් පළමුවැනිදා ලන්ඩනයේදී පැවැත් වේ. ඩෆ්නි කරුවානා ගලිෂියා වෙනුවෙන් පිදෙන සම්මානය ඇගේ වැඩිමහල් පුත් මැතිව් කරුවානා ගලිෂියා ලබා ගැනීමට නියමිතව ඇත.

අල්ලස, දූෂණය මෙන්ම අයතා දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීමට ඩෆ්නි කරුවානා ගලිෂියා තුළ පැවැතියේ උපන් හපන්කමකි. ඇගේ ගවේෂණාත්මක වාර්තාකරණයෙන් අනාවරණය වූ කරුණු නිසා මෝල්ටෝවාවේ බොහෝ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිළධාරීන් ද අර්බුධකාරී සහ අසරණ තත්ත්වවලට පත්වුණු බව සඳහන් වේ. දේශපාලනඥයන්ගේ සහ නිළධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියා, නොසලකා හැරීම් සහ අල්ලස් ගැනීම්වලට ඇගේ වාර්තා තුළ සමාවක් සහ විරාමයක් තිබුණේ නැත. අල්ලස දූෂණය හැරුණුවිට සංක්‍රමණ, මානව අයිතිවාසිකම් කඩවීම්, වර්ග වාදය, අන්තවාදී කණ්ඩායම්වල නැඟීම්, මැතිවරණ දූෂණ, ආයතනික වශයෙන් ඇතිවන දුර්වලතාවයන්, මූල්‍ය වංචා ආදී නොයෙක් විධ අකටයුතුකම් ඉදිරියේ ඇගේ පෑන තදබල ලෙස එසවිණ. පැනමා පත්‍ර (Panama Papers) සම්බන්ධයෙන් ඈ කළ ගවේෂණාත්මක වර්තාකරණයන් කැපී පෙනිණ. පැනමා පත්‍ර පිළිබඳව පළමුවෙන් අධ්‍යනයක් කළේ ද ඈ බව සඳහන් වේ.

ඩෆ්නි කරුවානා ගලිෂියාගේ ප්‍රශ්න කිරීම් විවිධ මාධ්‍ය හරහා විවිධ ස්වරූපයෙන් එල්ල වූයේය. විටෙක ඈ කටයුතු කළේ තීරු ලිපි රචිකාවක හැටියටයි. ඇගේ තීරු ලිපි රචනාවන් “මෝල්ටා ඉන්ඩිපෙන්ඩන්ට්” (Malta Independent) සහ “ඉන්ඩිපෙන්ඩන්ට් ඔන් සන්ඩේ” (Independent on Sunday) යන පුවත්පත්වල පළවිණ. “රනින් කොමෙන්ටරි” (Running Commentary) යනුවෙන් ඈ ආරම්භ කළ බ්ලොග් සටහන් තැබුම පුදුමාකාර අන්දමින් ජනප්‍රිය වූයේය. අඩු තරමින් 400,000ක පිරිසක්වත් ඇගේ බ්ලොග් සටහන් කියැවූ බව සඳහන් වේ.

මේ සියල්ලට ඩෆ්නි කරුවානා ගලිෂියාට ලැබුණේ මරණ තර්ජන, ඇගේ දේපළවලට පහරදීම්, ඇයව අත්අඩංගුවට ගැනීම, ඇයට අපහාස කිරීම වැනි දේවල් පමණි. ඈ ඝාතනයට ලක් වුණු පසුගිය වසරේදී අන්තර්ජාලය හරහා ඇයට දිගට හරහාට තර්ජන ගලා එන්නට පටන් ගත්තේය. පසුගිය වසරේ මුල් මාස නවය තුළ එවැනි තර්ජනය කිරීම් 15ක්වත් එල්ල වුණු බව සඳහන් වේ. තමන්ට එල්ල වන තර්ජන ගැන මෝල්ටාවේ ආරක්ෂක අංශවලට පැමිණිලි කළද ඩෆ්නි කරුවානා ගලිෂියාට නිසි විසඳුමක් ලැබුණේ නැත. ඇගේ ඝාතනය සිදුවන්නට සති දෙකකට පළමුවත් ඈ පොලිසියට පැමිණිල්ලක් කළ බව වාර්තාවන්හි දැක් වේ. එසේ වුවත් මියයන අවස්ථාව වනවිටත් ඕ සිටියේ කිසිදු ආරක්ෂාවක් නොමැතිව ය.

ඩෆ්නි කරුවානා ගලිෂියා, සමාජයට යහපතක් කිරීමේ අර්ථයෙන් ඉතා වැදගත් කරුණු අනාවරණය කරමින් අභියෝගාත්මකව ගවේෂණාත්මක වාර්තාකරණයෙහි නියැළුණු අසාමන්‍යය මාධ්‍යවේදිනියක බැවින් මේ වසරේ සම්මානය ඇයට පිදෙන බව රෝරි පෙක් පදනමේ සභාපතිනී සාරාහ් වෝර්ඩ්- ලිලෙයි පවසන්නීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි