×

රුසියාව විකිලීක්ස් නිර්මාතෘව පන්නාගෙන යන්න හදලා!

රුසියාව විසින් විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ව, ඔහු රැඳී සිටින එක්සත් රාජධානියේ ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් ‘පන්නා ගැනීම‘ ගැන සලකා බලා ඇති බව නවතම වාර්තාවක් හෙළි කරයි.


එයට අනුව රුසියානු නිලධාරීන් විසින් ජුලියන් අසාන්ජ් ගේ සමීපතමයන් සමග මේ පිළිබඳ සාකච්ඡා ද පවත්වා තිබේ.

මෙම රහස් සැලසුමට අනුව 2017 දෙසැම්බරයේ නත්තල් දින සන්ධ්‍යාවේ ජුලියන් අසාන්ජ්, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වෙන් කළ වාහනයක සඟවාගෙන වෙනත් රටකට ගෙන යාමට නියමිත ව තිබී ඇති බව ගාඩියන් පුවත්පත හෙළි කරයි.

කෙසේ නමුත් මෙම සැලසුම, අවදානමෙන් අධික බව සලකා පසුව අත්හැර දමා තිබේ.

මේ අතර, ලන්ඩනයේ පිහිටා ඇති රුසියානු තානාපති කාර්යාලය සිය වෙබ් අඩවිය මගින් එක හෙළා පවසන්නේ මෙවැනි සැලසුමකට රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිසිදු අයුරකින් සම්බන්ධ නොවූ බවට ය.

රුසියාව සැලකෙන්නේ ජුලියන් අසාන්ජ් හට රැකවරණය සලසා ගත හැකි ලෝකයේ ප්‍රධානතම රාජ්‍යයක් ලෙස ය.

ඉක්වදෝරය, මෙම රහස් සැලසුමේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවට ද තොරතුරු තිබේ.

අසාන්ජ් රුසියාව තුළ ඉක්වදෝර තානාපති කාර්යාලයේ ‘විශේෂ තනතුරක්‘ සඳහා සුදුසු බවට යෝජනා කරමින් ඉක්වදෝරයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉක්වදෝර දේශපාලනඥයෙක් විසින් ලිපියක් ද ලබා දී ඇත. මේ බව හෙළි කරන්නේ රොයිටර්ස් පුවත්සේවයයි.

මේ හා සබැඳි ඉතිහාස කතාවක්ද තිබේ. 2017 දෙසැම්බරය වන විට, එනම් අසාන්ජ් ව පන්නාගෙන යාමට සැලසුම් කළ කාලය වන විට එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය විසින් ඉක්වදෝර බලධාරීන්ට දැනුම් දී තිබෙන්නේ අසාන්ජ් ව රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස තමන් පිළිනොගන්නා බව ය. මේ අනුව, ඔහුට වියානා සම්මුතිය යටතේ රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් භුක්ති විඳින වරප්‍රසාද සහ විනිර්මුක්තීන්වලට අයිතියක් නැති බව ද එක්සත් රාජධානිය දැනුම් දී ඇත.

යම් හෙයකින් ඔහුට වියානා සම්මුතිය යටතේ හිමිවන වරප්‍රසාද සහ විනිර්මුක්තිය ප්‍රදානය කෙරිණි නම්, කිසිදු අවහිරයකින් තොරව රටෙන් පිටවීමට ද ඒ අනුව හැකියාව ලැබේ.

අසාන්ජ් හට ඇප පැහැර හැරීමේ චෝදනා එල්ල වී තිබෙන අතර, ඔහු තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණියහොත් එක්සත් රාජධානි බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ඇත. මේ නිසා විකිලීක්ස් නිර්මාතෘ, ලන්ඩනයේ පිහිටා තිබෙන ඉක්වදෝර තානාපති කාර්යාලයේ තමන් විසින්ම පනවා ගත් නිවාස අඩස්සියකට පත්ව සිටියි. ඔහු, බාහිර ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් නොමැති කම නිසා ගතවූ වසර 6 ම ගෙවා දැමුවේ ඉක්වදෝර තානාපති කාර්යාලය තුළ ය.

2011 වසරේදී අසාන්ජ් විසින් ලන්ඩනයේ පිහිටා තිබෙන රුසියානු තානාපති කාර්යාලයෙන් රුසියානු වීසා සඳහා අයදුම් කර ඇත. මේ බව, මේ සතියේ මුල ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවය විසින් අනාවරණය කළේය.

නමුත් විකි ලීක්ස්, සිය ට්විටර් ගිණුම හරහා කියා සිටියේ අසාන්ජ් කිසිදු විටෙක රුසියානු වීසා සඳහා අයදුම් නොකළ බවයි.

මේ අතර 2017 වසරේදී ඇමරිකානු බුද්ධි අංශ අනාවරණය කර ගත්තේ රුසියාව විසින් ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන පෙළේ පුද්ගලයන්ගේ ඊ මේල් හැක් කිරීම සඳහා අන්තර්මාධ්‍යයක් වශයෙන් විකිලීක්ස් යොදාගෙන ඇති බව ය.

2018 ජූලි මාසයේදී, ඇමරිකානු ජනාධිපතිවරණය සහ රුසියානු අතපෙවීම් පිළිබඳ විමර්ශනය කරන මුලර් කොමිසමේ සභාපති, විශේෂ නීතීඥ රොබට් මුලර් ප්‍රකාශ කළේ රුසියානු හැකර්වරුන් විසින් ඩිමොක්‍රටික් පක්ෂ නායකයන්ගේ ඊ මේල් විකිලීක්ස් වෙත යවා ඇති බවයි. ඩිමොක්‍රටික් පක්ෂයේ සර්වර් පවා ඔවුන් විසින් හැක් කර ඇති බවට සැක පළ විය. මේ අනුව විකිලීක්ස් සහ රුසියාව අතර දැඩි සම්බන්ධයක් තිබෙන බවට පැවති සැකය, අසාන්ජ් රුසියාවට පන්නාගෙන යාමට ගත් උත්සාහය තුළින් තවදුරටත් සනාථ වන බව ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති.

– The Independent ඇසුරෙනි.

පෙර ලිපි-

විකිලීක්ස් නිර්මාතෘගේ සයිබර් සගයා අබිහරස් ලෙස අතුරුදහන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි