මැසචුටෙස්ට්ස් හි සලීම්. එක්දහස් හයසිය අනූ දෙකේ එක් වසන්ත දිනයක්.
අළු පැහැති අත්ලාන්තික් සයුරෙන් ඔබ්බේ පිහිටා තිබෙන ඔවුන්ගේ අතීත මව්රට දෙස කුඩා දැවමුවා ගොඩනැගිලි සහ නිවාස පෙළ බලා සිටියේය. මහ වනය දේශසීමාව විය. ඇපලේචියන් කදුවැටිය අසබඩ ද මෙම වනාන්තරය තුළ ද විසුවෝ වනචාරී ඉන්දියානු ගෝත්‍රයෝ ය. අදුර වැටෙන විට මේ නොදන්නා දේශය භීතියකින් ඇළලී යයි. නමුත් සාමාන්‍ය වසන්ත දිනයන්හි දිවාකාලයේදී නාගරිකය ජනාකීර්ණත්වයෙන් ඇළලී යයි. එහි වෙසෙන ශිෂ්ට සම්පන්න වැසියෝ ශක්තිමත් සහ කය වෙහෙසා වැඩකිරිමට ප්‍රිය කළ වුන් වුහ. නමුත් ඔවුන් වෙත වූයේ අසාමාන්‍ය ආගමික නැඹුරුවකි. අලුත් ජීවිතයක් සහ විමුක්තියක් සොයා පැරණි එංගලන්තයෙන් පැමිණි පිරිසකගේ අනුගාමිකයෝ ඔවුන් ය. පැරණි එංගලන්තයේදී විවිධාකාරයේ ආගමික හිංසනයන් ට ලක්වූ ඔවුන් නව දේශයේදී බලාපොරොත්තු වූයේ සැනසිල්ලයි. නමුත් ඔවුන් නොදැන සිටි දෙය, තමන් විසින්ම මේ නව ලෝකයේ බිහිකර තිබෙන්නේ අත්හැර දමා ආ අන් කවර ආගමකටත් වඩා බියකරු වු නවතම දේවධර්මයක් බවයි.
නගරයේ පර්ෂද දේවස්ථානයේ දේවගැතිවරයා වූ ගරුකටයුතු සැමුවෙල් පාරිෂ් පියතුමා, සිය බැතිමතුන් තමන් අනුදකින මාර්ගයෙන් එක් අගලක් හෝ පිට පනිනු දැකීමට කැමති වූ අයෙක් නොවේ. නමුත් වටහාගත නොහැකි දෙයක් නුවර සිදුවෙමින් ඇත. ඒ මූසල දිනයේදී හිටිවනම නගරය පුරා බියකරු හඩක් නින්නාද දුන්නේය. එය නගරයේ දැරියන් පිරිසක් විලාප නගන හඩකි. සිය අසල්වැසියන් ගෙන් එක්අයෙකු මායාකර්මයකට ගොදුරු වන ආකාරය සියැසින් දැකබලා ගැනීම සදහා අසල්වාසියෝ අධිකරණ ශාලාව තුලට රැස්ව සිටියහ. බොස්ටන් නුවරින් ආ උගත් නඩු කාරයා ඉදිරිපිට තිබුණේ භාරදූර කාර්යයකි. ඒ වන විට පැහැදිලිව පෙනී ගොස් තිබූ පරිදි සලීම් හි ජනතාවගේ ජීවිත යක්දෙස්සියන්ගේ තර්ජනවලට ගොදුරු වී තිබේ.
සියුම් ලෙස ප්‍රශ්නකළ සාරා ගූඩ් ගම්මානයේ දරුවන් මන්ත්‍රබලය මගින් මෝහනය කිරීම පිළිබද චෝදනා ලැබුවාය. සාක්ෂි විමසනු ලැබුවේ ගරු කටයුතු පාරිෂ් පියතුමාගේ නීග්‍රෝ සේවිකාව වූ ටිටුබා ගෙනි. ඇය විසින් සාරා ගූඩ් සහ තවත් එක් වියපත් කාන්තාවක යක්දෙස්සියන්ගේ රැස්වීමකදී දැක තිබිණි. ගූඩ් මහත්මිය වෘක දෙනෙකගේ මෙන්ම කුඩා කහ කිරිල්ලියකගේ වේශයෙන් ද පෙනී සිටිනු තමන් දෑසින් දුටුවේ යැයි ඇය කීවාය. එය අලුගෝසුවන්ගේ කඹය යට සිට ලබාදුන් සාක්ෂියක් බව ඇය දැන සිටියාය. යම් හෙයකින් ඇය බොරුවක් කීවා නම් ඒ මොහොතේම යක්දෙස්සියන් ඇයට එරෙහි ව දඩුවම් කරනු ඇත. එසේ නොවීමෙන්ම පෙනී යන්නේ ඇය කීවේ සැබෑවක් බව යි.
තවත් සාක්ෂි කරළියට ආවේය. සාරා ගූඩ් ගේ සිව් හැවිරිදි දියණිය පවා මවට එරෙහිව සාක්ෂි ලබාදීම සදහා සාක්ෂි කූඩුවට නැගුණාය. තම මව කහ කුරුල්ලෙකු අත තබාගෙන සිටිනු දුටුවේ යැයි ඇය කීවාය. ඉක්බිති එළඹුණේ වඩාත්ම පිළිකුල් සහ ගත සහ අනුවේදනීය ම සාක්ෂි කැදවීමේ අවස්ථාවයි.විනිසුරුගේ අණ පරිදි දරුවන් පෙළක් විනිසුරු අසුන ඉදිරියට කැදවුණු අතර ගූඩ් මහත්මියට මුහුණට මුහුණලා සිටගැනීමට ඔවුන්ට අණ කෙරිණි. ඔවුහු ඈ වෙත හැරී, ඊළග ක්ෂණයේ දරාගත නොහැකි කායික හා මානසික වේදනාවකින් පෙළෙන්නා සේ දගලන්නට පටන් ගත්හ. හරියට ඔවුන් වලිප්පුවෙන් පෙළෙන කලෙක මෙනි. එම වේදනාව දරාගත නොහී කුඩා සිරුරු දෙකක් සිහි විසඥව බිම වැටිණි. ඉතිරිවුන් නැගූ වේදනාත්මක විලාපය අධිකරණ ශාලාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේය. සලීම් හි පාළු වීදි දිගේ යක්ෂයා සැරිසරන බව ට දැන් සැකයක් නොවේ.
කළ යුත්ත තීරණය කිරීම සදහා විනිසුරුවරු ගිල්ස් කොරී නමැති නගරයේ ප්‍රකට ම නීතීඥවරයාගේ සහාය පතා සිටියහ. ගිල්ස් කොරී අතිශය දක්ෂ නීතීඥයෙකි. අස්වැන්න පාළු වීම, එළදෙනක් නැතිවීම හෝ ඉඩම් කොල්ලය වැනි සෑම මාතෘකාවකටම ඔවුහු ගිල්ස් ගේ නම ඈදති. ඔහුගේ නම ඇසෙනවිට ප්‍රතිවාදී නිතීඥයෝ නඩු භාරගැනීමෙන් වැළකී සිටියහ. සෑම දිනෙකම ඔහු උසාවි ශාලාවෙන් පිටතට ඇවිදගෙන එන්නේ තමන්ගැනම තෘප්තිමත් හැගීමකිනි.
නඩු විභාගය දිනෙන් දිනම ඇදී ගියේය. ගිල්ස් කොරීගේ උපදෙස වූයේ එම වග උත්තරකාරියන්ව දැඩි ලෙසම තව තවත් ප්‍රශ්න කළ යුතු බවයි. දිනපතා නගර වැසියන්ව කොටස් වශයෙන් සාක්ෂි කූඩුවට නැංවීම සිදුවිය. කුඩා ළමුන් බොරු නොකියන බව විශ්වාස කෙරුණු හෙයින් දැරියන්ව සාක්ෂි කාරියන් කිරිම දිගටම සිදුවිය. එදින කැදවමින් තිබුණේ අබ්ගාලි විලියම්ස් දැරියගේ සාක්ෂියයි.
සාක්ෂි කූඩුව තුළට නැගි ඈ හදිසියේම විලාප දුන්නේ භයංකාර දසුනක් දුටුවිට මෙනි. සලීම් හි පුරවැසියන් අත පවතින තවත් බියකරු යක්ෂ සංගමයක් පිළිබද ඇය තොරතුරු හෙළි කරන විට ජනකාය මීයට පිම්බාක් මෙන් නිහඩ වූහ. ඈ ඇසින් දුටු එක්තරා දිව්‍ය සත් ප්‍රසාදයක පූප සහ වයින් රුධිරය මෙන් රතු ය. එය මෙහෙයවූ පූජකයා දේවගැතිවරයෙකු නොව යක්ෂයාගේ ආත්මයක් විය. පූජනීය අවමානය පිළිබද එම අලුත් සාක්ෂියත් සමග එම දැරිය අයත් පූරිමැන් ජන කොට්ඨාසයේ යක්ෂ ආත්ම පිළිබද උසාවියේ අලුත් කතා බහක් ඇති විය. එක් ගරු කටයුතු කාන්තාවක් ප්‍රකාශ කළේ එම යක්ෂ ආත්මය ලද පුද්ගලයන් විසින් තමන්ගේ ගෝත්‍රයේ තරුණියන්ගෙන් නරුම ලෙස ලිංගිකාශ්වාදයක් ලබනා බවයි.
ඉක්මනින්ම ඊළග පිපිරීම සිදුවිය. සලීම් හි ප්‍රධාන පුරවැසියෙකු ගේ දියණිය වූ ඇනා පුට්නැම් සහ අබ්ගාලි විලියම්ස් දැරියෝ, යක්ෂයාගේ රැස්වීම්වලට සහභාගි වනු දුටු සිය අසල්වාසීන්ගේ නම් වැඩි වැඩියෙන් කීම ඇරඹුහ. යක්දෙස්සියන්ගේ හැසිරීම වැඩි වැඩියෙන් විස්තර කළහ. යක්දෙස්සියන්ගේ ආත්මයන් රාත්‍රියට ඔවුන් සොයා පැමිණෙයි. එම ආත්ම විසින් ඔවුන් ව සපා කනු ලබයි. අසරණ දැරියෝ එවිට ඔවුන්ගේ ග්‍රහණය ටනතු වෙති. යක්දෙස්සියන්ගේ නම් පැවසීම ආරම්භ කළ විට බියජනක නිශ්ශබ්දතාවයක් අධිකරණ ශාලාව සිසාරා පැතිර ගියේය. ඔවුන් කීවේ අබලන් ඇදන් වල වැතිර මරණාසන්නව පණ අදින මැහැලියන්ගේ නම් නොවේ. ඔවුන් විසින් නම් කළ අය භක්තිමත් ක්‍රිස්තියානීන් ය. පල්ලියේ යාවජීව සාමාජිකාවන් ය. සලීම් හි ගරු කටයුතු පුරවැසියන් ය. එසේම එම දැරියන්විසින් නම් කළ පළමු යක්දෙස්නියන් දෙදෙනා වූයේ, උසස් පුරවැසියන් ලෙස බුහුමන් ලබමින් සිටි ෆ්‍රැන්සිස් නර්ස් ගේ බිරිද වූ රෙබෙකා නර්ස් සහ මාර්තා කොරී ය. මාර්තා කොරී යනු අන් කෙනෙක් නොව ගිල්ස් කොරී ගේ පිය බිරිදයි!
ඇය ව නඩු විභාගය සදහා කැදවූ විට දැරියෝ උස්, බියකරු විලාපදීම් නගන්නට පටන් ගත්හ. දැරියෝ එක රොත්තට ගුලි වී මහත් භීතියෙන් සහ සන්ත්‍රාසයෙන් ඇළලී ගොස් මාර්තා දෙස බලාසිටින්නට පටන් ගත්හ. මාර්තා මේ තත්වය ඉවසිය නොහී දැරියන් වෙත ගිය විට දැරියෝ ඈට පිටුපසින් වු අවකාශය වෙත වෙව්ළන අතැගිලි දිගු කළහ. ප්‍රේක්ෂකයන් මහත් කැළඹීමෙන් යුතුව ඒ අත දිගු කළ දිශාව දෙස බැලුවත් හිස් අවකාශය මිස අන් දෙයක් ඔවුන්ගේ නෙත ගැටුණේ නැත. නමුත් දැරියෝ විලාප දෙමින් සිටියහ. එම විලාප අතරින් ඔවුහු පෙරටද වඩා හඩ නගමින් ඈට පිටුපසින් සිටින යක්ෂයාගේ හැසිරිම විස්තර කරන්නට වූහ.’’ අර කලු ලොකු මිනිහා-යක්ෂයා අන්න ආයෙමත් ඇගේ කණට කොදුරනවා..” යක්ෂයාගේ ඇගේ කණට කොදුරමින් සිටින්නේ දැරියනට ලබාදිය යුතු වධ හිංසා ගැන යැයි ඔවුන් කියූ අතර සාරා ගූඩ් ගේ හිස වටා එම කහ කුරුල්ලා පියෑඹූ ආකාරයට දැන් මාර්තා කොරීගේ ද හිස වටා එම යක්ෂ කුරුල්ලා භ්‍රමණය වෙයි.
එදින නඩු වාරය අවසන් වන විට මුළු උසාවියම එක ම ගාලගෝට්ටියක් බවට පත්ව තිබුණේය. දින ගණනක් නොව සති ගණනක් සාක්ෂි විභාග කළ අතර දැරියන් ක්‍රම ක්‍රමයෙන් කියා සිටියේ තමන්ගිල්ස් කොරී ගේ විකෘති කාමාශාවන් ට ගොදුරු වු බවයි. ගිල්ස් කොරී හිස නැඹුරු කර ගත්තේය. මේ අද්භූත චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමේ භාරය දැන් තමන් අත ය. ඇත්තෙන්ම මේ චෝදනාවලින් මිදීමට ඔවුන්ට දැන් කළ හැකි දෙයක් නැත. එසේම බොහෝවිට සිදුවන පරිදි මේ චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත් ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක වනු ඇත. නමුත් වියහැකි නරකම දෙය ඊටත් වඩා බොහෝ සෙයින් නරක විය. ගිල්ස් කොරී ව කතාකරවීම සදහා ඔහුට වධ දීම ඇරඹුණේය. පැතලි ලෑල්ලක් ඔහුගේ සිරුර මතින් තබා ලෑල්ල මතට ක්‍රමයෙන් බර පැටවුණේය. අවසානයේ මහලු මිනිසාගේ ඇට කටු බිදී ගියේය. පොළොව වෙත තෙරපුනු එම අඩක් මිය ගිය සිරුරෙන් නැගුනු අවසන් හුස්ම ද සමග ඔහු , නීතියේ මිනිසෙකු වූ ඔහු විදි මහා අවමානය ද අවසන් විය.
1692 පෙබරවාරි සිට 1693 ඔක්තෝබර් දක්වා කාලය තුළදී මේ ආකාරයට යක්දෙස්සන් හා යක්දෙස්සියන් යැයි තීරණය වූ පුරුෂයන් හා ස්ත්‍රීන් දහනව දෙනෙක් එල්ලා මරාදමා තිබිනි. විශ්වාස කෙරෙන්නේ නුවරුන් යක්දෙස්සන් යැයි හිතලුව මවාගත් දැරියන් කණ්ඩායම හිස්ටීරියාවෙන් පෙළුණවුන් බවයි.