×

USAid නායකත්වයට බයිඩන්ගේ තේරීම සමන්තා පවර්!

ඔබාමා පාලන සමය තුළ සිරියාවේ අර්බුදයට මිලිටරි විසඳුමක් සෙවීමට ඇමරිකාව කටයුතු කරද්දී ඊට තදින් ම විරුද්ධ වූ රාජ්‍ය නිලධාරිනියක් බවට සමන්තා මහත්මිය ප්‍රසිද්ධ ය.


හිටපු එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනයක් වන සමන්තා පවර් මහත්මිය එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ (US Agency for International Development – USAid) නායකත්වයට පත් කිරීමට ජෝ බයිඩන් මහතා තීරණය කර තිබේ.

ජාත්‍යන්තර අරමුදල් ආයතනයක් මෙන්ම, ගෝලීය අර්බුද හමුවේ නන්විධ දායකත්වයන් ලබා දෙන USAid ආයතනයට මෙම නායකත්වය ලැබිය යුතු යැයි ජෝ බයිඩන් මහතා විශ්වාස කරන්නේ පවර් මහත්මියගේ අත්දැකීම් සමුදාය ද සමඟ ය.

එක්සත් ජනපදයේ 46 වන ජනාධිපති ලෙස දිව්රුම් දීමට නියමිත ජෝ බයිඩන් මහතා මෙම නම් කිරීම සිදුකරන ලද්දේ ඉකුත් බදාදා (13) දින ය.

සමන්තා පවර් මහත්මිය USAid ආයතනයේ නායකත්වය ට යෝජනා කළ ජෝ බයිඩන් මහතා අවධාරණය කළේ ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ කොඳුනාරටියක් මෙන් කටයුතු කළ ඈ තරම් තවත් පුද්ගලයකු සිය රටේ සංවර්ධන න්‍යාය පත්‍රය විධිමත් කිරීමට නොමැති බවයි.

පවර් මහත්මිය බැරැක් ඔබාමා පාලන සමය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එක්සත් ජනපද තානාපතිනිය ලෙස කටයුතු කළාය.

එමෙන්ම ඈ බැරැක් ඔබාමා ගේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ද සාමාජිකත්වය දැරුවා ය. ඒ 2009 – 2013 කාලය තුළයි.

නමුත් එක්සත් ජනපදය තුළ ඇගේ කැපී පෙනෙන භූමිකාව වූයේ මානව හිමිකම් හා විදේශ ප්‍රතිපත්තීන් ආශ්‍රිත ව ඈ ලබා දුන් සේවාව බවට ද සඳහන්.

ඔබාමා පාලන සමය තුළ සිරියාවේ අර්බුදයට මිලිටරි විසඳුමක් සෙවීමට ඇමරිකාව කටයුතු කරද්දී ඊට තදින් ම විරුද්ධ වූ රාජ්‍ය නිලධාරිනියක් බවට සමන්තා මහත්මිය ප්‍රසිද්ධ ය.

ජාතිමාමකත්වයෙන් ඔබ්බට ජගත්මාමකත්වයක් දරන චරිතයක් බවට ප්‍රසිද්ධ සමන්තා මහත්මිය ඉකුත් බදාදා දින මෙසේ ප්‍රකාශ කළාය.

“අපගේ ආරක්ෂක තත්ත්වය අපගෙන් දුරස් ව ජීවත් වන පුද්ගලයින්ගේ ආරක්ෂාවට ද සම්බන්ධයි.

එක්සත් ජනපද වැසියන් වශයෙන් අප බොහෝ දෙනා මුහුණ දෙන වසංගත තත්ත්වය, ආර්ථික අර්බුදය, දේශගුණ අර්බුදය, නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගැටළු, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළු ආදිය ලොව නන්දෙස ජීවත් වන අනෙක් පුද්ගලයින් ද මුහුණ දෙනු ලබනවා.”

පවර් විසින් රචිත A Problem from Hell නම් මානව සංහාරයන් වලින් මිනිසුන් මුදවා ගැනීම අතින් එක්සත් ජනපදය අසමත් වී ඇති අන්දම පිළිබඳ රචිත ග්‍රන්ථය සඳහා පුලිට්සර් සම්මානයෙන් ද ඈ පිදුම් ලැබුවාය.

වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් ලෙස කලක් කටයුතු කළ සමන්තා මහත්මිය 1990 වර්ෂයේදී බොස්නියාවේ යුධමය වාතාවරණය පිළිබඳව වාර්තා කරන්නට ද සමත් විය.

*Biden names ex-US ambassador to the UN Samantha Power to lead international aid agency නම් ද ගාඩියන් වාර්තාව ඇසුරිණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි