×

වසරේ කාන්තාවන් 100 දෙනා අතරට සන්ධ්‍යා එක්නැලිගොඩත්: බීබීසීය

“මම සෑම අවස්ථාවකදීම අන් අය වෙනුවෙන් සටන් කරන, නිර්මාණාත්මක අරගලයක යෙදෙන, අපහාස සහ අවලාද මධ්‍යයේ වූව ද කැපවීමෙන් හා පරිත්‍යාගයෙන් අභියෝග ජය ගන්නා කාන්තාවක් වෙමි.”


2022 වර්ෂය සඳහා වූ වසරේ කාන්තාවන් 100 දෙනා අතරට අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළත් කර තිබේ.

සෑම වර්ෂයකම වර්ෂ අවසානයේ මෙම නම්කිරීම සිදුකරනු ලබන්නේ බීබීසී පුවත් සේවය විසින් වන අතර, මෙම ලැයිස්තුවට ලොව විවිධ ක්ෂේත්‍රවල අධිවාචන ක්‍රියාදාමයන්හි බලසම්පන්න කාර්යභාරයක් ඉටුකිරීමට සමත් වූ කාන්තාවන් ඇතුළත් කරනු ලබයි.

මෙම ලැයිස්තුව, බීබීසී පුවත් සේවයේ ලෝක භාෂා සේවයේ සහ බීබීසී මීඩියා ඇක්ෂන් විසින් ඉදිරිපත්කරන ලද යෝජනා මත පදනම්ව කෙටි ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව සකස් වී ඇත.

මෙම වසරේ කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුව බීබීසී පුවත් සේවය විසින් නිවේදනය කර තිබෙන්නේ ඉකුත් අඟහරුවාදා (06) දින ය.

2010 වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ජනවාරි 24 වන දින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළ අතර, මේ සම්බන්ධයෙන් සෘජු චෝදනාව එල්ල වූයේ එවකට පැවති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයටයි. එම සිදුවීමේ පටන් අද දක්වාම සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නඟන අතර, ඇගේ අඛණ්ඩ සටනට දේශීය මෙන්ම විදේශීය පාර්ශවයන් රැසකගේ ද සහාය හිමිව ඇත.

මෙම වර්ෂයේ බීබීසීයේ වසරේ කාන්තාවන් 100 දෙනා අතරට එක්කර ඇති එකම ශ්‍රී ලාංකික නියෝජනය සන්ධ්‍යා එක්නැළිගොඩ වන අතර, ඒ මහත්මියගේ විස්තරය බීබීසී පුවත් සේවය විසින් දක්වා ඇත්තේ පහත පරිදි ය.

“සන්ධ්‍යා එක්නැලිගොඩ – ශ්‍රී ලංකාව – මානව හිමිකම් ක්‍රියාකාරිනී.

මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ ව්‍යාපාරවල නියැලෙන්නියක ලෙස, සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ ආදරණීයයන් අහිමි වූ දහස් ගනන් මව්වරුන් සහ බිරින්දෑවරුන් වෙත උදව් කරන්නීය. ඇගේ ස්වාමිපුරුෂයා වන ප්‍රමුඛ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු සහ කාටූන ශිල්පියකු වන ප්‍රගිත් එක්නැලිගොඩ, 2010 ජනවාරි වල අතුරුදන් විය. රජය පිළිබඳ ප්‍රභල විවේචන එල්ල කළ පුද්ගලයකු වූ ඔහු දමිළ කොටි බෙදුම්වාදීන්ට එරෙහිව සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති අපයෝජන සම්බන්ධයෙන් විමර්ශනය කළ පුද්ගලයකු විය.

ඔහුගේ අතුරුදන් වීමේ සිට, දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඈ යුක්තිය සොයමින් සිටින්නීය. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ හිතවාදීන් තම ස්වාමිපුරුෂයාගේ පැහැර ගැනීමට වගකිය යුතු බවට ඇය චෝදනා කරන්නීය. මෙහි සැකකරුවන් හඳුනාගෙන තිබුණු අතර, ඒ සියලු දෙනා නිදොස් කොට නිදහස් කර ඇත.”

“මම සෑම අවස්ථාවකදීම අන් අය වෙනුවෙන් සටන් කරන, නිර්මාණාත්මක අරගලයක යෙදෙන, අපහාස සහ අවලාද මධ්‍යයේ වූව ද කැපවීමෙන් හා පරිත්‍යාගයෙන් අභියෝග ජය ගන්නා කාන්තාවක් වෙමි. – සන්ධ්‍යා එක්නැලිගොඩ”

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අමතරව, මෙම ලැයිස්තුවේ, ජනප්‍රිය හොලිවුඩ්/බොලිවුඩ් රංගන ශිල්පිනී ප්‍රියංකා චොප්රා, ජනප්‍රිය ගායිකා බිලී අයිලිෂ්, යුක්රේනයේ ජනාධිපති ආර්යාව වන ඔලෙනා සෙලෙන්ස්කි, ඝනාවේ කතුවරියක් වන නානා ඩර්කොහා සෙකියාමාහ්, ඉරාන කඳු තරණය කරන්නියක වන එල්නාස් රෙකාබි, නයිජීරියාවේ නීති මහාචාර්යවරියක වන ජෝයි නගෝසි එසෙයිලෝ, ඉතියෝපියාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායිකාවක් වන සම්රවිත් ෆික්රු, ආදී කාන්තාවෝ රැසක් වෙති.

සම්පූර්ණ ලැයිස්තුව මෙතනින්: https://www.bbc.co.uk/news/resources/idt-75af095e-21f7-41b0-9c5f-a96a5e0615c1



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි