×

සෞදිය ඇමසන් ප්‍රධානියාගේ ජංගම දුරකථනය හැක් කරයි!

සෞදි අරාබිය විසින් ලෝකයේ ලොකුම ධනවතා වන ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසොස්ගේ ජංගම දුරකථනය හැක් කර තිබේ.


මේ බව සනාථ කරන්නේ ඇමසන් සමාගමේ ආරක්ෂක ප්‍රධානියා ය.

ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස් සහ ඔහුගේ පෙම්වතිය සේ සැලකෙන ලෝරන් සෑන්චෙස් අතර හුවමාරු වූ අතිශය පුද්ගලික ටෙක්ස්ට් පණිවුඩ පසුගිය ජනවාරියේ හෙළිදරව් වීම සම්බන්ධයෙන් විමර්ශනය කරන විට මෙම කරුණ හෙළි වී තිබේ. ලෝරන් සෑන්චෙස් හිටපු ටෙලිවිෂන් නිවේදිකාවක් වන අතර, නැෂනල් එන්ක්වයරර් ටැබ්ලොයිඩ් පුවත්පත විසින් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් තිබෙන බව වාර්තා කර තිබිණි. ඉන්පසුව ජෙෆ් බෙසොෆ් ඔහුගේ බිරිඳ වන මැකෙන්සීගෙන් දික්කසාද වන බව නිවේදනය කළේය. පසුව පෙබරවාරි මාසයේදී ජෙෆ් බෙසොස් පෙර කී නැෂනල් එන්ක්වයරර් ටැබ්ලොයිඩ් පුවත්පතට චෝදනා කර සිටියේ සිය පුද්ගලික ඡායාරූප එකතුවක් ප්‍රසිද්ධ කරන බව කියමින් ඔවුන් විසින් තමන්ව බ්ලැක්මේල් කරන්නට සැරසෙන බවට ය. මේ අනුව ඇමසන් සමාගමේ ආරක්ෂක ප්‍රධානියා විසින් එකී ටැබ්ලොයිඩ් පුවත්පතේ මව් සමාගම වන ඇමරිකන් මීඩියා ඉන්කෝපරේෂන් පිළිබඳ ගවේෂණයක් සිදුකළ අතර, සෞදි අරාබිය සහ ජෙෆ් බෙසොෆ්ගේ දුරකථන හැක් කිරීම අතර සුලමුල හෙළි වී ඇත්තේ ඒ අනුව ය.

Page Six
ජෙෆ් බෙසොෆ් සහ පෙම්වතිය ලෝරන්| Page Six

ඒ අනුව අනාවරණය වී තිබෙන්නේ සෞදි රජයට බෙසොස්ගේ ජංගම දුරකථනය වෙත පිවිසිය හැකිව තිබූ බවයි. ඒ අනුව ඔවුන් විසින් ඔහුගේ පුද්ගලික තොරතුරු ලබාගෙන තිබෙන බවයි.








ජෙෆ් බෙසොස් සමග සෞදි අරාබියට තිබෙන ප්‍රශ්නය කුමක්ද?

මේ වන විට ඇමරිකාවේ ප්‍රකට පුවත්පතක් වන වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ හිමිකාරිත්වය දරන්නේ ජෙෆ් බෙසොස් විසිනි. පසුගිය වසරේ තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී අබිරහස් ලෙස ඝාතනය කෙරුණු ලෝ ප්‍රකට තීරු ලිපි රචක ජමාල් ඛෂෝගි සේවය කළේ මෙම වොෂින්ටන් පෝස්ට් පුවත්පතෙහි ය. ඛෂෝගිගේ මරණය සහ සෞදි අරාබිය අතර ඇති හේතු ඵල සම්බන්ධය ලෝකයට රහසක් නොවේ. මේ අනුව ජමාල් ඛෂෝගි ගේ ඝාතනයත් සමග ඔහුගේ සේවා යෝජකයා වන ජෙෆ් බෙසොස් වෙත සෞදියේ උකුසු ඇස යොමු වන්නට ඇති බව පෙනේ.

ඇමසන් සමාගමේ ආරක්ෂක ප්‍රධානී ඩි බෙකර් මෙසේ කියයි. ‘‘පසුගිය ඔක්තෝබරයේ පටන් , වොෂින්ටන් පෝස්ට් පුවත්පත ජමාල් ඛෂෝගිගේ ඝාතනය පිළිබඳ විශාල පුවත් ආවරණයක් ලබාදීමට පටන් ගත් අවස්ථාවේ පටන් සෞදි අරාබිය ජෙෆ් බෙසොස්ව ඉලක්ක කර ඇති ආකාරය ඇමරිකානුවන්ට සිතාගන්නටත් අපහසු තරම්..“

ජෙෆ් බෙසොස්ගේ ජංගම දුරකථනය හැක් කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියට මුලින්ම චෝදනා එල්ල වූයේ 2019 පෙබරවාරියේ ය. එවිට සෞදි විදේශ කටයුතු ඇමතිවරයා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය. නමුත් මේ වන විට බළලා මල්ලෙන් එළියට පැන තිබේ.

ඇමසන් සමාගම දැන් තීරණය කර තිබෙන්නේ මේ සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු ඇමරිකානු ෆෙඩරල් නිලධාරීන් හට භාර කරන්නට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි