×

දූෂණය, ජාතිවාදී ප්‍රචණ්ඩත්වය එදාටත්, අදටත්, මතුවටත් වලංගු නෑ, ‘බුකර් ප්‍රයිස්’ ජයග්‍රාහක ෂෙහාන් කරුණාතිලකගෙන් ලාවට කනේ පහරක්!

මෙම කෘතිය පොත්සැල් වල ෆැන්ටසි රාක්කයේ තබාවි.. එය මකරුන් සහ කඟවේනුන් අතර සිටීවි.. එහෙත් එය දේශපාලනික හෝ යතාර්ථවාදී පණිවිඩයක් සඳහා වටහා නොගනීවි..


2022 වර්ෂය සඳහා වූ බ්‍රිතාන්‍යයේ බුකර් ප්‍රයිස් (Booker Prize 2022) ත්‍යාගය ශ්‍රී ලංකා ලේඛක ෂෙහාන් කරුණාතිලක ලබා ගැනීමට සමත් වූ බව මීට ඉහත දී පුවතක් පළ වුනා. ඒ තමා විසින් රචිත “The Seven Moons of Maali Almeida” නම් කෘතිය වෙනුවෙන්.

මෙම ත්‍යාගය ෂෙහාන් වෙත ලබා දුන්නේ බ්‍රිතාන්‍යයේ රාජකීය අගමෙහෙසිය වන චාර්ල්ස් රජුගේ බිරිඳ කැමිලා විසින්.

1992 වසරේදී The English Patient චිත්‍රපටයෙන් ජයග්‍රහණය කළ මයිකල් ඔන්දාත්ජේ ට පසුව ෂෙහාන් බුකර් ප්‍රයිස් ත්‍යාගය හිමිකරගත් දෙවන කතුවරයා බවට පත්වීම ද විශේෂත්වයක්.

බුකර් ප්‍රයිස් ත්‍යාගයේ වටිනාකම පවුම් පනස් දහසක්. එය ශ්‍රී ලංකා රුපියලට හැරෙව්වොත් වත්මන් විදේශ විනිමය අනුපාත අනුව රු. මිලියන 20 කට අධික මුදලක්.

රාජකීය අගමෙහෙසිය අතින් තම ත්‍යාගය ලබා ගැනීමට වේදිකාවට නැඟි ෂෙහාන් ප්‍රේක්ෂකාගාරය සිනා සයුරේ ගිල්වමින් උත්ප්‍රාසය හැඟවෙන පරිද්දෙන් ජූරියෙන් අසා සිටියේ බ්‍රිතාන්‍යයේ ස්ටර්ලිං පවුම ශ්‍රී ලංකා රුපියලට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් තමාට ලැබෙන ත්‍යාගය ක්‍රිප්ටෝ මුදල් වලින් ලබා ගත නොහැකි ද යන්නයි.

ඇසූ සැනින් එහි හාස්‍ය ස්වරයට මුවගට සිනහවක් පැමිණිය ද, තම ත්‍යාගය ලබා ගැනීමේදී ෂෙහාන් සිදුකළ කතාව තුළ විශාල අර්ථයක් ගැබ්ව තිබූ බව මගේ අදහසයි.

මෙරට 30 වසරක සිවිල් යුද්ධයක් පැවතියා. ඉන් සිංහල, දමිළ ඇතුළු බොහෝ ජනකාණ්ඩ අනේකවිධ දුක් වින්දා. ෂෙහාන්ගේ “The Seven Moons of Maali Almeida” කෘතිය පාදක කර ගන්නේ මෙරට ඉතිහාසයේ කුරිරුම යුගයක් වූ 88-89 කාලවකවානුව. මෙම කාලසීමාව තුළ කොටි ත්‍රස්තවාදයට අමතරව රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ බවට නොරහසක්. ඒ ගැන විවිධ පාර්ශවයන්ට විවිධ අර්තකථන ඇති. නමුත් එම වකවානුව තුළ ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ තරුණයකු ලෙස ෂෙහාන් මෙම රාජ්‍ය ත්‍රස්තවාදයේ, හෝ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කළ පාර්ශවයන්ගේ සහ කොටි ත්‍රස්තවාදයේ ක්‍රියාකලාපය මත ජීවිතයට සමුදීමට සිදුවූ සමාජ ක්‍රියාධාරයන්, දේශපාලඥයන් සහ මාධ්‍යවේදීන් පිළිබඳව තම ස්තූති කතාවේදී සිහිපත් කරනවා.

ෂෙහාන් ප්‍රධාන චරිත තුනක් මෙම කතාව ඔස්සේ මතුකරනවා. ඒ මෙරට සිටි කීර්තිමත්ම සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ත්‍රිත්වයක් වන මෙකී රාජ්‍ය ත්‍රස්තවාදය හෝ කොටි ත්‍රස්තවාදය හමුවේ ජීවිතයෙන් සමුගත් රිචර්ඩ් ද සොයිසා, ආචාර්ය රජිණි තිරණගම, සහ දයා පතිරණ යි.

“The Seven Moons of Maali Almeida යනු සිවිල් යුද්ධය පැවති සමය අධිස්වභාවික මුහුණුවරකින් ඉදිරිපත් කළ කෘතියක්, එබැවින් එය කෙදිනක හෝ පොත්සැල් වල ෆැන්ටසි රාක්කයේ තබාවි… එය මකරුන් සහ කඟවේනුන් අතර සිටීවි.. එහෙත් එය දේශපාලනික හෝ යතාර්ථවාදී පණිවිඩයක් සඳහා වටහා නොගනීවි.. මාගේ පණිවිඩය වන්නේ දූෂණය හෝ ජාතිවාදය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය කිසිදිනක වැඩ නොකළ බවත් එය මතුවට ද වැඩ නොකරනු ඇති බවත් ය…”

ෂෙහාන්ගේ උත්ප්‍රාසජනක කතාව අවසානයේ හැඟීම්බරව ඉංග්‍රීසියෙන් මතුකළ වැදගත්ම පණිවිඩය එයයි. එතැනින් නොනැවතී තමා ඉදිරියේ සිටින්නේ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රේක්ෂකාගාරයක් වූව ද සෘජුවම ශ්‍රී ලාංකිකයන් අමතමින් ෂෙහාන් සිංහලෙන් පවසා සිටියේ මෙවැන්නකි.

“මේ පොත මං ඔයගොල්ලන්ට ලිව්වේ.. මේක දිනුමක්, රට පරාජය වෙලා ඉන්න කාලෙක මේක දිනුමක්. ළඟදී අපි නැමීබියාවට පැරදුනා.. කමක් නෑ.. අද ලංකාවේ මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඒ දුක් විඳින්න මට ආයුධ නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගමු. දැන් අපි ලෝක ටී-20 කුසලානය දිනාගමු. ඇයි බැරි?”

එතැනින් ද නොනැවතී ඊට අදාළ දමිළ පරිවර්තනයක් ද ෂෙහාන් ලබා දෙනවා.

“The Seven Moons of Maali Almeida” කෘතියේ ෆැන්ටසි තේමාව පිටුපස තිබෙන සමාජ දේශපාලනික යතාර්ථය අවබෝධ කර ගැනීමට එය කියවිය යුතුම වනවා. ප්‍රේක්ෂකාගාරය ද සිනා සයුරේ ගිල්වමින් මෙකී දූෂණයෙන් සහ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදාක ගොඩ යා නොහැකි බව හඟවමින් ෂෙහාන් ලාවට එල්ල කළ කනේ පහර කනේ පහරක් බව කී දෙනෙකුට ද දැනුනා ද යන්න මා දන්නේ නැහැ.

නමුත් මට නම් එය හොඳින්ම වැදුනා..

ඡායාරූපය: ඩේලි ඕ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි