‘‘ඔහුට එක වචනයක්වත් කියාගන්න පුළුවන්කමක් ලැබුණෙ නෑ..‘‘ යැයි ද ඇය පැවසුවාය.
ජූලි 7 වැනිදා හයිටි ජනපතිවරයා මරා දැමූ බවට දැනට සැක කෙරෙන්නේ විදෙස් ඒජන්තයන් 28 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් විසිනි.
මෙම ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාළ ලැබූ ජනපති බිරිඳ මේ වන විට ඇමරිකාවේ මියාමි හි රෝහලක ප්‍රතිකාර ලබයි. ඊයේ දිනයේ ට්විටර් හරහා ඇය විසින් වොයිස් මැසේජයක් ද නිකුත් කර තිබිණි.
‘‘ඇසි පිය හෙළන වේගයෙන් කුලී භටයන් මගේ නිවසට ඇතුළු වෙලා මගෙ සැමියාව වෙඩි උණ්ඩවලින් සිදුරු කළා..‘‘ යැයි එම හඬ පටයෙන් ඇය පවසන්නීය. ‘‘මේ ක්‍රියාවට කියන්න නමක් නෑ. මොකද ජනපතිවරයාව මේ ආකාරයෙන් ඝාතනය කරන්න නම් ඔවුන් සීමා රහිත අපරාධකරුවන් විය යුතුයි..ඒ වෙලාවෙ ඔහුට එක වචනයක්වත් කියාගන්න බැරි වුණා..‘‘
සිය සැමියා ඝාතකයන්ගේ ඉලක්කයක් බවට පත් වුණේ දේශපාලන හේතු නිසා බව ඇගේ අදහසයි. ජනාධිපතිවරයාට වැඩි බලතල ලැබෙන සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නියමිත තිබීම එයට එක් හේතුවක් බව ඇය සඳහන් කරයි. මෙය, ජනමත විචාරණයක් හරහා සිදුකිරීමට නියමිත ව තිබිණි.
මේ කුලී හේවායන්ව ඇය හඳුන්වා දෙන්නේ ‘‘ජනපතිවරයාගේ සිහිනය ඝාතනය කළ අය‘‘ යනුවෙනි.
BBC
ලතින් ඇමරිකාවේ දුප්පත්ම රට ලෙස සලකන්නේ හයිටි දේශයයි. මිලියන 11 ක් වන එහි ජනතාවගෙන් 59%ක්ම ජීවත් වන්නේ දුප්පත්කමේ රේඛාවට පහළිනි.
මොයිසේ 2017 වසරේ පටන් එහි ජනපතිවරයා විය. ඔහු මෑත කාලයේ බරපතළ දූෂණ චෝදනාවලට ගොදුරු ව සිටි අතර, ඔහුට ඉල්ලා අස්වන ලෙස පවසා අගනුවර ඇතුළු නගර ගණනාවක උද්ඝෝෂණ ද දැකගත හැකි විය.
මොයිසේ 2019 ඔක්තෝබර් මාසයේ පවත්වන්නට නියමිත ව තිබූ හයිටි මහමැතිවරණය ද ප්‍රමාද කළේ ජනපතිවරයා ට පරම බලයක් ලැබෙන පරිදි ය. අනතුරුව, පෙර කී ජනමත විචාරණය හරහා ආණ්ඩුක්‍රමය සංශෝධනය කිරීමට නියමිත ව තිබුණේ සැප්තැම්බර් මාසයේදී ය.
2021 පෙබරවාරි මාසය වන විට ජනපතිවරයා ඉල්ලා අස් විය යුතු බවට හඬ නගමින් සිටියේ විපක්ෂයයි. තමන්ට එරෙහිව ඝාතන තැතක් ක්‍රියාත්මක වන බවට මොයිසේ විසින් මීට පෙර ද පවසා තිබේ.
ඝාතනය සිදුකළ අය කවුදැයි තවමත් නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැත. ඝාතකයන් අතර ඇමරිකානුවන් සහ කොළොම්බියානු ජාතිකයන් 24 දෙනෙකු සිටින බව මීට පෙර පැවසී තිබිණි. නමුත් හයිටියේ සෙනෙට් සභිකයෙක් වන ස්ටීවන් බොනොයිට් පවසා තිබෙන්නේ ‘‘ඔවුන් කොළොම්බියානුවන් නෙවෙයි‘‘ යනුවෙනි. ඇමරිකාව, සිය පුරවැසියෙකු මෙම ප්‍රහාරයට හවුල් බව පිළිගෙන නැත.
වෙඩි ප්‍රහාරයකින් පසුව පෝට්ඕ ප්‍රින්ස් අගනගරයේදී ඝාතන කල්ලියෙන් 17 දෙනෙකු මේ වන විට පොලිසියට කොටු වී ඇති බව සඳහන් ය. සැකකරුවන් තිදෙනෙක් පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති අතර, තවත් 8 දෙනෙක් අතුරුදන් ය.
කෙසේ නමුත් අත්අඩංගුවට ගත් අය අතර, ඇමරිකානු හයිටි ද්විත්ව පුරවැසිභාවය සහිත දෙදෙනෙකු වෙති.හයිටි හි කැනේඩියානු තානාපති කාර්යාලයේ ශරීරාරක්ෂකයෙකු ලෙස සේවය කළ අයෙක් ද ඒ අතර වේ. ජෝසප් වින්සන්ට් නමැති තවත් ඇමරිකානු පුරවැසියෙකු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පවසා තිබෙන්නේ තමන් භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ බවයි.
‘‘උවමනා වුණේ ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගන්න මිසක් ඝාතනය කරන්න නෙවෙයි..‘‘ යනුවෙන් ද ඔහු කියා ඇත.
සිකුරාදා දිනයේ දේශපාලන පක්ෂ කිහිපයක් එකතු වී නව ජනපතිවරයෙකු නිල නොවන අන්දමින් පත් කරගෙන ඇත. ඔහු ජෝසප් ලැම්බර්ට් ය.
කෙසේ නමුත් හයිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනපතිවරයෙකු පත් කර ගත යුත්තේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසිනි. නමුත් 2019 ඔක්තෝබර් මාසයේ පවත්වන්නට නියමිත ව තිබූ මහමැතිවරණය නොපැවැත්වීම එයට බාධාවක් වී ඇත. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිතව ඇති නව සංශෝධන අනුව මෙවැනි අවස්ථාවක ජනපතිවරයා ලෙස කටයුතු කළ යුත්තේ අගමැතිවරයා ය. මහමැතිවරණයෙන් තේරී පත් වූ අගමැතිවරයෙකු නොමැති වීමේ ගැටළුව එවිට නැවත මතු වේ.
ඊයේ දිනයේ වාර්තා වූයේ හයිටි රාජ්‍යය මේ වන විට ඇමරිකාවෙන් සිය වරාය, ගුවන් තොටුපොළ ඇතුළු ආර්ථික මර්මස්ථාන රැක ගැනීම සඳහා ඇමරිකාවෙන් උදව් ඉල්ලා ඇති බවයි.
ඒකාධිපති පාලනයන්ට නතු වූ රටවල එම පාලනයන් අනපේක්ෂිතව බිඳී යා හැකි බවට හයිටි ඛේදවාචකය නූතන උදාහරණයකි.
පෙර ලිපි