×

ස්පයිස් ගර්ල්ස් නව චිත්‍රපටයකට අතගසන ලකුණු.. වික්ටෝරියාත් වැඩේට බසියි!

90 දශකයේ "ගැහැණු බලය" ලොවට ගෙන ආ ජින්ජර් ස්පයිස්, ස්කේරි ස්පයිස්, පොෂ් ස්පයිස්, බේබි ස්පයිස් හා ස්පෝර්ටි ස්පයිස් නැවත වරක් ප්‍රේක්ෂක හද බැඳ ගැනීමට නව චිත්‍රපටයක් එළි දැක්වීමට සූදානම් වන බවට වාර්තා වෙයි.


90 දශකයේ බටහිර ගීත රසිකයකුට ‘ගැහැණු බලය’ කිවතොත් ඒ අන්කවුරුත් නොව ස්පයිස් ගර්ල්ස් ය. බ්‍රිතාන්‍ය ජාතික කාන්තා පොප් ගීත කණ්ඩායමක් වන ස්පයිස් ගර්ල්ස් හි ජෙරි, මෙල්-බී, වික්ටෝරියා, මෙල්-සී හා එමා යනු කිසිදා අමතක නොවන ආකර්ෂණීය සුසංයෝගයකි.

90 දශකයේ බටහිර ගීත රසික රසිකාවියන් සමව ආදරය කළ එම සුරූපී කෙල්ලන් පස් දෙනා මෙවර අතගසා ඇත්තේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමටය!

1994 වර්ෂයේ එක්රැස් වන ස්පයිස් ගර්ල්ස් කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනෙකි. ජෙරී හලිවෙල් (ජින්ජර් ස්පයිස්), මෙලනි බ්‍රව්න් (ස්කේරි ස්පයිස්), වික්ටෝරියා බෙකම් (පොෂ් ස්පයිස්), එමා බන්ටන් (බේබි ස්පයිස්) හා මෙලනි ක්හිශෝල්ම් (ස්පෝර්ටි ස්පයිස්) එම සුරූපිණියන් පස් දෙනාය. ‘කෙල්ලන්ගේ ජවය’ (Girl Power) තේමා කරගත් ස්පයිස් ගර්ල්ස් ගෝලීය ජනාදරයට පාත්‍ර වන්නේ 1996 වර්ෂයේ ඔවුන්ගේ කුළුඳුල් Wannabe නම් ගීතය එළි දැක්වීමත් සමඟය.

ඔවුන්ගේ ගෝලීය ආදායම 1998 මැයි මස වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500 – 800 පමණ වූ බවට ඇස්තමේන්තු කර තිබේ. ඔවුන් බටහිර සංගීත ලොවේ සක්‍රියව සිටි කාලය තුළ, වසරකට ඩොලර් මිලියන 75 ක ප්‍රමාණයක් උපයා තිබේ. ඔවුන්ගේ සාර්ථකත්වය සංකේතවත් කරන මිනුම් අතර, ජෙරීගේ ගැහැණු බලය සංකේතවත් කරන යුනියන් ජැක් ඇඳුම විලාසිතා ලොවේ පෙරලියක් ඇතිකරන ලදී. එමෙන්ම 1997 වර්ෂයේ සාමාජිකයන් පස් දෙනා විසින් නිකුත් කළ Spice World නම් ගීතමය චිත්‍රපටය ගීත ලොවේ වානිජමය තුරුම්පුවක් විය. 1998 වර්ෂයේ අනපේක්ෂිත අන්දමින් ජෙරී කණ්ඩායමෙන් නික්ම යාමත් සමඟ, 2000 වර්ෂය දක්වා සිව් සාමාජික පොප් කණ්ඩායමක් ලෙස ස්පයිස් ගර්ල්ස් ගීත ලොවේ සක්‍රියව සිටියහ.

ස්පයිස් ගර්ල්ස් කණ්ඩායම විසින් ගායනා කළ Wannabe, Say You’ll be There, 2 Become 1, Mama, Spice Up Your Life, Too Much, Stop, Viva Forever, Goodbye, Holler ආදී ගීත ප්‍රේක්ෂක හද දිනා ගත් සදා නොමැකෙන නිර්මාණ වේ.

1996 – 2000 දක්වා කාලය තුළ ගීත ඇල්බම 3ක් ඔවුන් විසින් එළි දක්වන ලදී.

එහෙත් සාමාජිකයන් පස් දෙනාම නැවත 2007 – 2008 වර්ෂයන් හීදී සජීවී වේදිකාවේ එකතු වන්නේ වාර්තාමය ගීත චාරිකාවක් සඳහා ය. ගැහැණු බලය යළි කරලියට පැමිණීම සම්බන්ධව එම වර්ෂයන් හීදී ප්‍රේක්ෂකයන් සතුටු කඳුලු සැලීය.

2007 වර්ෂයේදී වික්ටෝරියා බෙකම් ඇගේ නමින් ම විලාසිතා දාමයක් ආරම්භ කරන ලදී. ඒ තුළින් ගැහැණු බලය විලාසිතාවට රැගෙන ඒම ඇගේ අරමුණ විය. 2007 – 2008 වර්ෂයේ අති සාර්ථක සජීවී ගීත චාරිකාවෙන් පසු පස් සාමාජික කණ්ඩායම මඳකට නිහඬ වන්නේ 2012 වර්ෂයේදී ඔලිම්පික් තරඟාවලියේදී අවසන් වරකට නැවතත් සජීවී ප්‍රසංගයකට වේදිකාවට ගොඩවීමේ බලාපොරොත්තුවෙනි. 2012 ඔලිම්පික් තරඟාවලියේ ප්‍රේක්ෂකයන් ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ගැහැණු බලය නැවතත් වේදිකාවට පැමිණීය.

2018 නොවැම්බර් මස 05 වන දින වික්ටෝරියා බෙකම් හැර ඉතිරි සාමාජිකයන් සිව් දෙනා දෙවන වරටත් ගීත චාරිකාවක නිරත වීමට බලාපොරොත්තු වන බවට නිවේදනය කරන ලදී. මෙම ගීත චාරිකාවට වික්ටෝරියා බෙකම් හට ඇගේ කාර්යබහුල ජීවිතය තුළ සහභාගී වීමට නොහැකි වනු ඇති බවටත්, එහෙත් සදා ස්පයිස් ගර්ල් කෙනෙකු වශයෙන් ඇගේ ආශිර්වාදය හිමිවනු ඇති බවටත් එම නිවේදනයේ සඳහන් විය.

ඒ අනුව, නව ස්පයිස් වර්ල්ඩ් 2019 චාරිකාව අයර්ලන්තයේ ඩුබ්ලින් හි ක්‍රෝක් පාක් හිදී මැයි 24 වන දින ආරම්භ වෙයි. යුරෝපය තුළ දින 13 ක ගීත චාරිකාවක නිරත වීමට නියමිත මෙල්-බී, ජෙරී, එමා හා මෙල්-සී පසුගිය ජූනි 15 වන දින ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ ප්‍රසංගයක් පැවැත්වූහ. ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ ප්‍රසංගය දින 3ක් පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත්, මෙවර ස්පයිස් ගර්ල්ස් රසිකයන් හට දැන ගැනීමට ලැබෙන්නේ තවත් හද ඩැහැ ගන්නා උණුසුම් පුවතක් ය. එනම්, 1997 වර්ෂයේ එළි දැක්වූ Spice World නම් ගීතමය චිත්‍රපටයෙන් පසු, තවත් ස්පයිස් ගර්ල්ස් චිත්‍රපටයක් එළි දැක්වීමට ස්පයිස් ගර්ල්ස් කණ්ඩායම අපේක්ෂාවෙන් සිටින බවයි.

මෙම චිත්‍රපටයට වික්ටෝරියා ද සම්බන්ධ වනු ඇත!

ඒ අනුව, සාමාජිකයන් පස්දෙනා විසින් ම අත ගසා ඇති මෙම නව චිත්‍රපටය ඇනිමේටඩ් චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් වනු ඇති බවට වාර්තා වෙයි.

1997 වර්ෂයේ තිරගත වූ Spice World නම් චිත්‍රපටය

පැරමවුන්ට් ඇනිමේටඩ් සමාගම විසින් 90 දශකයේ බිහිවූ ගැහැණු බලය යළි කරලියට ගෙන ඒමට සාමාජිකයන් පස් දෙනාම හා මේ දින වල කටයුතු කරමින් සිටියි. වාර්තා වන අන්දමට, මෙම ඇන්මේටඩ් චිත්‍රපටයේ සාමාජිකයන් පස් දෙනාම චරිත නිරූපණය කරනු ඇත.

90 දශකයේ ගැහැණු බලය ලොවට කැන්දන් ආ ජින්ජර් ස්පයිස්, ස්කේරි ස්පයිස්, පොෂ් ස්පයිස්, බේබි ස්පයිස් හා ස්පෝර්ටි ස්පයිස් නැවත වරක් ප්‍රේක්ෂක හද බැඳ ගැනීමට නියමිතය.

වාර්තා වන අන්දමට, මෙම චිත්‍රපටය නිශ්පාදනය කිරීමට ස්පයිස් ගර්ල්ස් කණ්ඩායමේ මුල් කලමනාකාර සයිමන් ෆුලර් ද සහභාගී වනු ඇත. එමෙන්ම 1997 වර්ෂයේ තිරගත වූ Spice World චිත්‍රපටයේ පිටපත් රචනය කළ කැරන් මකූලා ද නිශ්පාදන කටයුතු සඳහා සහභාගී වීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි