×

ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්!

ඇමරිකාවේ මේරිලන්ඩ් හි දේපළ වෙළඳාම් සමාගමක් සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ.


St. John Properties නමැති මේ දේපළ වෙළඳාම් සමාගමේ සේවක සංඛ්‍යාව 198 කි. මේ සියලු දෙනා වෙනුවෙන් සමාගම ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් නොමසුරුව වෙන් කර තිබිණි.

නත්තල් නිවාඩු සාදයේදී සමාගම මේ බෝනස් චෙක් පත් සේවකයන් අතට පත් කළේ ඔවුන් සන්තෝසයෙන් උමතු කරමිනි.

‘‘ලියුම් කවරය විවෘත කළාම මට ඇස් අදහගන්න බැරි වුණා..“ යැයි එම ආයතනයේ නිලධාරිනියක් කීවාය. ‘‘t was just amazing and incredible. I’m still in shock. It’s definitely life changing.”

සෙන් ජෝන් ප්‍රොපටීස් සමාගමේ සභාපති ලෝරන්ස් මේක්වාන්ස්ට් හට මේ පරිත්‍යාගශීලීත්වය විසින් එක රැයින් ලෝක ප්‍රසිද්ධියද ලැබිණි. ඔහු සීඑන්එන් පුවත් සේවයට හෙළිදරව් කළේ සිය සේවකයන්ට මේ අන්දමින් කෘතගුණ සැලකීමට හේතුව, වසර 14කට පසු ඔවුන් තමන්ගේ ඉලක්කයක් සපුරා ගැනීම බවයි.

එනම් ඇමරිකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ මෙයට වසර 14කට පෙර ඔවුන්ගේ පැවති වර්ග අඩි මිලියන 10ක දේපළ ප්‍රමාණය, වර්ග අඩි මිලියන 20 ක් දක්වා වූ ඉලක්කයට මේ වසරේදී ළඟා වූ බවයි. ඔවුන්ට මේ වන විට ශාඛා 8 ක් තිබේ.

සේවකයන්ට ලබා දෙන බෝනස් මුදල ගණනය කර තිබුණේ ඔවුන් සමාගමේ සේවය කළ වර්ෂ ගණනට සමානුපාතිකව ය. කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය.

මේ සේවකයන්ගෙන් සමහරෙක් පැවසුවේ, තමන් කිසිදු දිනෙක මෙවැනි කෘතගුණ දන්නා සමාගමක් හැර දමා යාමට සිහිනෙන්වත් නොසිතන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි