×

ඩිස්නි සමාගමෙන් අති දැවැන්ත ‘ස්ටා වෝස්‘ හෝටලයක් – ‘Star Wars’ hotel

ඔබත් ලෝ ප්‍රකට ස්ටා වෝස් කථා මාලාවේ රසිකයෙක් නම්, ඔබ වැනි අයගේ සිහින නිවාඩුව ගත කිරීම සඳහා ලෝකයේ අනර්ඝතම හෝටලය මේ වසර අග සිට ඇණවුම් භාර ගනියි.


මේ වන විට සම්පූර්ණයෙන්ම වැඩ නිම කර ඇති මෙහි නම Star Wars: Galactic Starcruiser ය.

එහිදී ස්ටා වෝස් විශ්වයේ තිබෙන හැමදෙයක්ම ඔබට අත පොවන මානයෙන් ඔබට හමු වනු ඇත.

එම අත්දැකීම ඩිස්නි බ්ලොග් පෝස්ට් එකක විස්තර වන්නේ මෙසේ ය.

‘‘ඔබ ස්ටා වෝස් යාත්‍රාවක ජීවත් වන්නට යන්නේය. තවද ඔබට සුවිසල් ස්ටා වෝස් කතාංගයක එතී එහි සැරිසරන්නට පුළුවන..‘‘

එහි තේරුම ඔබේ නිවාඩුව, තාරුකා යානයක සංචාරයක් වන බවයි. තවද ස්ටා වෝස් හි අමතක නොවන චරිතය බේබි යෝදා -Baby Yoda ද හමුවන්නට ඔබට හැකියාව ලැබෙන බවයි.

ෆ්ලොරිඩා හි පිහිටා තිබෙන වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් රිසෝට් වාර්තාවකට අනුව, මේ වසර අග පටන් මේ හෝටලය වෙන් කළ හැකි අතර, වසර 2021 පටන් එහි නවාතැන් ගත හැකි ය.

ස්ටා වෝස් කතා මාලාවේ අරුමය

ස්ටා වෝස් නිර්මාතෘ ජෝර්ජ් ලුකස්

ස්ටා වෝස් නිර්මාතෘ ජෝර්ජ් ලුකස්

ලෝ ප්‍රකට ස්ටා වෝස් කතා මාලාව ආරම්භ වූයේ 1977 වසරේ ජෝර්ජ් ලූකස් විසින් පළමු චිත්‍රපටය නිපදවීමත් සමගය. ලොව පුරා ස්ටා වෝස් උමතුව්ක බිහිකිරීමට සමත් වූ මෙය, පොප් සංස්කෘතියේ නවතම සංසිද්ධිය බවට පත් විය. ප්‍රබන්ධමය විශ්වයක සිදුවන තාරුකා යුද්ධ අතරට ඔබ කැඳවාගෙන යන ස්ටා වෝස්, ලෝකයේ බිහිවූ සාර්ථකම වාණිජ චිත්‍රපට මාලාව ලෙස ගිනස් ලෝක වාර්තාවක් ද උසුළයි. වසර 2020 වන විට ස්ටා වෝස් චිත්‍රපට විසින් ලොව පුරා උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 70 කි.

Episode IV: A New Hope,Episode V: The Empire Strikes Back (1980) Episode VI: Return of the Jedi (1983), යන චිත්‍රපටවලින් ස්ටා වෝස් ත්‍රිත්වය ආරම්භ වූ අතර, ඉන්පසු Episode I: The Phantom Menace (1999), Episode II: Attack of the Clones (2002), Episode III: Revenge of the Sith (2005) චිත්‍රපට එළිදුටුවේය. 2012 වසරේදී ස්ටා වෝස් නිර්මාතෘ ජෝර්ජ් ලූකස් විසින් සිය නිෂ්පාදන සමාගම ඩිස්නි සමාගම වෙත විකුණා දැමුවේ අති දැවැන්ත මුදලකට ය.

අනතුරුව ඩිස්නි සමාගම විසින් තවත් චිත්‍රපට ත්‍රිත්වයක් නිපදවිය. ඒ,  Episode VII: The Force Awakens (2015), Episode VIII: The Last Jedi (2017), සහ Episode IX: The Rise of Skywalker (2019) යනුවෙනි. මෙම ‘ත්‍රිත්වයන් ත්‍රිත්වය‘ ‘ස්කයිවෝකර් සාගා‘ යනුවෙන් හැඳින්වේ. මේවා අතරින් අති සාර්ථක ලෙස තිරගත වූ ‘ද රයිස් ඔෆ් ස්කයිවෝකර්‘ (2019) චිත්‍රපටය, පසුගිය වසරේ නත්තලේදී ඇමරිකාව තුළ පමණක් ලද ආදායම ඩොලර් මිලියන 32 කි.

දැන්, ස්ටා වෝස් යනු චිත්‍රපට මාලාවක් නොව නිධානයකි.

ස්ටා වෝස් චිත්‍රපට විසින් ලබාගත් අති සාර්ථකත්වය සමග එය ක්‍රමිකව ස්ටා වෝස් රාජධානියක් බවට පත්ව තිබේ. පසුගිය වසරේ ‘ස්ටා වෝස් – ගැලැක්සි එජ්‘ හෙවත් ස්ටා වෝස්-මන්දාකිණියේ අද්දර‘ යනුවෙන් අධි සුඛෝපභෝගී තේමා භූමියක් ඩිස්නි සහ ඩිස්නි වර්ල්ඩ් හිදී විවෘත කරන ලද අතර, එය ද අති සාර්ථකත්වයට පත් විය.

මේ අනුව මෙම Star Wars: Galactic Starcruiser අති සුපිරි ස්ටා වෝස් හෝටලය සිය ව්‍යාපාර ආරම්භ කරන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

එක් දෙයක් ඉතා පැහැදිලි ය. ස්ටා වෝස් නිර්මාතෘ ජෝර්ජ් ලූකස් හට කිසිදා සිතාගත නොහැකි තරම් වූ ධනස්කන්ධයක් ස්ටා වෝස් නාමය හා තේමාව සමගින් ඩිස්නි සමාගම ඉතා කෙටි කලකින් උපයනු නිසැක ය. ඩිස්නි සමාගම තවදුරටත් මිකී මවුස්ගේ හෝ ඩොනල්ඩ් ඩක්ගේ රාජධානිය නොව Baby Yoda ගේ රාජධානියයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි