×

මහා විද්‍යාඥ ස්ටීවන් හෝකින් මිය ගියේ හෙදියගේ නොසැලකිල්ල නිසාද? හෙදියට හෙද කම අහිමි වෙයි!

විශ්වයේ රහස් හෙළි කළ- විශ්වයක් වටිනා මහා මිනිසා, නොඑසේ නම් විසිඑක්වන සියවසේ ලොව බිහිවූ මහා ප්‍රාඥයා ලෙස සැලකෙන ස්ටීවන් හෝකින් හට වෘත්තීය සැලකිල්ල ලබානොදුන් බව ඇතුළු චෝදනා ගණනාවක් මත ඔහුගේ හෙදියගේ වැඩ තහනම් කර තිබේ.


ස්ටීවන් හෝකින් යන එන හැම තැනම ඔහුගේ හෙදිය ද දැකගත හැකි විය. ඇගේ නම පැට්‍රීෂියා ඩව්ඩි ය.

අද දිනයේ ඇයට විරුද්ධව ස්ටීවන් හෝකින් මහා විද්‍යාඥයාගේ පවුලේ අය විසින් ගොනු කර තිබූ පැමිණිල්ල, සංවෘත අධිකරණයක් විසින් අසා නිම කළ අතර, එහිදී වහාම ක්‍රියාත්මක වන පරිදි ඇගේ හෙද බලපත්‍රය අහෝසි කිරීමට Nursing and Midwifery Council තීරණය කළේය.

අට අවුරුද්දක් තිස්සේ මහා විද්‍යාඥයා අසලින්ම සිටියේ ඇයයි. වයස අවුරුදු 21 දී චාලක නියුරෝන රෝගය හේතුවෙන් රෝද පුටුවට සීමා වී තිබූ ඔහුගේ ජීවිතයට අවශ්‍ය සැලකිල්ල, සාත්තුව ඇය අතින් නොමදව ලැබෙන බවට පූර්ව සහ පූර්ණ විශ්වාසයක් පවුලේ අයට තිබිණි. නමුත් අද දිනයේ නිමා වූ පරීක්ෂණයට අනුව ඇය මහාචාර්ය ස්ටීවන් හෝකින්ට හිමි විය යුතු, ඔහු වෙත ලබාදිය යුතුව තිබූ වෘත්තීය සැලකිල්ල ලබා දී නැති අතර, මූල්‍ය වංචා පිළිබඳව ද ඇයට චෝදනා එල්ල වී තිබේ.

ඇය තමන්ගේ වෘත්තියේ යෙදීමට නුසුදුසු අයෙකු බවට අවසාන වශයෙන් තීන්දු වී තිබෙන්නේ එසේ ය.

1999 වසරේ පටන් 2004 දක්වා ස්ටීවන් හෝකින්ගේ හෙදිය ලෙස සේවය කළේ ඇයයි. පසුව 2013 ජූලි මාසයේ පටන් 2016 මාර්තු 3 වැනිදා දක්වා ද ඔහු අසලින්ම සිටියේ ඇයයි. අනතුරුව 2016 වසරේදී ඇගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන්නේ, ස්ටීවන් හෝකින්ගේ පවුලේ අය ඇගේ සාත්තුව පිළිබඳ සැක පළ කරන්නට පටන් ගැනීමත් සමග ය.

2018 මාර්තු මාසයේදී ස්ටීවන් හෝකින් මහා විද්‍යාඥයා මිය යන විට 76 හැවිරිදි ව පසුවූ බව සැබෑවකි. නමුත් මේ හෙදිය ඇගේ වෘත්තිය නිසි පරිදි ඉටු කළේ නම් ඊට වඩා එක් දිනක් හෝ මහා විද්‍යාඥයා ජීවත් වීමට සූදානමින් නොසිටියේ යැයි කාට නම් කිව හැකිද?

ස්ටීවන් හෝකින් විශ්වයේ අඳුරු රහස් මිනිස් ලෝකයට හෙළි කළේය. ‘A Brief History of Time’ යනාදී පොත් සම්භාරයක් ද ලොවට දායාද කළේය. මුවින් පිට කළ නොහැකි වූ සිතිවිලි, ඔහු පරිගණක තිරයක් මතට ගෙන එමින් ලෝකය සමග කතා බස් කළේය. නමුත් එකදු මොහොතකට හෝ, තමන් සමීපයේ සිටින මේ හෙදිය, මේ ගැහැණිය තමන්ට දක්වන අවසැලකිලි ගැන ඔහු පැමිණිලි නොකළේය.

බාගවිට ඔහු ඒ ගැන දැන නොසිටින්නට ඇත. එසේත් නැතිනම් ඒ ගැන තැකීමක් නොකරන්නට ඇත. සැබවින්ම ඔහු භෞතික ජීවිතය බොහෝ කලකට පෙර අතහැර දැමූ මිනිසෙකි. තාරුකා අතරට යන්නට බොහෝ කලෙක පටන් සිහින මැවූ මිනිසෙකි. නමුත් තාරුකා මිනිසාට කළ අසාධාරණය ගැන නිහඬ වන්නට සොබාදහම සහ යුක්තිය අවසානයේ ඉඩ දී නැති සෙයකි.

අද දිනයේ මේ පුවත සැළ වන්නේ, මහා විද්‍යාඥයා කළු කුහරවල විද්‍යාත්මක රහස් හෙළිකරමින් සිදුකළ මෙහෙය  සමරමින් මහා බ්‍රිතාන්‍යය විසින් පැන්ස 50 ක කාසියක් නිකුත් කළ දිනයේදීම වීම ද විශේෂත්වයකි. ස්ටීවන් හෝකින් ට පෙරාතුව මෙවැනි කාසි නිකුත් කිරීම් මගින් ගෞරව ලබාතිබෙන්නේ විද්‍යා ලෝකයේ අතළොස්සක් පමණි. ගුරුත්වාකර්ෂණය සොයාගත් ශ්‍රීමත් අයිසැක් නිව්ටන් සහ පරිණාමවාදයේ පියා වන චාල්ස් ඩාවින් ඒ අතර වේ.   

පෙර ලිපි-

හිස ඔසවා තාරුකා දෙස බලන්න, දෙවියන් කියා කෙනෙක් නැත!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි