×

පැටවුන් ගැබ තුළ දරාගෙනම හාපූනයට බිලිවන වරල් තල්මස් අම්මලා

ඔවුහු ඇගේ ගර්භය තුළ තිබූ කළලයට හාපූනයක් යවා එය පිටතට ඇද දැමූහ. ඒ නූපන් දරුවා දැන් අයිති වන්නේ කසළ ගොඩට ය.


අයිස්ලන්තයේදී මෙය ඩොලර් මිලියන ගණනක සිත් පිත් නැති ව්‍යාපාරයකි. වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින වරල් තල්මසුන් (fin whales) මේ අන්දමින් සාහසික ලෙස මරා දැමෙන අතර, ශෝචනීයම තත්වය වන්නේ උන්ගෙන් බහුතරය ගර්භනී තල්මස් මවුන් වීමයි.

මේ සිත්පිත් නැති දඩයම නතර කළ හැක්කේ කාටද?

Katrín_Jakobsdóttir_

Katrín_Jakobsdóttir_ – අයිස්ලන්ත අගමැතිනිය

ඇයට පමණි. ඇය, අයිස්ලන්තයේ අගමැතිනියයි. ඇගේ නම, Katrín Jakobsdóttir කැත්රින් ජැකොබ්ස්දොතිර් ය. මේ වන විට කැත්රින් අගමැතිනිය, මෙම සාහසික තල්මස් දඩයම නතර කරලීම සඳහා කළ හැකි දේවල් ගැන විමසා බලමින් සිටින්නීය.

සාගරයේ විශාලතම ක්ෂීරපායියා වන නිල් තල්මසාට පමණක් විශාලත්වයෙන් දෙවැනි වන වරල් තල්මසා, මීටර 27.3 ක් තරම් දිගට වර්ධනය වේ. උන්ගේ දේහ බර සාමාන්‍යයෙන් ටොන් 74 ක් පමණ වේ. ඇතැම්විට ටොන් 114 තරම් දැවැන්ත වරල් තල්මසුන් ගැන ද වාර්තා වේ. සාගර තලය මත රේස් යන යොට් යාත්‍රා සිහිගන්වන තරම් රේසර් තල බඳු පෘෂ්ටීය දේහයකින් උන් සුසැදී තිබේ. වරක් ඇමරිකානු ස්වභාව විද්‍යාඥ රෝයි චැප්මන් ප්‍රකාශ කළේ සාගරයේ වේගයෙන්ම යන දුම් නැවක් වුවත් පරදවා යාත්‍රා කිරීමට තරම් වේගයක් මේ සුන්දර දැවැන්තයා සතු වන බවයි.

ලොව පුරා සාගරවල වෙසෙන සෙසු තල්මසුන්ට මෙන්ම වරල් තල්මසාට ද 20 වන සියවස තුළ මරණයේ කණ කොකා හැඬුවේය. එහි ප්‍රතිඵලයක් ලෙසට එය අද වන විට වඳ වී යාමේ තර්ජනයට උග්‍ර ලෙස ලක් වී සිටින ක්ෂීරපායි සත්ව විශේෂයක් ලෙස රක්ත දත්ත පොතට එක් ව තිබේ.

ඔවුන් වඳවී යාමේ වේගය ගැන දළ අදහසක් ලබාගන්නට පහත සංඛ්‍යාලේඛන හොඳින් කියවා බලන්න.

දක්ෂිණාර්ධගෝලයේ 1905 – 1976 අතර කාලයේ වාර්තා වූ වරල් තල්මසුන් ගණන 725,000 කට අධික ය.
1997 වසර වන විට එයින් ඉතිරි වී සිටියේ වරල් තල්මසුන් 38,000 ක් පමණි.
වසර 2100 වන විට, මේ දඩයම් කරන වේගයට දඩයම් කරගෙන ගියහොත්, ඉතිරි වනු ඇත්තේ අත්ලේ ඇඟිලි තරමට වන වරල් තල්මසුන් ගණනකි. එයට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබෙන්නේ ගැබ්ගත් තල්මස් දෙනුන් ද කිසිදු වග විභාගයකින් තොරව දඩයම් කරමින් පැවතීමයි.

තල්මසුන් සුරැකීම සහ පරිසරයට ඔරොත්තු දෙන ආකාරයෙන් තල්මස් දඩයම පවත්වාගෙන යාම සඳහා ‘අන්තර්ජාතික තල්මස් කොමිසම‘ (International Whaling Commission (IWC)) ඇප කැප වී සිටියි. ගෝලීය අන්තර්රාජ්‍ය සංවිධානයක් වන එහි සාමාජික රටවල් 88 ක් ඇති අතර, වරල් තල්මසුන් බහුලව දඩයම් කරන අයිස්ලන්තය ද එහි එක් පාර්ශවකරුවෙකි.

International_Whaling_Commission_(emblem)

International_Whaling_Commission_(emblem)

මෙම සංවිධානයේ නීති රීති මාලාවට අනුව කිරි උරා බොන පැටවුන්, පැටවුන් සමග පිහිනන තල්මසුන් සහ තල්මස් පැටවුන් විනාශ වන පරිදි දඩයම් කිරීම සපුරා තහනම් ය. එසේම වරල් තල්මසුන් සීඝ්‍රයෙන් වඳ වී යමින් සිටින නිසා උන් සම්බන්ධයෙන් මෙම සංවිධානය නියම කර තිබෙන්නේ ලොව පුරා වරල් තල්මසුන් දඩයම් කිරීම තාවකාලික ලෙස නතර කර දමන්නට ය. නමුත් වාණිජ තල්මස් දඩයමේ ඉදිරියෙන්ම සිටින රාජ්‍යයන් දෙක වන ජපානය සහ අයිස්ලන්තය, මෙයට අවනත වූයේ නැත. ඔවුහු තවදුරටත් මෙම දඩයම කරගෙන යති.

මේ මහේශාක්‍ය දැවැන්තයන් සුරැකීමට එක් වන්න! මේ වන විට අන්තර්ජාලය ඔස්සේ මෙම තල්මස් දඩයමට එරෙහි පාරිසරික ක්‍රියාකාරීන් විසින් අන්තර්ජාල පෙත්සමක් ද ගොනු කරමින් තිබෙන අතර, ඔබට ද පහත සබැඳියෙන් එහි කොටස්කරුවෙකු බවට පත්වීමට පුළුවන. තල්මස් දඩයමට එරෙහි ක්‍රියාකාරීන් පවසන්නේ ලොව පුරා සත්ව හිතකාමීන්ගේ බලපෑම ලැබෙන්නේ නම් අයිස්ලන්ත අගමැතිනියට, මෙම තල්මස් දඩයමට පක්ෂපාතී ලෙස සිය රට තුළින් එන පීඩනයට සාර්ථකව මුහුණ දිය හැකි වනු ඇති බවයි.

AVAAZ | STOP THE BLOOD-THIRSTY MILLIONAIRE



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි