×

ඔව්.. භූමියට තවමත් පණ තියෙනවා.. අභිෂේකාගේ පැය දෙකෙන් ට්‍රෙන්ඩිං ගිය ගීතයෙන් දිග හැරෙන සමාජ යථාර්තය

"ආදරේ හිතෙනවද අහනවා, ඔව් මටත් ආදරේ හිතෙනවා, හාදු මට දැනෙනවද අහනවා, ඔව් මමත් උණුහුමක් හොයනවා, කිරි වරම් නෑ නේද අහනවා, කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා"


මීට තෙදිනකට ඉහත විශාරද අභිෂේකා විමලවීර ගේ ගීතයක් ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තා. ඒ හේතු කිහිපයක් උඩ. එකක් එම ගීතයේ සංගීත වීඩියෝ පටය යූටියුබ් සමාජ මාධ්‍යයට මුදා හැර පැය දෙකක් යන්නත් මත්තෙන් ට්‍රෙන්ඩිං යාම. අනෙක මෙම සංගීත වීඩියෝ පටය තුළින් කවුරුත් දන්නා හඳුනන සමාජයේ වසා දැමූ සංවාදයක් වෙනුවෙන් නිතර දෙවේලේ පෙනී සිටින මුහුණක් අපට හමුවීම.

මෙම ගීතය නමින් “තවම පණ තියෙනවා..” මෙම ගීතය යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයට අප්ලෝඩ් කර පැය දෙකක් යන විට යූටියුබ් ට්‍රෙන්ඩිං ලැයිස්තුවේ අංක 03 ට එන්න සමත් වෙනවා. විශාරද අභිෂේකා විමලවීර විසින් ගායනා කරන මෙම ගීතය අද දින (2022.11.16) වන විට යූටියුබ් ට්‍රෙන්ඩිං ලැයිස්තුවේ අංක 01 ට පැමිණ තිබෙනවා.

මෙම ගීතය විශේෂ වන්නේ ඇයි? ගීතයේ පසුබිම් කතාව මෙහෙමයි.

කතාව පටන් ගන්නේ විශ්ව විද්‍යාලයෙන්.. විශ්ව විද්‍යාලයේ නවක වදයට මුහුණ දෙන ඒ ශිෂ්‍යාවට, නවක වදයට ලක්කරන පිරිස විසින් ඉදිරියෙන් ඇවිදගෙන එන ශිෂ්‍යයාට රෝස මලක් දෙන මෙන් බල කරනවා. නවක වදය හමුවේ අසරණ වන ඈ එම රෝස මල තමා ඉදිරියට එන සිසුවාට ලබා දෙනවා. මෙම සිසුවා එම රෝස මල අතට ගන්නවා. නවක වදයේ අරමුණ පසෙක ලා මෙම අනපේක්ෂිත හමුවීම දෙදෙනා අතර ආදරයක් නිර්මාණය කරන්නේ ඒ මොහොතේමයි.

ඔහුත් ඇයත් ආදරයෙන් වෙලෙනවා; එකිනෙකාගෙන් වෙන්කළ නොහැකි තරමට ආදරෙයන් වෙලෙනවා; නිතර හමුවනවා. එහෙත් ඔහු නොදන්නා වෙනත් සිදුවීමක් ඈ ජීවිතයේ සිරකරගෙන සිටිනවා. මෙම කතාවේ දෙවන පිරිමියකු (ඔහුගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට වෙන්න ඇති) ඈ සිටින නේවාසිකාගාරයට යනවා එනවා. ඇගේ අසරණභාවය මත මෙය ඈ විඳදරා සිටිනවා. ඇගේ විශ්ව විද්‍යාල පෙම්වතා මේ ගැන දන්නේ නැතුව ඇති.. වීඩියෝව නැරඹීමෙන් මා එය කියවාගත් ආකාරය වැරදි නම්, මෙම දෙවන පුරුෂයා ඇගේ අනුමැතියකින් තොරවම ඈ සිටින නේවාසිකාගාරයට පැමිණ ඈ අපයෝජනය කරනවා වෙන්නත් පුළුවන්.

එක් දිනයක මෙම සිසුවා තම පෙම්වතියට සුබ පුවතක් කීමට ඈ සිටින නේවාසිකාගාරයට එනවා. ඒ එන්නේ අතේ ලියුමක් ද අතැතිව. එහෙත් ඔහු ඇගේ නේවාසිකාගාරයට යනවිට පිරිමියකු ඈට වධහිංසා පමුණුවන අයුරු ඔහු දකිනවා. නරුමයාගෙන් තම පෙම්වතිය බේරා ගැනීමේ අරමුණින් ඔහු අනෙකාට පහර දෙනවා. මෙම පහර දීමේ දී ඔහු මිය යනවා. එම දබරයේ දී බිම පසෙකට විසිවී ගිය පොඩිවී ගිය ලියුම් කඩදැහිය අහම්බෙන් දකින ඈ එය අහුලා ගන්නවා. තම පෙම්වතාට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල පිවිසුමට වරම් ලැබිලා…

නීතිය ඉදිරියේ මෙය මිනීමැරුමක්.. ඈ අත්අඩංගුවට පත්වනවා. අධිකරණ ක්‍රියාවලියක් සිදුවනවා. දහසක් නීති තර්ක දෙපාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වනවා ඇති. ඈ වරද පිළිගන්නවා. මෙම මිනීමැරුම කළේ තමා බව අධිකරණය ඉදිරියේ ඈ පාපොච්ඡාරණයක් සිදුකරනවා. මිනීමැරුමට ඈ වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කරනවා.  

සමාජ ඛේදවාචකයකට මුහුණ දුන් ආදර කතාවක් ගැන කියවෙන මෙම ගීතය ඔස්සේ දිග හැරෙන සමාජ යාථාර්තය කොටස් හතරකින් කතා කිරීමට මට හිතුනා.

01 – නවක වදය ඔස්සේ දිග හැරෙන සමාජ-දේශපාලනික ඛේදවාචකය

කතාව ආරම්භ වන්නේ ම විශ්ව විද්‍යාලයේ නවක වදයට ලක්වන ශිෂ්‍යාවක වන කතානායිකාවගෙන්. දශක ගණනාවක් පුරාවට සංවාදයට තුඩු දුන් වර්තමානයේ ද සංවාදයට තුඩු දෙන, මුලිනුපුටා දැමීමට නානාවිධ රජයන් විසින් නානාවිධ පොරොන්දු ලබා දුන්, එහෙත් තවමත් සිදුවන නවක වදය බරපතල සමාජ දේශපාලනික ඛේදවාචකයක් බවට පත්ව තිබෙනවා. විශ්ව විද්‍යාලය තුළ එකිනෙකා අතර පරතරය අවම කිරීමට සිදුවන්නේ යැයි කියාගත් ‘නවක වදය’ දේශපාලන අනුග්‍රහය ඇතුව සිදුවන දෙයක් බවට රහසක් නෙමෙයි. කාන්තා නේවාසිකාගාරය තුළට පැමිණ කාන්තාවක් අපයෝජනය කරන මට්ටමට මෙම නවක වදය තුච්ඡ වී තිබෙනවා. මෙයට අතීතයෙත් වර්තමානයෙත් විවිධ දේශපාලන කණ්ඩායම්වල අනුග්‍රහය ලැබෙන්නට ඇති. බල කාමය, හීනමානය, අසහනය සහ විකෘති ආශාවන් මුදුන්පත් කරගත් නවක වදයේ වගකීම, විවිධ දේශපාලන ධාරාවලට ලඝුවන අතරවාරයේ, එය මුලිනුපුටා දැමීම රටේ පාලන බලය හිමි පාර්ශවයන්ගේ තිරසාර පැවැත්මට තර්ජනයක් වන බව පාලකයන් ද දන්නා නිසා ඊට එරෙහි දැඩි නීති නොපැමිණවීම අනෙක් ප්‍රසිද්ධ රහසයි. නවක වදය සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබෙන බවටත්, ඊට එරෙහිව පොලීසිය ක්‍රියාත්මකවන බවටත් පුවත් පළවූව ද, අදටත් නවක වදය මුලිනුපුටා දැමීමට අප සමත්ව නැහැ.

02 – සංක්‍රාන්ති සමාජභාවී වූව ද ආදරයේ දොරටු විවර බව

කතාවේ කතානායිකාවට පණ පොවන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවන් වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ භූමි හරේන්ද්‍රන් නම් මානව හිමිකම් ක්‍රියාකාරිනිය විසින්. බෝඩ් ලෑල්ලක් ගසා නොගත්ත ද, කතානායිකාව සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවයක් ඇති කාන්තාවක් බවට කතාව පුරාවට දිගහැරෙන සිදුවීමේ දී වස්තු විෂයය බවට පත්ව ඇතැයි මා විශ්වාස කරනවා. භූමි සාමාජ මාධ්‍ය ජාලාවල පමණක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ද සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ජීවිතයේ මුහුණ පාන අභියෝග පිළිබඳව අපමණ කතා කර ඇති. අප ජීවත්වන සමාජය පුරුෂ මූලිකවන පසුබිමක කාන්තාවකට එල්ලවන අභියෝගයන් කොපමණ වේ ද, සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකට එය එල්ලවන්නේ දෙගුණ තෙුගුණ වෙමින්. ‘පිරිමි’ යැයි කියාගත් පිරිසගේ ලිංගික භාණ්ඩයක් බවට කාන්තාවක් පත්වන්නේ නම්, සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් එහි දී ලක්වන්නේ කුමන අන්දමේ පීඩනයකට ද යන අතිශයින් වේදනාත්මක එහෙත් සත්‍ය සමාජ පැතිකඩ පිළිබඳව භූමි අපමණ කතා කර තිබෙනවා. එහෙත්, සංක්‍රාන්ති සමාජභාවී වූව ද ආදරයකට, යහපත් සබඳතාවයකට ඔවුනට තවමත් දොරටු විවෘත කරන, පුද්ගලයකුගේ සමාජභාවය ආදරයට නිර්ණායකයක් කර නොගන්නා සුන්දර සහ ප්‍රේමණීය මිනිසුන් තවමත් සමාජයේ ජීවත්වන බව මෙම ගීතය අපට සිහිපත් කර දෙනවා. “ආදරේ හිතෙනවද අහනවා, ඔව් මටත් ආදරේ හිතෙනවා, හාදු මට දැනෙනවද අහනවා, ඔව් මමත් උණුහුමක් හොයනවා, කිරි වරම් නෑ නේද අහනවා, කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා” යන පද පෙලින් මෙය පපුවට කටු අනින්නාක් මෙන් අභිෂේකා ගායනා කරනවා.

03 – සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව මුහුණ දෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වය

කතානායිකාව තම පෙම්වතා ට නොකියූ රහස නම් තමාට වෙනත් පුරුෂයන්ගෙන් මුහුණ දීමට සිදුවන අපයෝජනයයි. ඒ ඇගේ අසරණකම නිසා වෙන්න ඇති. තම සමාජභාවී අනන්‍යතාවය නිසා සමාජය තුළ ජීවිතය ගැටගසා ගැනීමට ඈට අරගලයක් ඇති, ඒ අතරතුර තම විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාර්ථකකර ගැනීමට එකී අපයෝජනය විඳදරාගෙන සිටිනවා ඇති. එසේත් නැතිනම් මෙම දෙවන පිරිමියා ද තමාට ‘ආදරයක් ලබා දෙන බවට’ පොරොන්දු වී ජීවිතයට පැමිණි, එහෙත් පසුව‍ විලිස්සූ උල් දත් විලංගුවලින් ඈ සිරකරගෙන තබා ගන්නා මෘගයකු වෙන්න ඇති. වසර ගණනාවක් මුළුල්ලේ භූමි තම මානව හිමිකම් අධිවාචනයේ දී මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන කතා කර ඇති. සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව මුහුණ දෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, නිවැසියන්ගෙන් පමණක් නොව තම පෙම්වතාගෙන් පවා සිදුවිය හැකි බව සත්‍යයකි. සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ ජෙන්ඩර් බේස්ඩ් වයලන්ස් කියලා) ගොදුරුවන කාන්තාවන් අතර සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් විශේෂ වන්නේ, ඔවුන් අදියර කිහිපයකින් ප්‍රචණ්ඩත්වයට ලක්වන නිසා. කාන්තාවක් වීම මත, සහ සංක්‍රාන්ති සමාජභාවී වීම මත ඔවුන් ප්‍රචණ්ඩත්වයට ලක්වන බව නවක වදය පෙන්වන සිදුවීමේ සිට, තමාට බලහත්කාරකම් කිරීමට නේවාසිකාගාරයට පැමිණෙන පුරුෂයාගේ සිදුවීම දක්වා කතානායිකාව අපට පෙන්වා දෙනවා.

‍04 – ආදරය වෙනුවෙන් කළ නොහැක්කක් නොමැත

තමා අපයෝජනය කිරීමට පැමිණි පිරිමියා මිය යන්නේ ඇගේ පෙම්වතා අතින්. ආදරය හමුවේ පිරිමියකු නොව ඕනෑම මනුෂ්‍යයකු ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව එය පසක් කරනවා. ආදරය වෙනුවෙන් පුද්ගලයකුට කළ හැකි කැපවීම කොපමණ ද යන්න එය පෙන්වනවා. නමුත් එතනින් ද එහාට කතානායිකාව ආදරය වෙනුවෙන් ඊටත් වඩා බරපතල කැපවීමක් සිදුකරනවා. තම පෙම්වතාට විදේශ විශ්ව විද්‍යාලයකට පිවිසුම් වරම් ලැබී ඇති බව අර පොඩිවී ගිය ලියුම් කඩදැහිය දැකීමෙන් ඈ දැනගන්නවා. මෙය මිනීමැරුමක් බැවින් තම පෙම්වතා අධිකරණය හමුවේ වරදකරු වූවහොත් ඔහුගේ අධ්‍යාපනයට, ඔක්ස්ෆර්ඩ් සිහිනයට සිදුවිය හැක්කේ කුමක් ද යන්න ඈ අවබෝධ කරගන්නවා. මේ නිසා එසැණින් ඈ සෘජු තීන්දුවක් ගන්නවා. තම පෙම්වතා ගේ ජීවිතය බේරා වරද තමා පිට පටවා ගැනීමට ඈ කටයුතු කරනවා. අධිකරණය හමුවේ දෙපාර්ශවය වෙනුවෙන් නීති තර්ක ඉදිරිපත් වනවා. ඈ නිවැරදිකරු බව ප්‍රේක්ෂකාගාරය හැටියට ඔබ දන්නවා. නමුත් අධිකරණය තීන්දුව දී හමාරයි! කතාන්දරයේ අවසානය හමුවේ ආදරය වෙනුවෙන් දෙදෙනා එකිනෙකාට කළ කැපවීම කොපමණ ද යන්න දකින ඔබට ඇසට කඳුලක් එක්වන්නේ නැත්නම් ඔබට ‘සහකම්පන පරීක්ෂාවක්’ අනිවාර්යයෙන්ම සිදුකරගත යුතු වේවි.

ආදරේ හිතෙනවද අහනවා
ඔව් මටත් ආදරේ හිතෙනවා
හාදු මට දැනෙනවද අහනවා
ඔව් මමත් උණුහුමක් හොයනවා
කිරි වරම් නෑ නේද අහනවා
කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා
හත් මාල නළල් පට නෑ
සුදු නෙලුම් රෝස පෙති නෑ
නෙත් අඳුන් යටින්
ගලනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා
ගිනි කඳුළෙන් දෙමට මලෙන්  
නයි කඳුළෙන් නුග කොළයෙන්
ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන්
දිරිය අරන් පිපියන්..
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා.

ඔව්.. භූමියට තවමත් පණ තියෙනවා.. ආදරයට නොකළ හැක්කක් නොමැති බව මනාව පසක් කරමින් තම සංගීත වීඩියෝවට එකතුකළ කමෙන්ටුවක් හරහා අභිෂේකා පවසා සිටියේ මෙවැන්නකි.

බැනුම් අහන්න වෙයි කියල හිතපු  වැඩකට එකම එක negative comment එකක්වත් නොදුන්න ආදරණීය මනුස්ස හිත් වලට ආදරෙයි..ලංකාවෙ මිනිස්සු මාරයි ❤️” අභී!

සමහර විට, විවිධ ලිංගික අනන්‍යතා බැඳි තේමාවක් රැගත් ගීතයක් නිකුත් කර කෙටිම කාලයක් තුළ ශ්‍රී ලංකා යූටියුබ් ප්‍රජාව අතර ට්‍රෙන්ඩිං පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙය වන්න පුළුවන්..

‘තවම පණ තියෙනවා’ සංගීත වීඩියෝ පටය කසුන් මහේන්ද්‍ර හීනටිගල චිත්‍රපටයක්. නිශ්පාදනය නිපුණි අමරසිංහ සහ හීනටිගල ෆිල්ම්ස් විසින්. ගායනය, තනුව සහ පදපෙළ විශාරද අභිෂේකා විමලවීර විසින්. රංගන දායකත්වය අෂාන් ඩයස්, භූමි හරේන්ද්‍රන් සහ අභිෂේකා විමලවීර විසින්.

(ඡායාරූප: Abhisheka Wimalaweera ෆේස්බුක් පිටුව)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි