×

මරණයේදී අබිරහසක් බවට පත් වූ ස්වාමි විවේකානාන්දතුමා

මේ ඇටකටු සහ මාංසයෙන් හැදුණු කූඩුව යම් වේලාවක පුපුරා යාවි..-Swami Vivekananda


බොහෝ ප්‍රකට ශ්ලෝක ගණනාවක නිර්මාතෘවරයා මෙන්ම උපනිෂද් ශාස්තෘවරයෙකු සේ ද සැලකෙන ඉන්දියාවේ ස්වාමි විවේකානන්ද තුමා මිය ගියේ වයස අවුරුදු 39 ක් වැනි ළාබාල වියේදී ය. දශක ගණනක නොසිඳෙන ජනප්‍රියත්වයෙන් පසුව ද ඔහුගේ මරණය අබිරහස් ලෙසට ලෝකයේ ඉතිරිව තිබේ.

ඔහු මිය ගිය බව අබිහරසක් නොවුණත්, ඔහු මිය ගියේ කෙසේද යන්න අබිරහසක් බවට ලෝකය තුළ පත්ව තිබෙන්නේ හේතු ගණනාවක් නිසා ය. 1863 ජනවාරි 12 වැනිදා නරේන්ද්‍රනාත් දත්තා යනුවෙන් ඉන්දියාවේ කල්කටා නුවර උපන් ස්වාමි විවේකානන්දතුමා Swami Vivekananda හින්දුත්වවාදය (Hinduism)ට පුනර්උපතක් ලබාදුන් බව පුද්ගලයා ලෙසට අවිවාදිත ය.

එදා ඇමරිකාවේ චිකාගෝ හිදී 1893 සැප්තැම්බර් 15 වැනිදා ලෝක ආගම් පිළිබඳ පාර්ලිමේන්තුවේදී (“Parliament of the World’s Religions” ) කළ කතාව ආරම්භ වූයේ “Sisters and brothers of America” යනුවෙනි. එම දේශනය, නූතන හින්දුත්වවාදයේ උපත ලෙස ද සැලකේ.

පසුව 1902 ජූලි 04 වැනිදා දේශනයකින් පසුව ඔහු තමන් අවට සිටි අයට, ‘‘මට බාධා කරන්න එපා‘‘ යැයි කියමින් සිය කාමරයට ගොස් දොරවසා ගත්තේය. එය ඔහුගේ ජීවිතයේ අවසන් දවස විය. එදින මේ හින්දු පූජකවරයාගේ හැසිරීමේ යම් අසාමාන්‍යතාවක් තිබු බවට වාර්තා බොහෝ ය.

ස්වාමි විවේකානන්දතුමා සාමාන්‍යයෙන් දවස ආරම්භ කරන්නේ පැය 3 ක් භාවනා කිරීම මගිනි. පසුව ඔහු තම ශිෂ්‍යයන්ට ශකුලා-යජූර්-වේදය නමැති සංස්කෘත ව්‍යාකරණ ක්‍රමය සහ දර්ශනවාදය ඉගැන්වීමේ යෙදෙයි. කෙසේ නමුත් එදින පැවති දේශනයේදී සිය ශිෂ්‍යයන්ට තමන් දන්නා සියලුම දේ ‘පෙවීමට‘ අසාමාන්‍ය ලෙස වෑයම් කළ බවට වාර්තා තිබේ.

එදින ඔහු නැවත දැනුම් දෙන තෙක් බාධා නොකරන බව කියමින් සිය කාමරයට ගොස් දොර වසාගෙන තිබෙන්නේ රාත්‍රී 7 ට පමණ ය. රාත්‍රී 9.10 පමණ වන විට ‘ශ්‍රේෂ්ඨ ගුරු‘ මෙලොව හැර ගොස් ඇති බව සොයා ගැනුණි. ලෝකයම ඔහුගේ අකල් මරණයෙන් කැළඹෙද්දී ඔහුගේ ගෝල පරපුර කියා සිටියේ සිය ගුරුතුමා ‘මහාසමාධිය‘ ලබාගත් බව ය. ගුරුතුමාගේ මොළයේ නහරයක් පුපුරා ගොස් ඇති බව ද සොයාගැනිණි. එය ලේ නහරය පුපුරා ගියේ ‘බ්‍රහ්මරාන්ද්‍ර‘ හෙවත් ශීර්ෂ මස්තකයේ වූ කිරුළ, මහාසමාධියට පත් වීමේදී විවර වීම නිසා යැයි ද ගෝලයෝ කීහ.

ස්වාමි විවේකානන්දයන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණේ බෙලූර් හි ගංගානම් නදී ඉවුරේ ය. එයට වසර 16කට පෙර මියගිය ඔහුගේ පරම අධ්‍යාත්මික ගුරුවරයා වූ රාමක්‍රිෂ්ණා පරමහංසගේ චිතකය දැල්වූ තැනට නුදුරින් ස්වාමි විවේකානන්දයන්ගේ ද සඳුන් චිතකය ගිනි දැල්වුණි.

‍ස්වාමි විවේකානන්දයන් සිය මරණය ගැන දැන සිටියේද?

ඒ බවට ද සාක්ෂි තිබේ. 1986 වසරේදී ස්වාමි විවේකානන්දයන් විසින් ස්වාමි අභීතානන්ද අමතා කියා ඇත්තේ තමන් තව වසර 5-6කට වඩා ජීවත් නොවනු ඇත කියා ය. ස්වාමි අභීතානන්ද යනු රාමක්‍රිෂ්ණා පරමහංසගේ ළඟම ගෝලයෙකි. මේ ප්‍රකාශයට ඔහු විසින් විරෝධය පෑ විට එයට ස්වාමි විවේකානන්දයන් විසින් ලබා දී තිබු පිළිතුර, තවත් සියවස් ගණනාවකට අමතක නොවන එකකි. ‘‘ඔබට වැටහෙන්නේ නැහැ. මගේ ආත්මය දිනෙන් දින වැඩෙනවා. ශරීරයට දරාගත නොහැකි තරමට. කොහොම වුනත් මේ ඇටකටු සහ මාංසයෙන් හැදුණු කූඩුව යම් වේලාවක පුපුරා යාවි..“

ස්වාමි විවේකානන්දයන්ගේ චිතකයට පැන දිවි නසා ගැනීමට තැත් කළ සුදු ජාතික, අයර්ලන්ත කාන්තාවක් ගැන ද ඉතිහාසයේ සඳහන් ය.

ඇය හැඳින්වූයේ ‘නිවේදිතා සොයුරිය‘ (සිස්ට නිවේදිතා) යනුවෙනි. 1895 වසරේ ලන්ඩනයේදී ස්වාමි විවේකානන්දතුමා ව හමුවීමෙන් පසුව මෙම සුදු ජාතික තරුණිය දර්ශනය උගැනීම සඳහා ඉන්දියාවට පැමිණ ඇති අතර, පසුව හින්දුත්වවාදය වෙත ඇදී ගොස් ඉන්දියාවේ පදිංචි වී ඇත. ඇය ස්වාමි විවේකානන්දයන් කෙරෙහි මහත් භක්තියෙන් පසුවූ කාන්තාවක් ලෙස ප්‍රකට ය. ඇයට ස්වාමි විවේකානන්දයන්ව ඔහුගේ මරණයට දින 2කට පෙර ද මුණ ගැසී තිබිණි. එහිදී ඔහු ‘ඒකදාෂි‘ (Ekadashi) නමැති වෘතය සමාදන්ව සිටි බව ද පැවසේ. එය අධ්‍යාත්මික සමාධිය පතා සිදුකරන නිරාහාර ව්‍රතයක් වූ බැවින් ස්වාමි විවේකානන්දයන් ආහාර ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු සියතින්ම සිය ගෝලයන්ට කෑම බෙදා දුන් බව සඳහන් ය. මෙය ඔහුගේ සාමාන්‍ය පිළිවෙත නොවේ. එපමණක් නොව ඔහු නිවේදිතා සොයුරියට බීමට පැන් ටික පවා සියතින් වත් කර තිබේ. ‘‘ස්වාමිජී, මේක මමයි, ඔබතුමා වෙනුවෙන් කළ යුත්තේ. ඔබතුමා මෙය කළ යුතු නෑ!“ යැයි එවිට නිවේදිතා සොයුරිය ස්වාමි විවේකානන්දයන් අමතා කියා තිබේ.

නිවේදිතා සොයුරිය වෙත ස්වාමි විවේකානන්දයන්ගේ මරණය පිළිබඳ පුවත සැළ කළේ බෙලූර් මැත් හි තවත් ප්‍රබල චරිතයක් වූ ස්වාමි සාරානන්දයන් විසිනි. පුදුමය වන්නේ, එම ස්වාමි විවේකානන්දයන් මෙලොව හැර ගිය දිනයේ රාත්‍රියේ නිවේදිතා සොයුරිය විසින් ශ්‍රී රාමක්‍රිෂ්ණා සිය ශරීරයෙන් දෙවැනි වතාවට වෙන්ව ආත්මීය ස්වරූපයට පත්වන ආකාරය සිහිනයෙන් දැකීමයි.

ශ්‍රී රාමක්‍රිෂ්ණා යනු කවුද? ශ්‍රී රාමක්‍රිෂ්ණා යනු, නූතන වේදාන්තය, නූතන හින්දුත්වවාදය, ගෝලීය හින්දුත්වවාදය වැනි නම් වලින් හැඳින්වෙන දර්ශනය බිහි කළ රාමක්‍රිෂ්ණා පරමහංස නමැති ලෝ ප්‍රකට අධ්‍යාත්මික නායකයා ය. ස්වාමි විවේකානන්දයන් සැලකෙන්නේ රාමක්‍රිෂ්ණා පරමහංසයන්ගේ හොඳම ගෝලයා ලෙස ය.

thequotes.in

thequotes.in

නරේන්ද්‍ර මෝදි දක්වා පරපුරක ආභාසය

ස්වාමි විවේකානන්දයන්ගේ ආභාසය ලැබූ පරපුර අති දැවැන්ත ය. ඉන්දීය නිදහස් සටනේ වීරයෙකු වන සුභාස් චන්ද්‍රෙබෝස්, අවිහිංසාවාදයේ පියා-මහත්මා ගාන්ධි, මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්, ඉන්දියාවේ අවසන් මහාණ්ඩුකාරවරයා වූ චක්‍රවර්තී රාජගෝපාලාරච්චි, ජවහර්ලාල් නේරු, ජගදීෂ් චන්ද්‍රබෝස්ගේ පටන් මේ පරපුර නූතන ඉන්දියාවේ මහා සමාජ ක්‍රියාකාරී අන්නා හසාරේ සහ හින්දුත්වවාදය අනවශ්‍ය තරමට ම කරපින්නා ගෙන යන, එනමුත් නූතන ඉන්දියාවක් වෙනුවෙන් වෙහෙසී වැඩ කරන අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි දක්වාම විහිදෙයි.

ලංකාව ගැන ලියූ ස්වාමි විවේකානන්ද

Lectures from Colombo to Almora

Lectures from Colombo to Almora යනුවෙන් ස්වාමි විවේකානන්දයන්ගේ දේශන ඇතුළත් පොතක් මුද්‍රණය වී තිබේ. එහි අඩංගු වන්නේ ඇමරිකාවේ චිකාගෝ නුවර ලෝක ආගම් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු නැවත ඉන්දියාව බලා පැමිණ, ඉන්පසු ලංකාවට පැමිණ ඔහු විසින් ස්ථාන 17කදී පැවැත්වු දේශනයන් ය. ඇල්මෝරා යනු ඉන්දියාවේ උත්තර්කාන්ද් හි නගරයකි. ස්වාමි විවේකානන්දතුමා ලංකාවේ කොළඹ නගරයට පැමිණියේ 1897 ජනවාරි 15 වැනිදා ය. එය බ්‍රිතාන්‍ය කොලනියක් වශයෙන් ලංකාව පැවති සමයයි. ලංකාවේ,

  • අනුරාධපුර
  • යාපනය
  • කොළඹ
  • මහනුවර
  • වව්නියාව

යන නගර එම දේශන සඳහා ස්වාමි විවේකානන්දයන් විසින් තෝරාගෙන තිබිණි.

ස්වාමි විවේකානන්දයන් කොළඹ පුරා දින 4 ක් නැවතී සිටි බව පැවසේ.

 

 

 

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි