×

50 දෙනෙකුට මරු කැඳවූ තායිවාන දුම්රිය අනතුරෙන් පසු ඇමති ඉල්ලා අස්වෙයි. ලොරි රියැදුරා සමාව ඉල්ලයි

දශක 7 කින් තායිවානයේ වාර්තා වූ බිහිසුණුම දුම්රිය අනතුරේ සියලු විවේචන භාර ගනිමින් ප්‍රවාහන ඇමති ලින් චියා-ලුන්ග් ඊයේ ඉල්ලා අස්විය.


සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙසේ කීවේය.

‘‘ගතවූ දින කිහිපය තුළ ඇති වූ සියලු විවේචනවල වගකීම මා භාරගත යුතුයි. ඒ වගේම අපේ පැත්තෙන් අපි හොඳින් කටයුතු කරලත් නැහැ..‘‘

තායිවාන ආණ්ඩුව මෙම ඉල්ලා අස්වීම භාරගෙන නැත්තේ, සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔහු තනතුරේ රැඳී සිටිය යුතු බව පවසමිනි.

පසුගිය සිකුරාදා අවම වශයෙන් 50 දෙනෙකුට මරු කැඳවමින් සහ, 200 කට අධික පිරිසකට තුවාළ සිදුකරමින් සිදුවූ මෙම අනතුරේ වගකිව යුත්තා ලෙස ලොරි රථ රියැදුරෙක් හඳුනාගෙන තිබිණි. ඔහු ඒ අසල තිබූ ඉදිකිරීමේ ක්ෂේත්‍රයක් භාරව සිටි කළමනාකරුවෙකු ද වන ලීයි-හ්සියැන්ග් ය.

කෙසේ වෙතත් CCTV වීඩියෝවලින් හෙළි වී තිබෙන්නේ, ලොරිය අනපේක්ෂිත ලෙස දුම්රිය මාර්ගයට තල්ලු වී ගිය පසු ප්‍රතිචාර දැක්වීම සඳහා ඔහුට ඉතිරි වී තිබුණේ තත්පර 6.9 ක් පමණක් බවයි. එනම් ඒ වන විට දුම්රිය සහ ලොරිය අතර පරතරය මීටර 250 ක් පමණක් බවට පත් ව තිබුණේය. ඒ අනුව ලොරි රියැදුරාට මෙම අනතුර වළක්වා ගන්නට කාලයක් නොමැති වූ බවට නිගමනය කෙරේ.

විශාල විරෝධතා මධ්‍යයේ අත්අඩංගුවට ගෙන, පසුව ඇප මත මුදාහැරි එම ලොරි රථ රියැදුරා පවසා තිබෙන්නේ තමන් සිද්ධිය සම්බන්ධයෙන් මහත් සේ කම්පනයට පත් වූ බවයි.

කෙසේ නමුත් ලොරියේ රියැදුරා කම්පනයට පත්ව සමාව ඉල්ලා සිටින විට දුම්රිය භාර ඇමතිවරයා ඉල්ලා අස් වී තිබේ.

මෙය තායිවානයේ නොවී, ශ්‍රී ලංකාව වැනි රටක සිදුවූවා නම්, සිදුවන්නේ මෙහි අනෙක් පැත්ත ය. එනම්, ප්‍රවාහන ඇමතිවරයා සමාව ඉල්ලා සිටිනු ඇත. ලොරි රියැදුරා නිදහස් ජීවිතයෙන් ඉල්ලා අස්වී සිරගත වනු ඇත!

Photo: EPA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි