×

තායි ගුහාවේ සිරවුණු ඉතිරි අය බේරාගැනීම අද

තායිලන්තයේ Tham Luang ගුහාවේ මේ වනවිට ඉතිරි වී සිටින දරුවන් සිව් දෙනා සහ පාපන්දු පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම මේ වන විට ආරම්භ වී තිබේ.


සිය පාපන්දු පුහුණුකරු සමග ජූනි 23 වැනිදා පටන් මෙම ගුහා පද්ධතියේ සිරවී සිටින දරුවන් අතරින්, දරුවන් 8 දෙනෙක් මේ වනවිට බේරාගෙන තිබේ.

ඔවුන් රෝහල්ගත කර තිබෙන අතර, එක්ස් කිරණ පරීක්ෂා සහ රුධිර සාම්පල පරීක්ෂාවන්ට ලක් කර ඇත. ඔවුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව බලධාරීන් කියතත් , ඔවුන් කිසිවෙකුට මෙතෙක් දෙමාපියන් හමුවීමට අවස්ථාව ලැබී නැත. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තායි ගළවා ගැනීමේ මෙහෙයුමේ නිලධාරීන් පැවසුවේ දැනට දෙමාපියන්ට දරුවන් ව මුහුණට මුහුණ හමුවීමේ අවස්ථාවක් නොමැති බවයි.

දෙමාපියන්ට දරුවන්ව මිටර 2 ක් පමණ දුරින් සිටිමින් පමණක් හමුවිය හැකිය. Photo:AFP

දෙමාපියන්ට සිය දරුවන්ව මීටර 2 ක් පමණ දුර සිට පමණක් දැක බලාගැනීමේ සහ ඔවුන් සමග කතාබස් කිරීමේ අවස්ථාව දැනට ලබාදී ඇත.

ඔවුන් අඩුම වශයෙන් දින 7 ක් වත් වෛද්‍ය නිරීක්ෂණය යටතේ රෝහල්ගත ව සිටිය යුතුය. ඔවුන් ප්‍රතිකාර ලබන්නේ චියැන්රායි (Chiang Rai Prachanukroh) රෝහලේ ය.

දරුවන් රෝහල වෙත ගෙන යමින් Photo:Reuters

මෙම දරුවන්ට රෝහල් ගත කිරීමෙන් පසුව ක්ෂණික ආහාර සහ ශක්තිජනක ජෙලි වර්ග ලබා දී ඇති අතර, මේ වන විට ජීර්ණය කිරීමට පහසු ආහාර ලබාදෙමින් තිබේ.

සති දෙකකට වැඩි කාලයක් අන්ධකාරයේ ගත කළ මේ දරුවන් කිසිදු ආසාදන තත්වයකට ගොදුරු නොවී තිබීම ආශ්චර්යයක් බව ඇතැම්හු පෙන්වා දෙති.

රෝහල් ගත කරන අවස්ථාව වන විට එම දරුවන්ගෙන් ඇතැමෙක් අඩු රුධිර පීඩන තත්වයට ලක්ව සිටින බවද, ඇතැමුන්ගේ හෘද ස්ඵන්දන වේගය අඩු වී ඇති බව ද වාර්තා විය. නමුත් කිසිවෙක් උණ තත්වයෙන් නොසිටි බවත්, සියලුම දෙනා මානසික වශයෙන් යහපත් මට්ටමක සිටින බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

තායිලන්ත ජාතික කිමිදුම්කරුවන් 40 දෙනෙක්ද, විදෙස් රටවලින් පැමිණි කිමිදුම්කරුවන් 50 දෙනෙකුගෙන් ද සමන්විත 90 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ දරුවන් බේරාගැනීම සඳහා ජලයෙන් යටවුණු ගුහා පද්ධතිය තුළට යවන ලදී. මෙම ගුහා පද්ධතිය, උමං ජාලයකින් සහ කුටීර කිහිපයකින් සමන්විත ය. එම ඇතැම් උමගක පළල සෙන්ටිමීටර 40 කි. එනම්, තනි පුද්ගලයෙකුට පමණක් පිහිනා යා හැකි විශ්කම්භයකින් යුතු ය. දරුවන්ව ආරක්ෂිත ජලරෝධක ඇතිරිලිවල ඔතා, ඔක්සිජන් මුහුණු ආවරණයක් පළඳවා කිමිදුම්කරුවන් 3 දෙනෙකුගේ හෝ 4 දෙනෙකුගේ සහාය ඇතිව ගුහා විවරය වෙත ඇදගෙන ඒම මෙම ගළවා ගැනීමේ මෙහෙයුමේදී සිදු වේ. මෙහිදී ඇතැම් අවස්ථාවලදී පිහිනීමටද, ඇතැම් විට බඩගාගෙන යාමටද, බොහෝ විට රිංගා යාමට ද සිදු වේ.

මෙම ගුහා මාර්ගයේ අසීරුතම කොටස නම් කර තිබෙන්නේ ‘ටී හන්දිය‘ (“T-Junction”) යනුවෙනි. එම ස්ථානය කොතරම් පටු ද යත් කිමිදුම්කරුවන්ට ඔවුන්ගේ වායුටැංකි පවා ගළවා එම ස්ථානය පසු කිරීමට සිදු වේ.

ගුහා වංකගිරියේ සිට දරුවන් ගෙන ආ යුතු මාර්ගය Photo: BBC

Chamber 3 නමැති ස්ථානයේ මේ වන විට කිමිදුම්කරුවන් ස්ථානගත කර තිබෙන ස්ථානය බවට පත්ව ඇත. එසේම බේරාගන්නා දරුවන්ට එම ස්ථානයේ මදක් රැඳී සිට විවේක ගෙන ගුහා විවරය වෙතට පිහිනා යාමට පහසුකම් සලසා දී ඇත.

මේ වන විට දරුවන් සිටින ස්ථානය ට යා යුතු මාර්ගය නිවැරදි ව හඳුනාගෙන ඇති හෙයින්, එක් දරුවෙක් ගළවා ගැනීම සඳහා වැය වන සම්පූර්ණ කාලය පැය 2 කින් පමණ අඩු වී ඇති බව ද විශේෂඥයෝ පවසති. මේ අතර ගුහා පද්ධතියෙන් ජලය පිටතට පොම්ප කිරීමේ දැවැන්ත මෙහෙයුම ද තවදුරටත් ක්‍රියාත්මක ය. එහි ප්‍රතිඵලයක් ලෙස ගුහාව තුළ ජල මට්ටම තරමක් අඩු වී තිබෙන්නේ ගළවා ගැනීමේ මෙහෙයුම තවදුරටත් පහසු කරමිනි.

Wild Boars නමැති තායිලන්ත පාපන්දු කණ්ඩායමේ නායකයා වන 13 හැවිරිදි ඩුගැන්පට් ප්‍රොම්ටෙප් අති දක්ෂ පාපන්දු තරුවක් වන අතර, ඔහු තායිලන්තයේ වෘත්තීය පාපන්දු සමාජ කිහිපයක ද සාමාජිකයෙකි.

මියැන්මාරයේ ඉපැදුණු 14 හැවිරිදි අදුල් සාම් මෙම කණ්ඩායමේ සිටින භාෂා කිහිපයක් කතා කළ හැකි දරුවෙකි. දරුවන් සිටින ස්ථානය මුලින්ම සොයාගත් බ්‍රිතාන්‍ය ගුහා කිමිදුම්කරුවන් සමග සන්නිවේදනය කිරීමට සමත් වූ එකම එක සාමාජිකයා වූයේ අදුල් ය.

මේ අතර 17 හැවිරිදි පීරපාත් සොපියැන්ජායිගේ උපන් දිනය යෙදී තිබුණේ මෙම කණ්ඩායම තායි ගුහාව තුළ සිරවූ දිනය වන ජූනි 23 වැනිදා ය. උපන් දිනය සැමරීම සඳහා ඔවුන් විසින් විවිධ ස්නැක් වර්ග ගුහාව තුළට ගෙනගොස් තිබේ. විශ්වාස කෙරෙන්නේ පුරා සති 2 ක් ඔවුන්ගේ දිවි ගැට ගසා ගැනීමට එම කෙටි කෑම වර්ග උපකාරී වන්නට ඇති බවයි.

මේ අතර 25 හැවිරිදි සහායක පුහුණුකරු වු එකපෝල් චැනතාවොන්ග් මේ කණ්ඩායමෙන් දුර්වලම ශරීර සෞඛ්‍යෙයන් යුත් තැනැත්තා වශයෙන් හඳුනාගෙන ඇත. එයට හේතුව, ඔහු කිසිදු ආහාරයක් ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වෙනුවට ඔහු ඒ සියල්ලම දරුවන්ට බෙදා දී ඇත. ඔහු ව බේරාගැනීමට නියමිතව තිබෙන්නේ ද අද දිනයේ ය.

නවතම පුවත් සඳහා රැඳී සිටින්න…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි