මීටර තුන්දහසේ සිට පන්දහසක් දක්වා විහිදෙන ලොව වඩාත් ම උසින් පිහිටා තිබෙන මහා තැනිතලාව වන්නේ ටිබෙට් සානුවයි. එහෙත් ගිම්හානය මධ්‍යයේදී පවා එය කටුක ලෙස ශීතල ය. මිදුණු හිම පවා එලෙසම ය. තණපත් මිය නොගිය ද ඒවායේ බැඳුණු අයිස් කිසි විටක දිය වී නොයන්නේ වියළි හිම කූරු සිහිගන්වමිනි.
එහෙත් මේ උස් බිමෙහි වෙසෙන අති බහුලතම තණකොළ බුදින්නා අපේ කතා නායකයා වේ. හේ තෙමේ නමින් “පයිකා” ය. මේ සුන්දර කුඩා අහිංසකයා හාවාගේ ළඟම නෑයෙකි. මේ කුඩා ක්ෂීරපායියා ට වලිගයක් නොමැති තරම්ය. හාවාගේ ළඟම නෑයකු වුවත් ඌට තිබෙනුයේ කිසිසේත් ම දිගු නැති රවුම් කන් දෙකකි. පයිකා ට තිබෙනුයේ එකවර දුක සහ ආදරය යන හැඟීම් දෙකම දැනෙන අවිහිංසක පෙනුමකි. උන් අතිශය පුෂ්ටිමත්ය. ලොම් පිරුණු පාපන්දු මෙනි.
පයිකාවන් තණකොළ බුදීම පිණිස පැමිණෙන්නේ විසල් රංචු වශයෙනි. එවිට සානුව අමුතු ම සුන්දරත්වයකින් පිරී ඉතිරී යයි. එහෙත් මේ තැනිතලාවෙහි එකදු ගසක් හෝ නොමැති හෙයින් සිය බිළයන්ගෙන් බොහෝ දුර ඈත නොයාමට ඌ හැම විටකම වගබලා ගනිති. ගුහාවට රැකවල් දැමීමට උන් පෙළඹෙන තවත් විශේෂ හේතුවක් ද වේ. එය නම් අනවසර පදිංචිකරුවන් ඒවා තුළට රිංගා ගැනීමේ අවදානමක් තිබෙන නිසා ය. මේ අනවසර පදිංචිකරුවන් යනු තමන්ගේ කියා කුඩු නොමැති තැනිතලා කුරුල්ලන් ය. උන් හුරුබුහුටි පක්ෂීන්ය. ගෘහමූලික පයිකා ගෙදර නැති බව දැනගත් පළමු ඇසිල්ලේ ම උන් ඒ වෙතට රිංගන්නේ එකා දෙන්නා බැගින් නොවේ. වරකට හය හත් දෙනා බැගිනි. බිම් කුරුල්ලන් සහ හිම කුරුල්ලන් යන වර්ගවලට අයත් උන් කොතරම් පුරුදු පුහුණු වී ඇත්දැයි කියන්නේ නම්, එයින් මද වෙලාවක ට පසුව බිළයේ නියම හිමිකරුවන් ලෙසින් උන් පෙළගැසී කිසිදු චකිතයකින් තොරව එයින් පිටතට පැමිණෙන ආකාරය පවා දැකගත හැකි ය.
මුවාවෙන්නට එක් ගසක් හෝ නොමැති මේ අමුතු තැනිතලාවේ අපෙන් කතා නායකයාට සිටිනා සතුරන් රාශියකි. උකුස්සන් ඒ අතරින් ප්‍රධාන ය. එහෙත් බිහිසුණු ම කපටියා වන ටිබෙටියානු නරියා ලොකුම අමාරුකාරයාය. මේ හතරැස් මුහුණ දුටු විට පයිකා ගේ මුව වටා පිහිටන අලංකාර දිගු රැවුල් ගස් පවා බියෙන් වෙව්ලන්නට පටන් ගනියි.
පයිකාවකු ට කුරුමානම් අල්ලන විට ටිබෙටියානු නරියා තව තවත් කපටි වෙයි. ඌ පළමුව කරන්නේ හිමිහිට පහත් වී ආපස්සට හැරී ගමන් කිරීමයි. එවිට පහත් තැනක සැ¼ඟවීම ට ඉක්මන්වූ පයිකා හට නරියා හිටිවන ම නොපෙනී යයි. එහෙත් හතරැස් මුහුණ පසුබසින්නේ අරමුණු සහගතව ය. නොසිතන ම මොහොතක අනෙක් පසින් මතු වී පයිකා වෙත ළඟා වනු සඳහාය. උගේ සිරුරේ හැඩය මේ කපටිකම සඳහා ම සොබාදහම විසින් ලබාදී තිබෙන්නකි. එය හැඩතල අඩු පීප්පයක් වැනි ය. හිස චතුරස්‍රාකාර ය. නමුත් ඒ හතරැස් හිස පයිකා හට සිතා ගැනීමටවත් නොහැකි විටෙකදී හිටිවන ම ඒ අසලින් මතුවෙයි.
එවිට අහිංසකයා වහාම බිළය තුළට වැද සැඟවෙයි. එවිට සිව්පා දඩයක්කරු ද ඒ අසල ම බිම දිගා වෙයි. ඉන්පසුව නියම මොහොතේ සිතා ගන්නටවත් නොහැකි වේගයකින් බිළය තුළට කඩා වදියි. දෑතේම නියෙන් පස සාරයි. අසරණ පයිකා හට ඒ හැටි දුරකට රිංගා ගැනීමට හැකිවී නැති නම් එළඹෙන්නේ මරණයේ හෝරාවයි.
ටිබෙටියානු නරියා නොකඩවා උමතුවෙන් මෙන් පස හාරයි. අහිංසකයා ඊළඟ නිමේෂයේ උගේ දත් අතරට මැදි වෙයි. වේදනාවෙන් විලාප දෙන දෑස ඉක්බිති මරණය හමුවේ නිලංකාර වෙයි. ඊළඟ මොහොතේ දත් අතරින් නික්මෙන චිරි චිරි හඬ සානුව පුරා ම නින්නාද දෙනු ඇත. සිය සගයා නගන ඒ මර හඬ අසන තවත් පයිකාවෙක් භීතියෙන් වෙව්ලමින් වහ වහා ගුහාවේ ඇතුළට ම වැද සැඟවෙයි. හිසට ඉහළින් අහස මිස අන් සරණක් නැති මේ රුදුරු තැනිතලා සානුවේ මරණයේ දත් අතරට මැදිවන මීළඟ අහිංසකයා කවුරුන්දැයි කලින් කිව නොහැක.