×

යුක්රේන යුද්ධයට දෙවනි වන මියන්මාරයේ ප්‍රචණ්ඩත්වය

යුක්රේන අර්බුදයට ප්‍රතිචාර වශයෙන් යුරෝපා සංගමය කළ දෙයින් දහයෙන් එකක්වත් මියන්මාරය වෙනුවෙන් සිදු නොවන අතර ලෝක නායකයන් දක්වන්නේ මේ සම්බන්ධයෙන් නිද්‍රාශීලී ප්‍රතිපත්තියකි.


ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මඟින් බලයට පත් අවුන්සාන් සුකීගේ ආණ්ඩුව පෙරළා දමා ආණ්ඩු බලය ලබාගනු ලැබූ මියන්මාරයේ හමුදා ජුන්ටාව විසින් රට තුළ ගෙන යමින් ඇත්තේ අතිශය අමානුෂික මර්දනයක් බවට ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

එනම් ගෝලීය අර්බුද සිතියම්කරණ කණ්ඩායමක් වන සන්නද්ධ ගැටුම් ස්ථානය සහ සිදුවීම් දත්ත ව්‍යාපෘතිය (ACLED) ඇස්තමේන්තු කර ඇත්තේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ හමුදා බලය අල්ලා ගැනීමෙන් පසුව මියන්මාරයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයන් 27,683 ක් පමණ මිය ගොස් ඇති බවයි. එමෙන්ම සන්නද්ධ ගැටුම් සහ ගුවන් ප‍්‍රහාර ඇතුළු ප‍්‍රචණ්ඩ ක්‍රියා 15,000කට ආසන්න ප‍්‍රමාණයක් ද වාර්තා වී ඇත.

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව නිරායුධ වැසියන්, හමුදාවට විරුද්ධව ජනවාර්ගික නායකයින්, ක්‍රියාකාරීන් සහ ජෙනරාල්වරුන් විසින් තේරී පත් වූ දේශපාලනඥයන් විසින් පිහිටුවන ලද පරිපාලනයක් වන ප්‍රතිවාදී ජාතික එක්සත් රජය (NUG)විසින් ගෙන යන ලද විරෝධතාවයන්ට එරෙහිව කුරිරු මර්දනයක් ආණ්ඩුව විසින් දියත් කර ඇත. එනම්, හමුදාව විසින් දේශපාලන මරණ දණ්ඩනය නැවත ආරම්භ කර ඇති අතර, ඕනෑම ප්‍රතිරෝධක බලවේගයක් මුලිනුපුටා දැමීමේ උත්සාහයක් ලෙස පුලුල්ව පැතිරුනු ගිනි තැබීම් හරහා නිවාස සහ ගම් බිමට සමතලා කර ඇත. රෝහල්වලට සහ පාසල්වලට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ. මෙම සටන් නිසා සිය දහස් ගණනකට තම නිවෙස්වලින් පලා යාමට සිදු වී ඇති අතර, කිව නොහැකි දුක් වේදනා ඇති කර තිබේ. ගැටුම මියන්මාරයේ මධ්‍යම තැනිතලාවේ මැග්වේ වැනි දිගු කාලයක් සාමකාමීව පැවති ප්‍රදේශ වලටපවා ව්‍යාප්තව ඇත.

මියන්මාරයේ පවතින මෙම අනාරක්ෂිත අර්බුදය ආර්ථික හා කලාපීය ස්ථාවරත්වයට, විශේෂයෙන්ම මානව ආරක්‍ෂාවට සහ කලාපයේ ආර්ථික ආරක්‍ෂාවට බරපතලම තර්ජනයක් එල්ල කරයි. එහෙත් යුක්රේන අර්බුදයට ප්‍රතිචාර වශයෙන් යුරෝපා සංගමය කළ දෙයින් දහයෙන් එකක්වත් මියන්මාරය වෙනුවෙන් සිදු නොවන අතර ලෝක නායකයන් දක්වන්නේ මේ සම්බන්ධයෙන් නිද්‍රාශීලී ප්‍රතිපත්තියකි.

සියලූ කුරිරුකම් සම්බන්ධයෙන් විශේෂඥයන් තක්සේරු කරන්නේ මිලිටරි ජුන්ටාව විසින් රටේ සියයට 17ක ස්ථාවර පාලනයක් ඇතිකර ඇති බවයි. ලබන වසරේ මියන්මාරයෙහි මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් හිටපු මැලේසියානු නීති සම්පාදකයෙකු සහ මානව හිමිකම් සඳහා ආසියාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (APHR) නිර්මාතෘ චාල්ස් සන්තියාගෝ පැවසුවේ ඡන්දයේ කොන්දේසි නියම කිරීමට හමුදාවට අවස්ථාව ලබා නොදිය යුතු බවයි.

මියන්මාරයේ පැවැත්වීමට නියමිත මැතිවරණය ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්නේ නැති බවට පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කළ යුතු වන අතර එසේ නොමැතිනම් මියන්මාර ජුන්ටාව සමඟ හවුලේ කටයුතු කිරීමක් ලෙස සලකනු ඇති බව ඔහු නිවේදනය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි