නමුත් මෙයට සියවසකට පෙර ලෝකය පුරා මේ ආකාරයේම ගෝලීය වසංගතයක් පැතිර යන විට ද එක් දුර දක්නා නුවණැති වෛද්‍යවරයෙක් මේ උපදෙසම දුන්නේය.
නමුත් එදා ඔහුට ලෝකය සැලකුවේ පිස්සෙකු ලෙස ය.
මේ ඒ කතාන්දරයයි.
19 වන සියවසේදී හංගේරියාවේ ජීවත් වූ වෛද්‍ය ඉග්නාස් සෙමෙල්වෙයිස් (Ignaz Semmelweis) අද සැලකෙන්නේ antiseptic procedures හෙවත් විෂබීජ හරණ ක්‍රමවේදයන්ගේ ආදි කාලීන නියමුවෙකු ලෙස ය. නමුත් ඔහු ජීවත් වූ කාලයේ නම් ඔහුට ඒ ගෞරවය කිසි සේත්ම හිමි වුණේ නැත.
19 වන සියවසේ මැද භාගය වන විට වෛද්‍ය විද්‍යාත්මක තීරණවල විද්‍යාත්මක භාවය ගැන ගැටළු රාශියක් පැන නැගී තිබුණේය.
ඒ නිසා මේ කතාව, අත්සේදීම ගැන පුදුමාකාර ඉතිහාස කතාව ද වේ.
1847 වසර වන විට ඔස්ට්‍රියාවේ වියානා නුවර සිටි වෛද්‍ය ඉග්නාස්, සෞඛ්‍ය සම්පන්න අම්මාවරුන් දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමෙන් පසු මුහුණදෙන අබග්ග ගැන මහත් සේ සිත් කරදරකරගෙන සිටියේය. දරුවන් ප්‍රසූත කරන මව්වරුන් 5 දෙනාගෙන් 1 අයෙකු බැගින් ‘චයිල්ඩ් බෙඩ් ෆීවර්‘ (child bed fever) හෙවත් ‘‘වැදූ ගෙයි සන්නියෙන්‘ මිය යමින් සිටියෝය. ඒ නිසා වෛද්‍ය ඉග්නාස් කල්පනා කළේ දරු ප්‍රසූතියට සම්බන්ධ වන වෛද්‍යවරුන්ගේ කල්ක්‍රියාව ගැන අවධානයෙන් සිටින්නට ය.
එවිට ඔහු නිරීක්ෂණය කළේ කුමක්ද?
මෙවැනි රෝහල්වල ප්‍රසූතිකාගාරවල සේවයට යොදවන්නේ මළ සිරුරු කපා පරීක්ෂා කිරීමේ යෙදී සිටින (autopsy) වෛද්‍යවරුන්ම බවයි! එනම් ඔටොප්සි පරීක්ෂණවල නියැළෙන වෛද්‍යවරුන්ම ඊළඟ ඇසිල්ලේ ප්‍රසූතිකාගාරවල ද රාජකාරි කරන බවයි.
එනම් මේ රාජකාරි දෙක අතර කාලයේදී වෛද්‍යවරුන් අත් සෝදන්නේ නැති බව ඔහු දැනගත්තේය.
නමුත් එසේ වෛද්‍යවරුන් අත් සෝදාගන්නේ නම් (හෑන්ඩ් හයිජීන්) මව්වරුන්ගේ මරණ අනුපාතිකය 18% සිට 1% දක්වා අඩු වන බවත් ඔහු සොයාගත්තේය.
නමුත් වෛද්‍ය ප්‍රජාව ඔහු දුටුවේ උපදෙස් දීමට පැමිණි උන්මත්තකයෙකු ලෙස ය. ඔවුන් වෛද්‍ය ඉග්නාස්ගේ බස පිළිගැනීමට කිසිසේත්ම සූදානම් වූයේ නැත. ඒ වෙනුවට ඔහුට සතුරන් ඇති විය. ඒ එක්දහස් අටසිය හතළිස් ගණන්වල විශ්වාස කෙරුණේ මව්වරුන් දරු ප්‍රසූතියේදී මිය යාමට හේතුව වාතය මගින් පැතිරෙන විෂබීජ බවයි.
මව්වරුන් තුළ ආසාදනයන් ඇති වන්නේ තමන් නිසාය යන චෝදනාව වෛද්‍යවරුන් ව කෝපයට සහ නොසන්සුන්තාවයට පත් කළේය.
ඒ නිසාම, වෛද්‍ය ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන් ඇති වීමට සහ ඒවා නියමයන් බවට පත් වීමට තවත් දශක ගණනාවක් ගත විය. පර්යේෂණ ගණනාවක් ද අවශ්‍ය විය.
ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ලෝකයේ මුලින්ම පර්යේෂණ කළේ ලුවී පාස්චර් විසිනි. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් වෙනත් ක්ෂුද්‍රජීවීන් හටගන්නා බව ඔහු සොයාගත්තේය. එය, ක්ෂුද්‍රජීවීන් ඉබේ හටගන්නේය හෙවත් ‘ස්වයංසිද්ධ ජනනවාදය‘ ට ගැසූ කණේ පහරක් විය. මේ අතර, ජෝසප් ලිස්ටර් විෂබීජ නාශක සොයාගත්තේය. රොබට් කොක්ගේ පර්යේෂණ සනාථ කළේ විශේෂිත විෂබීජ මිනිස් ශරීරය තුළ රෝපණය වීමට ඇති හැකියාවයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, විෂබීජයකට විශේෂිත රෝගයක් මිනිස් පටක තුළ ඇති කිරීමට ඇති හැකියාවයි. මේ සියලු දේ අන්තර් වශයෙන් සම්බන්ධ කළ විට රෝග කාරකය සහ රෝගය එකිනෙකට සම්බන්ධ විය. මිනිසුන් මේ පිළිබඳ විද්‍යාත්මක වශයෙන් විශ්වාස කරන්නට පටන් ගත්තේ එයට පසුව ය. එනම් වෛද්‍යවරුන් සිය සනීපාරක්ෂක පුරුදුවල ඇති වැදගත්කම අවබෝධ කර ගත්තේ එයින් පසුව ය.
වෛද්‍යවරුන් සැත්කම්වලට පෙර හැමවිටම සිය අත්වල සනීපාරක්ෂාව පිළිබඳ විමසිලිමත් වීමටත්, අත් ආවරණ පැළඳීමටත් උත්සුක වන්නේ වෛද්‍ය ඉග්නාස් ඒ බව කියා දශක ගණනාවකට පසුව ය.
නමුත් මේ කිසිවක් දැකීමට තරම් වෛද්‍ය ඉග්නාස් සෙමෙල්වෙයිස් වාසනාවන්ත වූයේ නැත. ඔහු ට පිස්සෙකුට සේ සැලකිණි. ඔහුට රස්සාව නැති විය. නමුත් ජීවිතයේ අවසාන භාගය ද ඔහු ගත කළේ මිනිසුන්ට අත් සේදීමේ ඇති වැදගත්කම අවධාරණය කර දීමට ය.
අවසානයේ 1865 වසරේදී ඔහු ස්නායු බිඳ වැටීමකට ලක් විය. කාත් කවුරුත් නැති අයෙකු සේ ඔහු අවසානයේ අවුරුදු 47 දී ගර්හාවට ලක්වීමෙන්ම මිය ගියේය.
වෛද්‍ය ඉග්නාස් සෙමෙල්වෙයිස්… නුඹ අද ද යුරෝපයේ කොහේ හෝ සිට ලක්ෂ ගණන් දෙනා කොවිඩ් ආසාදනයෙන් මිය යන අයුරු දැක ඔවුන්ට අත් සේදීම ගැන කියා දෙමින් සිටිනවා විය යුතුය!