×

The X Files: ඇමරිකාවේ පිටසක්වල කුමන්ත්‍රණයට වසර 30යි!

නූතන යූටියුබ්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය කලාව තුළ හතු පිපෙන්නාක් මෙන් බිහිවන කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරුන්ගේ මහගෙදර The X Files බව ඔවුන්වත් නොදන්නවා විය හැක..


ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම හා ආගමනය පිළිබඳ හොලිවුඩයේ සිත්තම් බිහිවන්නට පටන් ගත්තේ අද ඊයේක නොවේ. සිනමාවේ පුනරුදය හටගත් 20 – 30 දශකවල පටන්ම පියාඹන පීරිසි උන්මාදය පිළිබඳ නානාවිධ කතාන්දර බිහිවන්නට ඇති. එහෙත් රූපවාහිනී ටෙලිනාට්‍ය කලාව මෙන්ම සිනමාව ද පිටසක්වල ජීවීන් පිළිබඳ පෙර නොවූ විරූ අතකට යොමුකරන ලද්දේ “The X Files” කතාමාලාව විසිනි.

The Twilight Zone”, “Night Gallery”, “Tales from the Darkside”, “Twin Peaks”, සහ “Kolchak: The Night Stalker” වැනි බටහිර ටෙලිනාට්‍යකරණයේ අද්භූත කලාවේ පුරෝගාමීන්ගෙන් ආභාෂය ලබමින් කරළියට පැමිණි The X Files ටෙලිනාට්‍ය මාලාව, අද දින වන විට, එනම් 2023 සැප්තැම්බර් 10 වන දිනට, සිය මංගල කතාංගය (pilot episode) රූපවාහිනියේ තිරගත කර වසර 30ක් සපිරේ.

1993 වර්ෂයේ සැප්තැම්බර් 10 වන දින එක්සත් ජනපදයේ ක්වොන්ටිකෝවේ Federal Bureau of Investigation (FBI) ඇකඩමියෙන් පුහුණුව ලබා උණු උණුවේ පිටව යන තරුණ FBI නියෝජිතවරියක වන, වෛද්‍ය උපාධියක් අතැති එහෙත් වෛද්‍ය වෘත්තියේ නියැලීමට උනන්දුවක් නොමැති ඩේනා කැතරින් ස්කලී, වොෂිංටන් ඩීසී හි FBI ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කරන්නේ ඇගේ ප්‍රධානීන් විසිනි. ඇගේ කාර්යභාරය නම්, FBI ආයතනයේ විශේෂ පරීක්ෂක ෆොක්ස් විලියම් මෝල්ඩර් ගේ විමර්ශනයන් වෙත සහාය ලබා දෙන සහායිකාව ලෙස කටයුතු කිරීමයි.

වෛද්‍ය ඩේනා ස්කලී FBI විශේෂ පරීක්ෂක ෆොක්ස් මෝල්ඩර් හමු වූ පළමු මොහොත | Photo: The X Files (Pilot Episode; aired on Sep. 10 1993)

බැලූ බැල්මට, මෝල්ඩර් ගේ විමර්ශන දියත් කිරීම සඳහා සහාය පරීක්ෂකවරියක් ලෙස සේවය ලබා දීම මෙන්ම, ඔහුගේ විමර්ශන කටයුතුවල පවතින ප්‍රශ්නකාරී ස්වභාවය මත ඒවාට විද්‍යාත්මක පසුබිමක් සකස්කොට ක්ෂේත්‍ර වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ස්කලී අනුයුක්ත කළ බවක් පෙනුන ද, ස්කලී මෝල්ඩර් වෙත යොමුකිරීමේ සැබෑ FBI නිලධාරීවාදී අභිලාෂය වන්නේ, මෝල්ඩර් ගේ ක්‍රියාකලාපය ඇමරිකානු රජයේ රහසිගත මෙහෙයුම්වලට සිදුකරන බාධාව මැඬපැවැත්වීමයි.

රාජ්‍ය අනුග්‍රහය ලද කුමන්ත්‍රණයක් මත තමාගෙන් උදුරාගත්තේ යැයි මෝල්ඩර් විශ්වාස කරන එවකට 08 හැවිරිදි මෝල්ඩර් ගේ කුඩා නැගණිය සමන්තා එවකට 12 හැවිරිදි මෝල්ඩර් ද සමඟ | Photo: The X Files (Season 05 Episode 02: Redux II Sep 11, 1997)

මෝල්ඩර් FBI ආයතනයේ හොඳ පළපුරුද්දක් ඇති අතිදක්ෂ පරීක්ෂකවරයෙකි. එහෙත් ඔහුගේ අවංකභාවය, කැපවීම සහ ඉතා කුඩා අවධියක දී තම නැගණිය වූ සමන්තා මෝල්ඩර් අභිරහස් අන්දමින් අතුරුදන් වීම පිටුපස රාජ්‍ය අනුග්‍රහය ලද කුමන්ත්‍රණයක් සිදුව ඇති බවට ඔහුට ඒත්තු ගැන්වීම මත ලද පන්නරය හරහා ඇමරිකානු රජයේ දූෂිත හා අමානුෂික සැලසුම් හෙළිදරව් වීමේ අවදානමක් මතුව තිබෙන පසුබිමක, එම අවදානම මැඬපවත්වා ප්‍රොටොකෝලය තුළ ඔහු රඳවා තබා ගැනීම FBI ආයතනයේ අරමුණයි. විද්‍යාත්මක පසුබිමක් සහිතව පැමිණෙන ස්කලී මෝල්ඩර් වෙත යොමු කිරීමේ රජයේ සැබෑ අභිලාෂය වන්නේ, සරල බසින් කිවහොත් මෝල්ඩර් ‘පමණට වඩා නැටීම’ වැළැක්වීමයි.

Photo: Fox

කුමක් ද මේ ඇමරිකානු රජයේ දූෂිත හා අමානුෂික සැලැස්ම..?

එනම්, පිටසක්වල ජීවීන් පෘථිවිය සමඟ සිදුකරන ගනුදෙනු හා රහසිගතව සම්බන්ධ වීමත්, 2012 දෙසැම්බර් 21 වන දින (ලෝක විනාශය සිදුවන බවට ඉතිහාසයේ මායන්වරුන් විසින් අනතුරු ඇඟවූයේ යැයි කියන දිනය) පිටසක්වල ජීවීන් විසින් පෘථිවිය ආක්‍රමණය කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමත් ය. පිටසක්වල ආක්‍රමණය සිදුවන දිනය වන විට සියලු මනුෂ්‍ය වර්ගයා මිහිතලයෙන් අතුගා දැමීමට නියමිත අතර, එහි දී තම ජානමය සැකැස්ම මත දිවි ගලවා ගැනීමට සමත්වන මිනිසුන් වහලුන් මෙන් තබා ගැනීම පිටසක්වල ජීවින්ගේ අරමුණ වී ඇති අතර, මෙම ක්‍රියාදාමය තුළ ඇමරිකානු රජය ඔවුන් සමඟ ගනුදෙනු සිදුකරන්නේ, එකී දිනය වන විට තම පවුල්වල සාමාජිකයන් මරණයට පත් නොකොට ආරක්ෂා කර ගැනීමේ ආත්මාර්ථකාමී අපේක්ෂාව ඉෂ්ට කර ගැනීමේ චේතනාව ඇතිව ය. මීට මැදිහත් වන්නේ ඇමරිකානු රජය තුළම සිටින රහස් රජයක් (covert group) හෙවත් ඡායා රජයකි. 

තම අවසන් හුස්ම හෙළන මොහොත දක්වාම කොන්දේසි විරහිතව ස්කලී සහ මෝල්ඩර් ට සහාය ලබා දුන් “The Lone Gunmen” නම් කුමන්ත්‍රණ න්‍යායාචාර්ය පුවත්පතේ සංස්කාරකවරුන් තිදෙනා රිචර්ඩ් ලැංග්ලි, මෙල්වින් ෆ්‍රෝහිකී සහ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් බයර්ස් ‍| Photo: Fox

1993 වර්ෂයේ සැප්තැම්බර් 10 වන දින ආරම්භ වූ The X Files කතාමාලාව පරිච්ඡේද (seasons) 09ක් පුරාවට කතාංග (episodes) 202 ක් විකාශය වී අවසාන වන්නේ 2002 මැයි මස 19 වන දින වන අතර, ඒ වන විට 05 වන සහ 06 වන පරිච්ඡේද එකිනෙක සම්බන්ධ කරමින් 1998 වර්ෂයේ දී “The X Files: Fight the Future” නමින් වාර්තා බිඳ දැමූ හොලිවුඩ් චිත්‍රපටයක් ද නිකුත් වීම සිදුවිය. ඉන් වසර කිහිපයකට පසු 2008 වර්ෂයේ දී “The X Files: I Want to Believe” නමින් ස්වාධීන කතාන්දරයක් ඇතුළත් හොලිවුඩ් චිත්‍රපටයක් නිකුත් වන අතර, ඉන් ද අනතුරුව දශකයකට ආසන්න නිහැඬියාවක් පවත්වා ගන්නා The X Files නිශ්පාදකයහු 2016 ජනවාරි 24 වන දින කතාංග 06 කින් සමන්විත වන “The Event Series” නම් දසවන The X Files පරිච්ඡේදයක් ද, 2018 ජනවාරි 03 වන දින කතාංග 10 කින් සමන්විත වන එකොලොස්වන The X Files පරිච්ඡේදයක් ද එළි දැක්වීම සිදුකරති. ඒ අනුව, සමස්ත කතාමාලව කතාංග 218 කින් සමන්විත වේ. එමෙන්ම, The X Files කතාමාලාව පුරාවට මෝල්ඩර් සහ ස්කලී මුහුණ දෙන වෘත්තීමය හා පෞද්ගලික අරගල හමුවේ මුලු ලොවක් ඔවුන්ගේ අත්දැකීම් විශ්වාස නොකරන සන්දර්භයක් තුළ, තම අවසන් හුස්ම හෙළන මොහොත දක්වා කොන්දේසි විරහිතව ඔවුනට සහාය ලබා දෙන “The Lone Gunmen” නම් කුමන්ත්‍රණ න්‍යායාචාර්ය පුවත්පතේ සංස්කාරකවරුන් තිදෙනා වන රිචර්ඩ් ලැංග්ලි, මෙල්වින් ෆ්‍රෝහිකී සහ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් බයර්ස් ආශ්‍රිතව වෙනම ම බිහිවූ “The Lone Gunmen” නම් කතාංග 13 ක කෙටි ටෙලිනාට්‍යමාලාවක් (spinoff series) ද පවතී. මීට අමතරව, The X Files ඇසුරින් බිහි වූ චිත්‍රකතා එකතු, පරිගණක වීඩියෝ ක්‍රීඩා ආදී වෙනත් රශාස්වාදය ගෙන එන නිමැවුම් රාශියක් පවතී.

පිටසක්වල ජීවීන් ලොව ආක්‍රමණය කරන බවටත්, 1945 වර්ෂයේ පටන් ඇමරිකානු රජය පිටසක්වල ජීවීන් සමඟ ගනුදෙනු කරන බවටත් ගෙතී ඇති කටකතා හා කුමන්ත්‍රණ න්‍යායන් ආශ්‍රිතව, සහ එක්සත් ජනපදයේ විවිධ අවස්ථාවන්වලදී පිටසක්වල යානා ගුවනේ දිස්වූයේ යැයි හා මිනිසුන් පිටසක්වල පරීක්ෂා සඳහා පැහැරගෙන ගියේ යැයි පවතින ජනප්‍රවාද ඇසුරින් The X Files කතාමාලාව නිම වී ඇත. මෙම අද්විතීය විද්‍යා ප්‍රබන්ධය දශක තුනක කාලයක් මුළුල්ලේ පරම්පරා තුනකට ආසන්න ප්‍රමාණයකට අයත් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව ඇතිවා පමණක් නොව, පසුකලක බිහිවූ අතිශයින් ජනප්‍රිය “Dark Skies” (1996–1997), “Millennium” (1996–1999), “Men in Black” (1997–2019), “Lost” (2004–2010), “Supernatural” (2005–2019), “The Middleman” (2008), හා “Project Blue Book” (2019) වැනි ටෙලිවෘතාන්ත හා චිත්‍රපටවලට ආභාෂය ලැබී තිබෙන්නේ The X Files කතාමාලාවෙන් බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.    

තම වෘත්තියේ පවතින ආන්දෝලනාත්මක සහ ඇදහිය නොහැකි ස්වභාවය හමුවේ FBI ආයතනයේ අනෙකුත් පරීක්ෂකවරුන්ගේ සංශයවාදයට හා උසුළුවිසුළුවලට නිතර ලක්වන ස්කලී සහ මෝල්ඩර් ගේ කුඩා කාර්යාලය පිහිටා තිබෙන්නේ ඊට ම සරිලන පරිදි FBI ගොඩනැඟිල්ලේ කිසිවකුත් හමුවීමට උනන්දුවක් නොදක්වන පහළම තට්ටුවේ ය | Photo: Fox
ෆොක්ස් මෝල්ඩර් ට රංගනයෙන් දායක වන්නේ ඩේවිඩ් ඩිකව්නි ය | Photo: Fox
ඩේනා ස්කලී ට රංගනයෙන් දායක වන්නේ ජිලියන් ඇන්ඩර්ස්න් ය | Photo: Fox

30 වසරකට පෙර ඩේනා ස්කලී නම් තරුණ වෛද්‍යවරිය සහ ෆොක්ස් මෝල්ඩර් නම් FBI පරීක්ෂකවරයා අතර ගොඩනැඟෙන සබඳතාව හා රසායනය කෙතරම් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තේ ද යැයි කිවහොත්, ඒ ආශ්‍රිතව බිහි වූ රසික ප්‍රවාද (fanfiction) අපමණ පවතී. ස්කලී – මෝල්ඩර් සුසංයෝගය අදටත් හොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය සංකේතයකි. එමෙන්ම, වෛද්‍ය විද්‍යාත්මක දැනුම, නීතියේ ආධිපත්‍යය හා යුක්තිය ඉටු කිරීමට ඇති කැපවීම, වෘත්තීමය භාෂා හැසිරවීම සහ කාන්තා ජවය ආදී ඩේනා ස්කලී නම් චරිතය තුළින් රූපවාහිනී තිරය හරහා විදහා පෙන්වූ පෞරෂත්වය රසික ප්‍රජාවට කොපමණ බලපෑමක් එල්ල කලේ ද කිවහොත්, ඒ ඇසුරින් බිහිවූ “The Scully Effect” නම් ආචරණයක් ද පවතී. The Scully Effect ආචරණය හේතුවෙන් The X Files කතාමාලාව විකාශය වූ කාලසීමාව තුළ හැදී වැඩුනු කාන්තාවන් වැඩි ප්‍රමාණයක් වෘත්තීමය වශයෙන් ඉහළ රැකියා සඳහා අවතීර්ණ වූ බවට වාර්තා පවතී. එතැනින් ද නොනැවතී, රජයේ ස්ථාපිතයන්තුළ පවතින නිලධාරීවාදය, දේශපාලනය, සහ දූෂණ, අක්‍රමිකතා හා වංචනික කටයුතු මෙන්ම මනුෂ්‍යත්වයේ පිරිහීමට හේතුවන මහා පරිමාණයේ අපරාධ බල තණ්හාව මත යට ගැසීම පිළිබඳ ජනතාවට මනා අවබෝධයක් ලබා දීමට The X Files කතාමාලාව සමත් වී ඇති බව කිවහොත් වැරදි නැත. වර්තමානයේ යූටියුබ්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හතු පිපෙන්නාක් මෙන් බිහිවන කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරුන්ගේ (conspiracy theorists) මහගෙදර The X Files කිවහොත් නිවැරදි ය. යක්ෂයන්, ප්‍රේතයන්, කුම්භාණ්ඩයන්, පිසාචයන්, අමනුෂ්‍යයන්, දේවතාවුන්, නිරය හා දෙව්ලොව, සහ පිටසක්වල ජීවීන් ගැන සම්ප්‍රදායික කියවීමෙන් ඔබ්බට වියහැකියාවේ රාජ්‍යය (realm of possibility) තුළ පිහිටා වාද කිරීමට ජෙන්-එක්ස් (Gen-X), ජෙන්-වයි (Gen-Y) සහ ජෙන්-සී (Gen-Z) පරම්පරාවලට හුරුකරවන ලද්දේ The X Files කතාමාලාවයි.

Photo: Fox
THE X FILES: ©2015 Fox Broadcasting Co. FOX

ප්‍රසිද්ධියට පත් කිරීමට රජය පවා බිය දක්වන පැහැදිලිකළ නොහැකි සංසිද්ධි (unexplained phenomena) සහ අත්භූත සිදුවීම් (paranormal activity) ඇමරිකානු රජයේ නිහඬ අනුග්‍රහය ද ඇතිව ගවේෂණය කිරීම මෝල්ඩර් සතු කාර්යභාරය වන අතර, එහි දී ආවරණය කිරීමට සිදුවන අපරාධ සහ නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන අවස්ථාවන් හමුවේ අධිකරණයට කරුණු වාර්තා කිරීමේ දී ඊට අවශ්‍ය පිළිගත හැකි විද්‍යාත්මක පසුබිම සකස් කර දීම ස්කලී ගේ කාර්යභාරයයි. ඒ ඇසුරින් නිර්මාණයවන විසඳුම් නොමැති විමර්ශනයන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා තැන්පත් කරනු ලබන්නේ කාර්යාල රාක්කයේ X නම් කාණ්ඩයේ බැවින් එවන් වාර්තා ‘X Files’ යනුවෙන් හැඳින්වේ.

The X Files ටෙලි / සිනමා ශ්‍රේෂ්ඨත්වයේ මහමොළකරු ක්‍රිස් කාටර් | Photo: Stephen Shugerman/2008 Getty Images
Photo: Fox

ෆොක්ස් මෝල්ඩර් ගේ චරිතයට පණ පොවන්නේ සුපිරි හොලිවුඩ් රංගන ශිල්පී ඩේවිඩ් ඩිකව්නි වන අතර, ඩේනා ස්කලී ගේ චරිතයට පණ පොවන්නේ සුපිරි හොලිවුඩ් රංගන ශිල්පිනී ජිලියන් ඇන්ඩර්සන් ය. The X Files කතාමාලාව ක්‍රිස් කාටර් ගේ අද්විතීය ටෙලි / සිනමා නිර්මාණයකි. අදටත් ඇසුවන්ගේ රෝමකූප උද්ගාමනය කරන The X Files කතාමාලාවේ තේමා ගීතය ඇතුළු සංගීත සම්පාදනය මාර්ක් ස්නෝ විසිනි. The X Files ටෙලිනාට්‍ය මාලාව විකාශය වූයේ එක්සත් ජනපදයේ ෆොක්ස් (Fox) නාලිකාවේ ය.

The Truth Is Out There” (සොයායන සත්‍යය එතැනයි), “I Want To Believe” (මට විශ්වාස කිරීමට අවශ්‍යයි), “Deny Everything” (සියලු දෑ ප්‍රතික්ෂේප කරන්න), “Trust No One” (කිසිවකු විශ්වාස නොකරන්න), “Everything Dies” (සියලු දෑ මරණයට පත්වේ).. ඒ යතාර්ථය පිළිබඳ The X Files කතාමාලාව විසින් විටින් විට සිය පාඨක ජාලයට මතක් කර සිටි පණිවිඩයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි