×

මිලියන ගණන් නැරඹූ – සුපිරි වෙළඳසැල් ජාලයකදී තහනමට ලක් වූ නත්තල් දැන්වීමක කතාව

මිලියන ගණන් නැරඹූ - අයිස්ලන්ත සුපිරි වෙළඳසැල් ජාලයේ තහනමට ලක්වූ ග්‍රීන්පීස් නත්තල් දැන්වීමේ කතාව


ග්‍රීන්පීස් සංවිධානය  විසින් නිර්මාණය කරන ලද පාරිසරික පණිවුඩයක් සහිත නත්තල් දැන්වීමක්, එංගලන්තයේ අයිස්ලන්ඩ් සුපිරි වෙළඳසැල් ජාලයේ රූපවාහිනී මගින් විකාශය කිරීම තහනම් කිරීම නිසා විශාල ආන්දෝලනයක් ඇති ව තිබේ.

මේ ඇරඹී තිබෙන්නේ ලෝකයේ විවිධ සමාගම් විසින් නත්තල් දැන්වීම් තරගයට මෙන් විකාශනය කරන කාලයයි. ඒ අතරවාරයේ ග්‍රීන්පීස් සංවිධානය අමුතුම අන්දමේ නත්තල් දැන්වීමක් නිර්මාණය කළේය.

‘‘මගේ නිදන කාමරයේ රැන්-ටැන්ග් කෙනෙක්
මුළු කාමරයම අවුල් කරන…
මං දන්නෙ නෑ මොනවා කරන්නද..?
මගේ නිදන කාමරයේ රැන්-ටැන්ග් කෙනෙක්“

එහි දැක්වෙන්නේ පාම් තෙල් ලබාගැනීම සඳහා වැසි වනාන්තර විනාශ කරන විට උන් හිටි තැන් අහිමි වු ඔරං ඔටං පැටවෙකුගේ දුක් ගැනවිල්ලයි.

අවසානයේ කාමරයෙන් ඔරං ඔටං පැටවා පන්නා දමන්නට ගැහැණු ළමයා සිතයි. ‘‘ඒත් යන්න කලින් මට කියන්න, ඇයි ඔබ මගෙ කාමරයට ආවෙ..?“ ගැහැණු ළමයා ප්‍රශ්නයක් අසයි.

එවිට ඔරං ඔටං පැටවා පුංචි ගැහැණු ළමයාට සිය දුක් ගැනවිල්ල කියන්නේ මෙසේ ය. (අනුවාදයකි)

‘‘මගෙ කැලෑවට මිනිහෙක් ආවා
මං දන්නෙ නෑ මොනව කරන්නද කියා…
ඔහු කැලේ හැම ගහක්ම වැනසුවා..
පාම් තෙල් වලට…

මගෙ අම්මවත් ඔහු මරා දැමුවා..
මාවත් මරාදමාවි කියා මම බය වුණා…
ඉතිං මම හිතුව මට නතර වෙන්න පුළුවන් කියා
ඔබත් එක්කලා..“

පුංචි ගැහැණු ළමයා තීරණයක් ගනියි.

‘‘මගේ නිදන කාමරයේ ඉන්න රැන්-ටැන් පැටියෝ
දැන් මම දන්නවා කළ යුතු දේ
මම කියනවා ඔයාගෙ කතාව මුළු ලෝකෙටම

මගේ නිදන කාමරයේ ඉන්න රැන්-ටැන් පැටියෝ
තරුවල අත තියා මම දිව්රනවා…
අනාගතය තවම ලියා නැහැ
ඒත් මම සහතික වෙන්නම්
ඒ අනාගතය අපේ…“

පාම් තෙල් නිෂ්පාදනය සඳහා වැසි වනාන්තර ඉවක් බවක් නැතිව කපා දැමීම හේතුවෙන් දිනකට මේ ලෝකයට ඔරං ඔටං සතුන් 25 දෙනෙකු බැගින් අහිමි වෙමින් යයි. ගතවූ වසර 16 තුළ එසේ ලොවට අහිමි වූ, මිනිසා විසින් මරා දැමූ  ඔරං ඔටං සතුන් ගණන ලක්ෂයක් පමණ වේ. සොබාදහම අසිරිමත් ලෙස අලංකාර කරන මේ අහිංසකයා, මිනිසාගේ නෑදෑයා අද වඳ වෙමින් යන්නේ පාම් තෙල්වලට ලෝකය ලොබ බැඳ ඇති නිසා ය.

පීට්සා, බිස්කට්, ලිප්ස්ටික් ඇතුළු රූපලාවණ්‍ය භාණ්ඩ ගණනාවක නිෂ්පාදන අමුද්‍රව්‍යයක් වශයෙන් පාම් ඔයිල් යොදා ගැනෙයි. එනිසා මෙම දැන්වීමට අයිස්ලන්ඩ් සුපර්මාකට් ජාලය විසින් අනුමැතිය ලබාදීමකින් තොරව ප්‍රතික්ෂේප කෙරිණි. Too political හෙවත් දේශපාලනික වැඩියි යන හේතු දැක්වීම ද එම ප්‍රතික්ෂේප කිරීම සඳහා ලබා දී තිබේ. දේශපාලන දැන්වීම්වලට ඔවුන්ගේ සුපිරි වෙළඳසැල් තුළ ඉඩක් නැති බව දැක්වේ. එංගලන්ත නීතියට අනුව Advertising Standards Authority (ASA) සහ communications regulator Ofcom විසින්, Clearcast ආයතනයේ අනුමැතිය මත ඒවා තහනම් කිරීම හෝ විකාශයට ඉඩ ලබාදීම සිදු කරයි.

පාරිසරික පණිවුඩයක්, මිනිසා විසින් පරිසරය රැක ගත යුතු බවට කරන අවදි කිරීමක් දේශපාලනික පණිවුඩයක් සේ සැලකිය හැකි වුණත් නැතත්, එය රූපවාහිනී දැන්වීමක් බවට පත්විණි නම් එවිට එහි ග්‍රාහකයන්ගෙන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වනු ඇත. ඒ, සුපිරි වෙළඳසැලට පැමිණෙන පාරිභෝගිකයන් ඔවුන්ගේ සෘජු ග්‍රාහකයන් වන නිසා ය. එනිසා , ග්‍රීන්පීස් සාමාජිකයන් කළේ එය අයිස්ලන්ඩ් හි සවි කර තිබෙන රූපවාහිනී තිර ඔස්සේ ද ප්‍රචාරය කළ යුතු බවට වන පණිවුඩය ද සමග එය ජනගත කිරීමයි. මේ වන විට ඒ සඳහා අත්සන් කෙරෙන change.org හි “release Iceland’s banned Christmas advert on TV” අන්තර්ජාල පෙත්සමට අත්සන් ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් එක් රැස් වී තිබේ.

පසුගිය සිකුරාදා සමාජ මාධ්‍ය වෙත මුදා හැරුණු මෙම නත්තල් දැන්වීම, දින 4 ක් ඇතුළත යූ ටියුබ් චැලනය ඔස්සේ මිලියන ගණනක්ද, ෆේස්බුක් පිටුව හරහා මිලියන 13 ක්ද, රීට්වීට්ස් 90,000 ක්ද ලබාගෙන තිබේ.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද සමාජ මාධ්‍ය තුළ මේ ග්‍රීන්පීස් දැන්වීම දැන් පැහැදිලිවම ‘වයිරල්‘ වී තිබේ.

තත්වය නරක අතට හැරීගෙන එන විට අයිස්ලන්තය පැවසුවේ, ග්‍රීන්පීස් නාමය රහිතව එය විකාශය කිරීම ගැන තමන් ඉදිරියේදී සලකා බලන බවයි.

EPA

EPA

දිනකට අක්කර ගණනින් වැසි වනාන්තර විනාශ වන ලෝකයක මේ රැන් ටැන් හෙවත් ඔරං ඔටං පැටවා, බරපතළ ලෙස වඳ වී යමින් තිබෙන සිය වර්ගයා වෙනුවෙන් මිනිසුන්ගෙන් කරන ආයාචනය ඔබ නැරඹිය යුතුමය.

[embedyt] https://www.youtube.com/watch?v=3Ha6xUVqezQ[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි