ජෝර්දානය ප්‍රමාණයෙන් ඉතා කුඩා අරාබි රාජ්‍යයකි. එය, අර්ධ ශුෂ්ක වූත් අඩුම වනාන්තර ප්‍රමාණයකින් සමන්විත වූත් රාජ්‍යයක් ලෙස සැලකේ. රටේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් කාන්තාර බව සඳහන් වේ.
සෞදි අරාබිය, ඉරාකය, සිරියාව, ඊශ්‍රායෙලය, පලස්තීනය ආදී රාජ්‍ය ගණනාවකින් වට වුණු ජෝර්දානයේ, ඊශ්‍රායෙල දේශසීමාවට වන්නට වැඩිපුරම කාන්තාර දැකිය හැකිය. ඊශ්‍රායෙල දේශසීමාවේ සිට කිලෝමීටර කිහිපයක් රට අභ්‍යන්තරයට වන්නට හෙවත් රතු මුහුදේ සිට කිලෝමීටර 15ක් පමණ රට අභ්‍යන්තරයට වන්නට පිහිටි පෙදෙස එක යායට කාන්තාර සහිතය. දැඩි අව්වෙන් කරවන එහි වතුර පොදක් සොයා ගැනීම පහසු නැත. කර්කෂක කාලගුණය ඇති කළ, වැලි බහුල පසට ගහක් කොළක් ඔරොත්තු නොදෙන්නේම ය. එහෙත් ඒ කටුක බිම මත වුව ඉඳහිට වැඩෙන පඳුරක් දෙකක් වරදින්නේ නැත. ඒවායෙහි රෝපණය සහ පැවැත්ම විටෙක හාස්කමක් මෙනි. ඒ පඳුරු මත වුව තැවරී තිබෙන්නේ ප්‍රාණයෙන් පිරිණු සදා හරිත පැහැය නොව මළානික පඬු පැහැය ය. ඒ පෙනුමෙන් හදවත උපදින්නේ, දුක්බර ගීතයකින් මතුවන ශෝකී රසයට සමාන ශෝකී රසයකි. නිදැල්ලේ යන ඔටුවෙකු දෙන්නෙකු මේ ශෝකී තැවරුම මත දිවි වැයුමෙහි අමාරුම තත් පිරිමදිනු දකින්නට පුළුවන. කාලගුණය මඟින් එළන ලද මේ දුෂ්කර කලාලය මතදී ඒ ඔටුවන් එක්වරම වෙන්කර හඳුනා ගැනීම පවා දුෂ්කර ය. පෘථිවි තලයේ මේ තරම් කටුක තැනෙක වගාවක් ආරම්භ කළ හැකියැයි කියා ඔබ සිතනවා ද?. දෙවරක් නොසිතා එවැනි බිමක පවා වගා කළයුතු වාතාවරණයක් ලෝකයට දැන් දැන් උදාවෙමින් පවතී.
පෘථිවියෙන් බිම් අඟලක්වත් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොදා නොගෙන අත්හැර දමන්නට බැරි බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නොකියා කියයි. එම සංවිධානය පෙන්වා දෙන අන්දමට 2050 වනවිට ලෝක ආහාර නිෂ්පාදනය 50%කින් වත් ඉහළ දමා නොගතහොත් මානව සංහතිය ලෝක අමාරුවක වැටෙනු ඇත. වගා කටයුතු ආරම්භ කරන්නට 2050 එළඹෙන තුරු බලා හිඳින්නට පුළුවන්කමක් ද නැත. රටෙන් හතරෙන් තුනක් කාන්තාර සහිත වුවත් ලෝක ආහාර අර්බුධයට පිළියම් සෙවීමෙන් මඟ හැර යන්නට ජෝර්දානයටත් ඉඩක් නොවේ.
එවැනි තැනෙක වගාවක් ආරම්භ කිරීමේදී ගැටළු රාශියක් මතු වේ. ඒ ගැටලු බොහොමයකට විසඳුම් සොයාගත හැකි වුවත් උග්‍ර ජල හිඟයට උත්තරයක් සොයා ගැනීම පහසු නැත. ජෝර්දාන වැසියකුට වසරකට භුක්ති විඳීමට පවා ලැබෙන්නේ ඉතා අඩු ජල ප්‍රමාණයකි. වාර්තාවන්හි දැක්වෙන අන්දමට එය වසරකට ජලය ඝන මීටර 150ක් තරම් පහළ මට්ටමක පවතී. එසේ වුවත් ඇමෙරිකා වැසියකු වසරකට ජලය ඝන මීටර 9,000ක් භුක්ති විඳින බව සඳහන් වේ. වගාවන් ආරම්භ කළහොත් ජෝර්දානය අභ්‍යන්තරයේ ඇති ජල ප්‍රමාණයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් එම වගාවන් සඳහා යෙදවෙන බව විද්‍යාඥයන් පෙන්වා දී තිබිණ. එරට කෘෂිකර්මාන්තය, එරට දළ ජාතික නිෂ්පාදිතයට කරන දායකත්වය 3%ක් තරම් පහළ මට්ටමක පවතින බව අනාවරණය වී ඇත. විශාල වියදමක් දරමින් ජලය යොදා වගාවක් කිරීම කෙතරම් දුරට ප්‍රයෝජනවත්ද යන්න ගැටලුවක් වී තිබුණේය.
ජලය නැතත් ජෝර්දානයට වසර පුරා හිරු එළිය ඇත්තේය. වසරේ දින 365න් 330කදීම එරටට තද අව් රශ්මිය ලැබේ. එහි වර්ග මීටරයකට වසරක් පුරා වැටෙන හිරු එළිය, සාමාන්‍යයෙන් කිලෝ වොට් 5ත් කිලෝ වොට් 7ත් අතර බලශක්ති ප්‍රමාණයක් ජනනය කරන්නට සෑහේ. හිරු එළිය හැරුණුවිට මුහුදු ජලයත් ජෝර්දානය සතු සම්පත් ය. ජෝර්දානයට මුහුදු ජලය ලබාගත හැකි වන්නේ රතු මුහුදෙනි. රතු මුහුදෙන් ලබාගන්නා මුහුදු ජලයේ ඇති ලවණ ගතිය ඉවත් කර වගාවන්ට යෙදිය හැකිය. මුහුදු ජලයේ ලවණ ගතිය ඉවත් කරන්නට සූර්යය බලයෙන් ජනනය කරගන්නා බලශක්තිය භාවිත කිරීමට අවහිරයක් නැත. “සහරා ෆොරස්ට් ප්‍රොජෙක්ට්” හෙවත් සහරා වන ව්‍යාපෘතිය ජෝර්දානයේ පළමුව කී කාන්තාර ප්‍රදේශයේ ආරම්භ වුණේ එකී අන්දමට ය. වගාවන් පවත්වාගෙන යන්නේ හරිතාගාර තුළ ය. එනිසා කාන්තාරයේ පසෙන් ඒ වගාවට වැඩක් නැත.
මූලික බාධකවලට කෙතරම් විසඳුම් සෙව්ව ද උෂ්ණත්වය ඉහළ මටම්මක පැවතීම පිළිබඳ ගැටලුව විසඳා ගැනීම අසීරු වී ඇත. ගිම්හානයේ උදෑසනක මේ ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30ක් පමණ වේ. දහවල් කාලය එළඹෙත්ම එම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 45ටත් වඩා වැඩි වේ.
ඊට කදිම විසඳීමක් සොයා ගන්නට විද්‍යාඥයෝ සමත් වූහ. විසඳුම සිසිලන කාමරයකි. මුහුදු ජලය විශේෂිත “බ්ලැන්කට්ටුවක්” සහිත බිත්තියක් දිගේ ගලා යෑමට සලස්වා ඊට සුළං ධාරාවක් යොමු කරමින් මෙම සිසිලන කාර්යය කෙරේ. ජලය වාෂ්ප වී ගොස් එම පද්ධතිය ආශ්‍රිත ප්‍රදේශය සිසිලනය කෙරේ. ඒ අනුව හරිතාගාර තුළ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15ක් දක්වා පහළ දමාගැනීමට මෙම උපක්‍රමය සෑහේ. හරිතාගාර තුළ බීජවලට ප්‍රරෝහණය වීමටත්, ප්‍රරෝහණය වූ බීජවලට වර්ධනය වීමටත් එම වාතාවරණය හිතකර වේ.
කාන්තාරයේ උෂ්ණත්වය ඉහළ මට්ටමක තිබුණත් රාත්‍රියේදී එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 7 දක්වා පහළ යයි. රාත්‍රියේදී හරිතාගාර තුළ උෂ්ණත්වය ඉහළ දමා ගන්නට සිදු වේ. දහවල් රත් වූ ජලය, හරිතාගාරයේ වහලයට සවිකළ නල පද්ධතියක් හරහා රාත්‍රී කාලයේදී යවනු ලැබේ. ශාකවලට අවශ්‍ය උෂ්ණත්වය එම ක්‍රියාවලිය හරහා නංවා ගන්නට පුළුවන.
ව්‍යාපෘතිය ආරම්භ කර වසරකට මඳක් වැඩි කාලයක් දැන් ගෙවී ගොස් ඇත. ව්‍යාපෘතිය පළමුවෙන්ම ආරම්භ කළේ පාපන්දු පිටි හතරක තරමේ භූමි ප්‍රමාණයක් ඇතුළත බෝග වර්ග වගා කරමිනි. පසුව හෙක්ටාර 200ක් දක්වා වගා කටයුතු ප්‍රසාරණය කරන්නට ජෝර්දාන බලධාරීහු කල්පනා කරති. මූලික ව්‍යාපෘතියේ සාර්ථක සහ අසාර්ථකභාවයන් සැලකිල්ලට ගෙන හෙක්ටාර 200හි වගා කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත. දැනට ලබන අත්දැකීම් මත පදනම් වෙමින් එයට පළමුව එනම් – 2020 වනවිට හෙක්ටාර 10ක භූමි ප්‍රමාණයක් වගා කර බලන්නට අපේක්ෂිතය. ඉන්පසු තවත් හෙක්ටාර 20ක් මේ තාක්ෂණයෙන් අස්වද්දන්නට සැලසුම් කර තිබේ.
ජෝර්දානය එරටට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයවලින් 98%ක්ම තවමත් ආනයනය කරන රටකි. වගා ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට හැකි වුවහොත් ආහාර ආනයනය නතර කර ආහාර අපනයනය කරන දවසක් එරටට උදා වනු ඇත.