ලොස් ඇන්ජලීස් පොලිස් ප්‍රධානියා පැවසුවේ අධික වේගයෙන් රිය පැදවීම නිසා ඔහුට පාරේ වංගුවක් ගැනීමට යාමේදී මෝටර් රිය පාලනය කර ගත නොහැකි වූ බවයි.
පොලිස් විමර්ශනයට අනුව, මෙම අනතුර සිදුව ඇති ස්ථානයේදී තිබිය යුතු උපරිම වේගය පැයට සැතපුම් 45 කි. නමුත් අනතුර සිදුවන විට ඔහු පැමිණ තිබෙන්නේ පැයට සැතපුම් 87 ක වේගයෙන් වූ අතර, මෝටර් රථය ගසේ හැප්පෙන විට වේගය පැයට සැතපුම් 75 ක් වූ බව ද හෙළි වී තිබේ.
තවද ටයිගර් වුඩ්ස්, මෙහිදී තිරිංගය පාගනු වෙනුවට නොසිතා ඇක්සලරේටරය පාගා ඇති බවට ද පොලිස් විමර්ශනය යෝජනා කරයි. තවද ඔහු මෙම අවස්ථාවේදී බීමතින් නොසිටි බව ද සනාථ වේ.
ගසේ හැප්පුණු මෝටර් රථය විසි වී ගොස් බිම පතිත වී තිබිණි.
මෙම අනතුරෙන් ටයිගර් වුඩ්ස්ගේ පාදයක අස්ථියක් පිපිරීම ඇතුළු හානි කිහිපයක් සිදුවිය. අනතුර සිදුව ඇති ස්වභාවය අනුව, ඔහු දිවි බේරාගැනීම බොහෝ දෙනෙකුට පුදුමයක් විය.
සාමාන්‍යයෙන් මෙවැනි විමර්ශනයක සොයාගැනීම් මේ අයුරින් ප්‍රසිද්ධ කරන්නේ නැත. නමුත් ටයිගර් වුඩ්ස් එය ප්‍රසිද්ධ කරන ලෙස ලොසැන්ජලීස් මෝටර් රථ පරීක්ෂණ අංශයෙන් ඉල්ලීමක් කර තිබිණි.
අනතුරෙන් රෝහල්ගත වූ ටයිගර් වුඩ්ස්, නැවත නිවස බලා ගියේ මාර්තු මැද සතියේය. සුවපත්වීම සහ පවුල කෙරෙහි සිය පූර්ණ අවධානය යොදවන බව ද වුඩ්ස් කියයි.