×

ප්‍රමාද වී පිටියට පැමිණි නිසා මැලේසියානු යගුලිය ශූරයාගේ රන් පදක්කම ආපසු ගනියි!

ප්‍රමාද වී තරග පිටියට පැමිණීමේ හේතුව මත 2020 තෝකියෝ පැරාලිම්පික් තරගයේ යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ මැලේසියානු ක්‍රීඩකයෙකුට සිය පදක්කම අහිමි වී තිබේ.


F20 පන්තියෙන් තරග වැදුණු ඔහු මුහම්මද් සායිද් සොල්කෙෆ්ලි ය.

ඔහුට ප්‍රමාද වී ක්‍රීඩා පිටියට පැමිණියත් තරග වදින්නට අවස්ථාවක් ලබාදුන්නේ එම ප්‍රමාදයට ‘තාර්කික හේතුවක්‘ තිබූ නිසා බව අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව පවසයි.

නමුත් තරග තීරකවරයා පසුව සොයාගෙන තිබනේනේ එය වලංගු  හේතුවක් නොවූ බව ය.

ඒ අනුව ඔහු විසින් දිනාගත් රන් පදක්කම ආපසු ගැනීමට තීරණය කෙරිණි. ඔහුගේ අභියාචනය ද අවලංගු කර තිබේ.

මේ තීරණය හේතුවෙන් මැලේසියාව සිය දැඩි කෝපය සහ කණස්සල්ල පළ කරයි. සමාජ මාධ්‍ය ජාලවල ද මේ වන විට විශාල වශයෙන් ඒ පිළිබඳ මත පළ වේ. #Ziyad යන හෑෂ්ටැගය ඔහු වෙනුවෙන්ම මේ වන විට ට්විටර් හි දැකගත හැකිය.

එක් මැලේසියානු දේශපාලනඥයෙක් පවසා තිබෙන්නේ,

‘‘මෙය අතිශයින්ම ලැජ්ජාසහගත වැඩක්. ඔහු ප්‍රමාද වී පැමිණියා නම් ඔහුට තරග කරන්නට දුන්න එක වැරදියි. මහන්සියෙන් උපයා ගත්, ලෝක වාර්තාවක් තැබූ රන් පදක්කම උදුරාගැනීම නෙවෙයි කළ යුත්තේ..‘‘

යනුවෙනි.

මැලේසියානු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය අහ්මද් ෆසියුස් අසුමි පවසා ඇත්තේ තමන් මෙම තීරණය ට අසතුටු වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඔහු විසින් මැලේසියානු ජාතික ක්‍රීඩා කවුන්සිලයට ද නියෝග කර තිබේ. මෙම ක්‍රීඩකයා ප්‍රමාද වී තරග බිමට පැමිණීම සම්බන්ධයෙන් යුක්රේනය විසින් පැමිණිලි කර ඇති බවට ද මේ අතර වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි