×

බ්‍රිතාන්‍යයේ #MeToo සමග ටෙලිග්‍රාෆ් පුවත්පත, මාධ්‍ය නිදහස අලුතෙන් ලියයි!

මාධ්‍ය නිදහස සහ ජනතා අයිතිය ගැන බ්‍රිතාන්‍යයෙන් ඉගෙන ගනිමු.


මහා බ්‍රිතාන්‍යෙය් සු/කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීමත් පිලිප් ග්‍රීන්, තමන්ට එරෙහිව #MeToo කතාන්දරයක් ටෙලිග්‍රාෆ් පුවත්පත විසින් පළකිරීමට නියමිත බව කල් තබා දැනගත්තේය. ඔහු වහාම කළේ පුවත්පතට එරෙහිව ඉන්ජන්ෂන් (වාරණ) නියෝගයක් ගැනීමයි. දැන් ටෙලිග්‍රාෆ් බෙල්ලෙන් හිර වී ඇතැයි ඔහු සිතන්නට ඇත. නමුත් මාධ්‍ය නිදහස යනු කුමක්දැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය හොඳින් දනිති. ටෙලිග්‍රාෆ් පුවත්පත කළේ, ඔවුන්ගේ ගවේෂණාත්මක සොයාගැනීම් සියල්ල ඇතුළත් වාර්තාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමයි. එනම්, හවුස් ඔෆ් කොමන්ස් හි හිටපු ප්‍රධානී සාමි මන්ත්‍රී මණ්ඩලයේ (House of Lords) ලේබර් පාක්ෂික පීටර් හේයින් සාමිවරයා (Peter Hain) වෙත වාර්තාව භාර දීමයි.

Lord_Hain

Lord_Hain

කම්කරු පක්ෂ නියෝජිතයා එය කියවාවිද? නැතිනම් ඉවත විසි කරාවිද?

ශ්‍රීමත් පිලිප් ග්‍රීන් එසේ මෙසේ කෙනෙකු නොවේ. ඔහු ආර්කේඩියා සමූහ ව්‍යාපාරයේ සභාපති ය. Topshop, Topman, Wallis, Evans, Burton, Miss Selfridge, Dorothy Perkins සහ Outfit යනාදී සමාගම් සමූහයක හිමිකරුය. ඇමරිකානු ඩොලර් බිලියන 5ක අධික වත්කම් ඇතත්, ඔහු සිය ව්‍යාපාර බංකොළොත් බව පවසා සේවකයන් ගෙදර යවා, තවම හිඟ දීමනා ඩොලර් මිලියන ගණනක් නොගෙවා තබාගෙන සිටින අයෙකි. ධනයෙන් සහ බලයෙන් හිස උදුම්මාගත් අය පසුපස අතීතයේ කළ පව් පස්සෙන් එළවන #MeToo සමාජ ව්‍යාපාරය බ්‍රිතාන්‍යය පුරා පැතිර යද්දී ශ්‍රීමත් පීටර් හෙයින් කාන්තාවන් සම්බන්ධයෙන් ‘සතෙක්‘ මෙන් හැසිරුණු බවට රාවයන් පැතිරෙන්නට පටන් ගත්තේය.

ශ්‍රීමත් ෆිලිප් ග්‍රීන්

ශ්‍රීමත් ෆිලිප් ග්‍රීන්

බ්‍රිතාන්‍යයේ ප්‍රකට සොලිසිටර්වරියක් එක්තරා ප්‍රකට ව්‍යාපාරිකයෙකු විසින් තමන්ව ලිංගික අපහරණයට ලක් කළ ආකාරය කියා සිටි අතර, එම ප්‍රකට ව්‍යාපාරිකයා කවුදැයි ටෙලිග්‍රාෆ් පුවත්පත සාක්ෂි ඇතිව සොයාගත්තේය. ඔවුන් සිය වාර්තාව පිළියෙළ කළේ එසේ හොඳින් කරුණු සොයාබැලීමෙන් පසුවය.

අවසානයේ සිදුවුණේ කුමක්ද? පීටර් හයින් සාමිවරයා ඒ සම්පූර්ණ වාර්තාවම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී හඬ නගා කියෙව්වේය!

ඔහු ඒ සඳහා යොදාගත්තේ තමන් සතු වූ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් ය.

පුවත්පතක කට වැසීමට ගිය, බ්‍රිතාන්‍යෙය් #MeToo අපවාදයේ කේන්ද්‍රීය චරිතය ‘ටොප් ෂොප් බොස්‘ බව අවසානයේ ලොවම දැන ගත්තේය.

පොඩි මිනිහා වෙනුවෙන්, ලොකු මිනිහාගේ සල්ලි බලයට යට නොවී මහජන නියෝජිතයන් වැඩ කළ යුත්තේ කෙසේදැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ සිදුවීම හරහා ලොවටම ආදර්ශයක් දුන්නේය.

පාර්ලිමේන්තු වරප්‍රසාදය යොදාගත යුත්තේ සත්‍යය වසං කිරීමට නොව, මහජනයාගෙන් හංගන සත්‍යය හෙළි කිරීමට බව මේ කම්කරු නායකයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හරහා ලොවට පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු පරමාධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍යය යනු දෙකක් නොව එකක් බව වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ නිර්මාතෘවරුන්, වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රම ඇති, ලංකාව ද ඇතුළු සියලු අතීත යටත් විජිතවලට මිල කළ නොහැකි පූර්වාදර්ශයක් ද ලබාදුන්නේය.

තවද, ජනතා පරමාධිපත්‍යය යනු, බලය ලැබුණාට පසු හිතේ හැටියට පිනුම් ගැසීම නොව, එයට එහා ගිය බවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කදිමට පෙන්වා දුන්නේය. ඒ, කථානායක පීටර් හයින් නියම ප්‍රජාතන්ත්‍රවාදියෙකු මෙන් හැසිරුණු නිසාය. හිටපු ලේබර් පක්ෂ නායක පීටර් හයින්, මහජන සුබසිද්ධිය වෙනුවෙන් මෙම අනාවරණය පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කළ යුතුම දෙයක් බව විශ්වාස කළේය. ‘‘මේ අන්දමින් පාර්ලිමේන්තුව කටයුතු කිරීම, පාර්ලිමේන්තුව නිරෝගී බවත්, ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන බවත් පෙන්වා දෙනවා‘‘ යැයි ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ නායක සහ හිටපු වෙළඳ ලේකම් වින්ස් කේබල් පවා පවසන්නේ මේ තත්වය තුළ ය.

ටෙලිග්‍රාෆ් පුවත්පතට තවමත් වාරණය තිබෙන බව ඇත්තකි. ඔවුන් පිලිප් ග්‍රීන්ගේ නම නොකියා පුවත් පළ කිරීමට සිදුවී ඇති බව ද ඇත්තකි. නමුත් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය, වාරණ නියෝගයකින් සීමා කළ නොහැකි බව ඔවුහු අපට කියා දුන්නෝය. එනිසා ටෙලිග්‍රාෆ් පුවත්පත, නිවැරදි තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතිය හරහා ධනපතියෙකු විසින් ලබාගත් උසාවි නියෝගය පැරදවූ ආකාරය ඓතිහාසික වේ.

දැන් ශ්‍රීමත් පිලිප් ග්‍රීන්ගේ ‘ශ්‍රීමත්‘ හෙවත් ‘සර්‘ කොටස හැළෙන්නට ළඟ ය. ඒ, ඔහුට ලබාදී තිබූ නයිට් පදවිය මේ මහා අපවාදයත් සමග ඉවත් කරන්නට නියමිත නිසාය.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අතින් අප තවමත් සිටින්නේ යටත් විජිත යුගයේය. අපට වෙස්මිනිස්ටර් ක්‍රමය දායාද කළ ‘සුද්දා‘ දැන් සිටින්නේ අපට වඩා යුග ගණනක් ඉදිරියෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි