×

ලෝකයේ ප්‍රථම ‘තනිකම භාර‘ ඇමතිනිය

හුදෙකලාව සිය අමාත්‍යාංශ විෂයපථය බවට නිල වශයෙන් පත් කරගත් ලෝකයේ ප්‍රථම අමාත්‍යවරිය බිහිව තිබෙන්නේ එංගලන්තයෙනි. නූතන ලෝකයේ දුක්බර යථාර්ථය ඇගේ විෂයයි.


ලෝක දේශපාලන බල අධිකාරිය කෙතරම් පුළුල් වුවත් මනුෂ්‍ය ජීවිත පෙළන තනිකමට, හුදකලාවට, පාළුවට සහ කාන්සියට එමඟින් නිසි පිළිතුරක් මේ වනතුරු ලැබුණාද යන්න සැක සහිතය.

විශේෂයෙන්ම, රට වැසියන්ගේ හුදකලාභාවය ගැන ආමන්ත්‍රණය කෙරෙන අමාත්‍යය ධුරයක් ලොව කිසිදු රටක් තුළ පසුගිය දා වනතුරු ස්ථාපන නොවුණු බැව් නම් අතිශයෝක්තියක් නොවේ.

මේ තත්ත්වය උඩු යටිකුරු කරමින් මනුෂ්‍ය හුදකලාභාවය සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍ය ධුරයක් පිහිටුවන්නට බ්‍රිතාන්‍යයයේ අගමැතිනී තෙරේසා මේගේ පාලන අධිකාරිය සමත් විණ. ඒ අනුව අභිනව අමාත්‍ය ධුරයේ වැඩ භාරගත්තේ ට්‍රාසි ක්‍රොවුච් නමැති අමාත්‍යවරියයි.

මනුෂ්‍යයන් පෙළන හුදකලාභාවය සම්බන්ධයෙන් කටයුතු කරන ලොව පළමු අමාත්‍යවරිය වනු ඇත්තේ ද ඇයයි. සිය රට වැසියාගේ හුදකලාභාවය නැති කිරීමේ වගකීම ට්‍රාසි මත පැවරුණේ දැනටමත් ඈ දරණ ක්‍රීඩා සහ සිවිල් සමාජය පිළිබඳ අමාත්‍යය ධුරයේ කටයුතුවලට අමතරව බව සඳහන් වේ.

Ian Harrison photography

Tracey Crouch | Ian Harrison photography

හතළිස් දෙහැවිරිදි ට්‍රාසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වන්නට පළමුව විෂාදය නමැති මානසික රෝග තත්ත්වයෙන් පීඩා විඳි කෙනෙකි. විෂාදයෙන් පෙළුණු අතීතය සිහිගන්වමින් ඈ කියා සිටින්නේ එකල දැඩි අඳුරු ගතියක සහ දැඩි හුදකලාවක වසන්නාක් වැනි හැඟීමක් තමන්ට නිරන්තරයෙන්ම දැනුනු බවයි. එසේ වුවත් ට්‍රාසි දැන් හොඳ සුවයෙන් පසු වන්නීය. එහෙම නිරෝගී සුවය භුක්ති විඳින ට්‍රාසි යළිත් “පිස්සු වැටෙන්නේ” අනෙක් අයගේ තනිකම නැසීමේ වැඩ කන්දරාවෙන් හිස අවුල් වීම නිසයි. එයට හේතුව බ්‍රිතාන්‍යයේ වෙසෙන මිලියන ගණනක් ජනයාගේ තනිකම වැඩිවීමට හේතු සොයන්නටත් ඔවුන්ගේ තනිකම් දෝස නසන්නටත් ඇයට සිදුව තිබීමයි. නව ධුරය ස්ථාපනය කරමින් අගමැතිනී තෙරේසා මේ නම් පැවසුවේ නූතන ජීවන රටාව තුළ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් හුදකලාභාවයට පත්ව තිබීම සැබවින්ම කණගාටුවට කරුණකැයි කියාය.

මනුෂ්‍යය හුදකලාව නමැති විෂය සම්බන්ධයෙන් තෙරේසා මේ නව අමාත්‍ය ධුරය ස්ථාපනය කළේ පසුගිය වසරේදී එරට තුළ එළිදැක්වුණු ජෝ කොක්ස් කොමිෂන් වාර්තාව සැලකිල්ලට ගනිමිනි. මිලියන 9ක බ්‍රිතාන්‍යයන් පිරිසක් හෙවත් බ්‍රිතාන්‍ය ජනගහනයෙන් 14%ක් තනිකමෙන් පීඩා විඳින බැව් එම වාර්තාව පෙන්වා දෙයි. මේ නිසා වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් බිලියන 3.5ක පමණ අතිරේක වියදමක් දරන්නට සේවායෝජකයන්ට සිදුවන බවත් සඳහන් වේ.

හුදකලාභාවය පිළිබඳ ගැටලුව හුදෙක් බ්‍රිතාන්‍යයට පමණක් බරපතල ලෙස බලපා ඇති මහජන සෞඛ්‍ය ගැටළුවක් නොවේ. තනිකම නිසා වැඩිහිටියන් මරණයට පත්වීම ජපානයේ හැඳින් වෙන්නේ “කොදොකුෂි” යන විශේෂ පදයෙනි. එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වන අන්දමට කොදොකුෂි යටතට වාර්ෂිකව වැටෙන මරණ සංඛ්‍යාව අති විශාල ය. හුදකලා බවට පත්ව පීඩා විඳින ඇමෙරිකා පුරවැසියන් සංඛ්‍යාවත් බ්‍රිතාන්‍යයට දෙවැනි වන්නේ නැත. 2010 වසරේදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වන තොරතුරුවලට අනුව වයස අවුරුදු 45ට වඩා වැඩි වයස් සීමාවේ සිටින ඇමෙරිකා පුරවැසියන්ගෙන් තුනෙන් එකකටම තනිකම පිළිබඳ ගැටළු ඇත. ඇමෙරිකා ශල්‍ය වෛද්‍යය විවේක් මූර්ති සඳහන් කරන්නේ කාලයක් තිස්සේ දිනකට දුම්වැටි 15ක් බැගින් භාවිතයට ගන්නා කෙනෙකුගේ ජීවිත කාලය කෙටි වන්නේ යම් සේ ද, හුදකලා බව භුක්ති විඳින කෙනෙකුගේ ආයු කාලයත් එපරිද්දෙන්ම කෙටි වන බවකි.

පුද්ගලයන් හුදකලා තත්ත්වයට පත්වන්නට විවිධ හේතු තිබේ. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ පවුල් සංස්ථාව බිඳී යෑම, දික්කසාදය, රැකියා ස්ථානයේ ඇතිවන ගැටළු නිසා එකිනෙකෙකු අතර ඇතිවන දුරස්ථභාවය වැනි ගැටළු ය. දරිද්‍රතාව, විරැකියාව, ආබාධිත තත්ත්ව සහ සංක්‍රමණ වැනි හේතු නිසා ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයයේ පුද්ගලයන් වැඩි වශයෙන් හුදකලා තත්ත්වයට පත්වන බව අනාවරණය වී ඇත. විවිධ හේතු නිසා හුදකලා බවට පත්වන විවිධ වයස් ඛණ්ඩවල පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් වැඩ සටහන් දියත් කිරීම ට්‍රාසිගේ සැලසුමයි. අන්තර්ජාලය වැනි නවීන තාක්ෂණික පහසුකම් එම වැඩපිළිවෙලවලට ඈඳා ගන්නටත් ඈ සැලසුම් කර තිබේ. එයට අමතරව එක්දහස් නවසිය හැත්තෑව දශකයේදී ජපානයේ භාවිතයට ගැනුන සාර්ථක ක්‍රමයකුත් අත්හදා බලන්නට ට්‍රාසි තුළ බලාපොරොත්තුවක් ඇත. මේ ක්‍රමය හරහා සිදුවුණේ වැඩිහිටි නිවාස සහ කුඩා දරුවන් අධ්‍යාපනය ලබන ආයතන ඒකාබද්ධ කිරීමකි. එම ක්‍රමය ජපානය තුළ සාර්ථක වූ බැවින් ඔස්ට්‍රේලියාව, සිංගපූරුව වැනි රටවල් ද ඊට අනුගත වූයේය. විශ්‍රාමිකයන් සඳහාම තැනූ සුවිශේෂ ගම්මාන ලොව ඇතැම් තැන්වල ක්‍රියාත්මක වේ. වයස්ගතව හුදකලා තත්ත්වයට පත් අයවළුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට ඒ සංකල්පයත් සුදුසු බැව් ට්‍රාසි පවසන්නීය. මනුෂ්‍යයන් පෙළන හුදකලාව සම්බන්ධයෙන් කටයුතු කරන ලොව පළමු අමාත්‍යවරිය අනුගමනය කරන මේ වැඩපිළිවෙල දෙස කැනඩාව, ස්වීඩනය වැනි රටවල ව්‍යවස්ථා සම්පාදකයන් ඇස ගසාගෙන සිටින බවද “ටයිම්ස්” සඟරාව පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි