×

හයිරංකාරයෝ අතට අත දෙති. – දුෂ්ඨයන් ශ්‍රේෂ්ඨයන් වන අසීරු මොහොත – Update – 1

ට්‍රම්ප් සහ කිම් එකිනෙකාට අතට අත දී සිය සාකච්ඡා අරඹයි


සදාතනික වෛරක්කාරයන් බවට පත් වෙමින් සිටි රටවල් දෙකක රාජ්‍ය නායකයින් දෙදෙනෙක් අද (ජූනි 12) උදෑසන මුහුණට මුහුණ හමු වූහ. ඔවුන්ගෙන් එක් අයෙක් ‘කලාපයේ දඩබ්බරයා‘ ලෙස හැඳින්වෙන, ලොව අඩුවෙන්ම විදෙස් සංචාරයන්හි යෙදී ඇති රාජ්‍ය නායකයා වන උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ය. අනෙකාද ළදරුවෙක් මෙන් හැසිරෙන, හිතුමතේ තීරණ ගන්නා ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ය. ඇමරිකාව සහ උතුරු කොරියාව අතර විරසකය දශක ගණනාවක් පැරණි එකකි. ට්‍රම්ප් පදවි ප්‍රාප්තවීමෙන් පසුව තුන්වන ලෝක යුද්ධයක් හෝ න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දුර දිග යනු ඇතැයි සැක කෙරුණු මේ විරසකය, එකිනෙකා විසින් හුවමාරු කර ගත් තර්ජන ගර්ජන, අනතුරු ඇඟවීම්, තරහ වෛරය, කකුලෙන් ඇදීම්, එකිනෙකා පරයා යෑම්, සාහසික ප්‍රකාශ හා වහසි බස් යනාදී විවිධ ක්‍රමයන්ගෙන් ප්‍රකාශනයට පත් වෙමින් තිබිණි.

ඇයි මේ විරසකය?

උතුරු කොරියාව සහ ඇමරිකාව අතර දශක ගණනාවක් තිස්සේ පැවති විරකයට හේතු පොදුවේ පැවසීම සංකීර්ණ ය. ඇමරිකාව යනු ආර්ථිකමය වශයෙන් සංවර්ධිත  ධනවාදියාය. උතුරු කොරියාව යනු දියුණු වෙමින් පවතින ඒකාධිපති රාජ්‍යයකි. දෙවන ලෝක යුද්ධය විසින් කොරියානු අර්ධද්වීපය දෙකඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූවකි. 1950 වසරේ දී ඔවුන්ගේ විරසකයේ එක් සන්ධිස්ථානයක් වුයේ උතුරු කොරියාව විසින්ද කුණු කොරියාව ආක්‍රමණයේදී ඇමරිකාව විසින් දකුණු කොරියාවට දැක්වූ සහයෝගයයි. එදා හටගත් විරසකය අද වන තෙක්ම කිසිදු ලෙකින් අවසන් වී තිබුණේ නැත. උතුරු කොරියාව කෙමෙන් හුදෙකලා රටක් බවට හැරෙමින් සිටියේය.

මිලියන ගණනක් ජීවිතක්ෂයට පත් කරමින් 1950-1953 අතර සිදුවූ කොරියානු යුද්ධය අවසන් වූයේ හුදු සටන් විරාමයක් මත පමණි. ඒ අනුව උතුරු කොරියාව සහ දකුණු කොරියාව තවමත් තාක්ෂණික වශයෙන් යුධ වැදී සිටින රටවල් ය. එනම් දෙරට අතර තවමත් පවතිනුයේ සටන් විරාමයකි.

ඒ සියලු විරසක පසෙකින් තබා ජනපති කිම් ජොන් උන් සහ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර රාජතාන්ත්‍රික හමුවක් සිංගප්පූරුවේදී මේ මෙහොත වනවිට පැවැත්වේ. ඒ දෙපාර්ශව විසින්ම සන්නද්ධ කරගත් උපදේශක මණ්ඩලයක්ද සමඟිනි. සමස්ත ලෝකයම දත කට මැදගෙන බලා සිටින්නේ ඔවුන්ගේ හමුවේ අවසානය දෙසය.

ඔවුන් සිංගප්පූරුව තොරාගත්තේ ඇයි?
මෙම ඓතිහාසික හමුව සඳහා සිංගප්පූරුව තොරා ගැනීමට ප්‍රධානම හේතුව වන්නේ එය නිෂ්ක්‍රිය රටක් ලෙස ජාත්‍යන්තරය තුළ පවතින අදහසයි. එනම් කිසිදු බලවතෙක් කෙරෙහි සිංගප්පූරුව විශේෂ නැමියාවක් හෝ නැඹුරුතාවක් නොදැක්වීමයි. එමෙන්ම උතුරු කොරියානු තානාපති කාර්යාලයක් සිංගප්පූරුවේ පවතී. බොහෝරටවල උතුරු කොරියානු තානාපති කාර්යාල නැත. මේ අතර සිංගප්පූරුව සහ උතුරු කොරියාව අතර දිගු කාලීන වෙළඳ සම්බන්ධතාද පවතී. සිංගප්පූරුව තෝරාගැනීමේ අනෙක් හේතුව විරෝධතා පෙළපාළි හා අනෙක් ජන කැරළි සිංගප්පූරුව තුළ තහනම් වීමයි. මෙම දෙරට සිය හමුව සඳහා සිංගප්පූරුව තොරා ගැනීමට මේවා හේතු වන්නට ඇත.

කිම් ජොන් සහ ට්‍රම්ප් ඉතිහාසයේ ප්‍රථම වතාවට එකිනෙකා හමුවූ ඇමරිකානු සහ උතුරු කොරියානු නායකයින් දෙපළ වෙති. වසරක් තිස්සේ එහෙ මෙහේ යමින් තිබූ එකිනෙකා හමුවීමේ තීරණය විටෙක ප්‍රතික්ෂේප කළ ඔවුන් තව විටෙක කේවල් කළහ. සිංගප්පූරුවේ අති සුඛෝපභෝගී හෝටලයකදී මීට පැයකට පෙර ඔවුන් එකිනෙකා අතට අත දුන්නොය.‍ ඔවුන්ගේ සාකච්ඡාවල මූලිකම අදහස මෙන්ම අරමුණ බවට පත්වෙමින් තිබුණේ න්‍යෂ්ටික අවිහරණය  සම්බන්ධවයි.

අද ඔවුන්ගේ හමුව
එකිනෙකා සිය රටට අදාළ කොඩි ඉදිරියේ එකිනෙකාට අතට අත දී ගත්හ. මෙතෙක් එකිනෙකා කෙරේ දුරින් ඉඳ වාග් ප්‍රහාර එල්ල කර ගත් ඔවුන් එකිනෙකා ඒ කිසිවක් නොවුණ ගණණට මෙසේ අතට අත දුන්නද ඉදිරි පැය කිහිපය තුළ ඔවුනොවුන්ගේ සාකච්ඡාව කුමන අයරින් වේදැයි කිව නොහැක සමහර විට කිසිදු තීරණයකින් තොරව එය අවසන් විය හැක.

”මම ඇත්තෙන්ම සතුටු වෙනවා මෙම අවස්ථාව ගැන. අපි සාකච්ඡාව ආරම්භ කරන්නයි හදන්නේ විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් එය අවසන් වේවි….”

සාකච්ඡාව ආරම්භයේදීම ට්‍රම්ප් එසේ පවසා ඇත.

”ඇත්තෙන්ම මේ දක්වා ගමන දුෂ්කර වුණා බාධා තිබුණා. නමුත් ඒවා මැඩ පවත්වාගෙන අපි මෙහි පැමිණ තිබෙණවා.. උතුරු කොරියානු ජනපති වරයා සාකච්ඡාව අරඹා ඇත්තේ එසේය.

නායකයින් එකිනෙකා අතර සාකච්ඡාව විනාඩි 40ත් 50ත් තර පැවතෙනු ඇති අතර ඉන් පසු උපදේශක මණ්ඩලය සාකච්ඡා පවත්වනු ඇත.

ක්ෂණයෙන් ශ්‍රේෂ්ඨයෙකු වූ කිම් ජෝන් උන්

උතුරු කොරියානු ජනපති වරයාට මෙම අවස්ථාවම ඔහුගේ දේශපාලන ජීවිතයේ ලද විශාල ජයග්‍රහණයකි.

රුසියානු, චීන, සිරියා, දකුණු කොරියානු නායකයින් මේ වන විටත් උතුරු කොරියානු නායකයා ගැන සිය අවධානය යොමු කර ඇත. රුසියානු නායක ව්ලැඩිමියර් පුටින් මීළඟ සැප්තැම්බරයේ සිය රටට පැමිණෙන ලෙස කිම් ජෝන් උන්ට ආරාධනා කර සිටියේය. සිරියානු ජනපති අසාද් තමන් උතුරු කොරියානු සංචාරයක් සඳහා කැමැත්තෙන් සිටින බවට සිය අදහස් පවසා ඇත.

න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ රාජ්‍යන් ලෙස ලෝකය ඉදිරියේ විවෘත රටවල් අතර උතුරු කොරියාවද මින් පසු සම සමව සිටිනු ඇත.

මෙය මින් පෙර සිදුවන්නට තිබුණේ ඔහුගේ පියා හෝ සීයා අතිනි. නමුත් දශක ගණනාවක් තිස්සේ ඔවුන් සිය වෛරය හා එකටෙ‘ක කිරීම මිස ඇමරිකාව සමඟ සාමයක් ගොඩ නගා ගත්තේ නැත. ඒ නිසාම දශක ගණනාවත් ගිස්සේ ජාත්‍යන්තරය තුළ දුෂ්ඨ රටක් ලෙස උතුරු කොරියාව හංවඩු ගසනු ලැබීය.

නමුත් මින්පසු උතුරු කොරියානු නායකයා ලෝකයේ පැසසුමට ලක්වනු ඇත. සාකච්ඡා ප්‍රතිපලය කෙසේ වෙතත් අඩුම තරමේ ඔහුගේ උත්සහය ගැන ලෝකය කථාකරනු ඇත.

පසුගිය වසරේදී ආසියාව තුළ කොහේ හෝ උතුරු කොරියානු කොඩිය දැක ගැනීම දුර්ලභ විය. නමුත් දැන් සිය ආධිපත්‍ය සහ හිතුවක්කාරකම් නිසා විවේචනයට ලක් වූ කිම් ජොන් උන් ලෝකය හමුවේ පැසසුම් ලබන්නට පටන්ගෙන ඇත.

සමුළුවේදී අපේක්ෂා කළේ මොනවාද?

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුළ සිටම පවසා සිටියේ තමන්ට අවශ්‍ය උතුරු කොරියාවෙන් රසායනික අවි ඉවත් කිරීම බවයි. මෙතෙක් හිතුවක්කාර උතුරු කොරියානු ජනපතිවරයා වරින් වර සිය රසායනික අවි පෙන්වා ඇමරිකාව මෙන්ම ලෝකයම බය කළ අවස්ථා නැත්තේම නොවේ. උතුරු කොරියානු ජනපතිවරයා 2018 වර්ෂය ආරම්භ කරමින් පැවැත්වූ සිය ක‍ථාවේදී සිය ජනතාවය පැවසුවේ ලෝකය විනාශ කර දැමීමේ බොත්තම තමන් සතු වන බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මෙම හමුව ගැන අදහස් දක්වමින් කියා සිටියේ අමරිකාව විසින් න්‍යෂ්ටික අවිහරය සම්බන්ධව කොරියාවේ පූර්ණ එකඟත්වය බලාපොරොත්තු වන බවත් එහිදී උතුරු කොරියාවේ ආරක්ෂාව ගැන තමන් සහතික වන බවත්ය.

ට්‍රම්ප් කිම් හමුව ලෝකය වෙනස් කරාවිද?
තමන් සතු සියලු න්‍යෂ්ටික අවි අතහරින්නටනම් උතුරු කොරියාවට අවශ්‍ය මොනවාද? 1. ආරක්ෂාව 2. ජාත්‍යන්තර ගෞරවය 3. සශ්‍රීකත්වය(ආර්ථික සංවර්ධනය) යන කරුණු ත්‍රිත්වයයි. සැබවින්ම උතුරු කොරියාවට මේ දේවල් ලැබෙනු ඇති දැයි ඇමරිකාව තහවුරු කළ යුතුව ඇත. එනමුත් උතුරු කොරියාව සියයට සියයක් න්‍යෂ්ටික අවි භාවිතයෙන් ඉවත් වනු ඇතිදැයි යන්න සැක සහිතය.

තවත් අතකට කොරියානු අර්ධද්වීපයේ සියල්ලන්ම අවිහරණය කළ යුතුයැයි එනම් සියලු අවිවලින් නිදහස් විය යුතුය යන ඉල්ලීම ඉදිරියට එනු ඇත්තේ එවිට දකුණු කොරියාව සම්බන්ධයෙන් දශක ගණනක් මුළුල්ලේ ඇමරිකාව දක්වන පක්ෂග්‍රාහී ස්ථාවරය ප්‍රශ්නගත කරමිනි. ඇමරිකාව, එවිට උතුරු කොරියාවට පනවන සම්බාධකවල පටන් සියලුම සීමාකාරී සංරෝධනයන් හා ඇඟිලි ගැසීම්වලින් මුක්ත වන බටත්, දකුණු කොරියාව සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් නොදක්වන බවටත් සපථ කළ යුතුව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි