×

‘බයි බායි‘ කියමින් ට්‍රම්ප් සාකච්ඡා මේසයෙන් නැගිට යයි.

සති 3 ක් සම්පූර්ණ වෙමින් තිබෙන ඇමරිකානු රජය අකර්මණ්‍ය කළ අයවැය ගැටළුව අවසන් කිරීම සඳහා පැවති සාකච්ඡා මේසයෙන් නැගිට ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්පසුව ‘බයිබායි‘ යැයි ට්වීටයක් ද පළ කර තිබේ.


මේ ගත වෙමින් යන්නේ ඇමරිකානු මධ්‍යම රජය අකර්මණ්‍ය වීමේ 19 වැනි දිනයයි. මේ වන විට ෆෙඩරල් සේවකයන් ලක්ෂ 8 කට වැටුප් නොලැබේ.

මෙක්සිකානු දේශසීමාව ආවරණය කරමින් තාප්පයක් ගැසීමට ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ක මුදල සම්මත කරන තෙක් තමන් අයවැය අර්බුදය අවසන් කිරීමේ කිසිදු යෝජනාවකට අත්සන් නොකරන බව ට්‍රම්ප් කියා තිබිණි.

GETTY IMAGES
දැනට ඉදිකර තිබෙන ඇමරිකානු-මෙක්සිකානු දේශසීමාවෙන් කොටසක්- හොන්ඩියුරාස් දේශයට දිස්වන අන්දම| GETTY IMAGES

එසේම මෙම අර්බුදයෙන් පසු ප්‍රථම වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය අමතමින් මෙයට දෙදිනකට පෙර ට්‍රම්ප් කියා තිබුණේ එම තාප්පය ඉදි නොකිරීම මානුෂීය හා රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් බවට පත්විය හැකි බවයි. නමුත් මෙම ප්‍රකාශය ‘නැති තර්ජනයක් මවා පෑමක්‘ බව කියමින් නව කොංග්‍රස් කථානායිකා නැන්සි පෙලොසි එය දැඩි සේ විවේචනය කර තිබිණි.

ඊයේ මෙම අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කර ගැනීමට නැන්සි පෙලොසි සහ චක් ෂූමර් යන ඩිමොක්‍රටික් නායකයන් දෙපළ විසින් ට්‍රම්ප්ට ආරාධනා කර තිබිණි.

ට්‍රම්ප් සුපුරුදු පරිදි එහිදී ද ෂයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලා සිටියේය.

නැන්සි පෙලොසි නැවත වරක් එය තරයේ ප්‍රතික්ෂේප කළාය.

එවිට, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, මේසයට වැරෙන් පහර දී නැගිට කාමරයෙන් ඉවත් ව ගොස් ඇති අතර, එයින් නොනැවතී මෙම සිදුවීම ගැන ‘බයි බායි‘ යැයි කියමින් ට්විටර් සටහනක් ද තබා ඇත.

එම ට්විටර් සටහනේ තවදුරටත් දැක්වෙන්නේ, එම සාකච්ඡාව සඳහා ඔහු වැය කළ කාලය ‘සම්පූර්ණ නාස්තියක්‘ බවයි.

පෙර ලිපි:



‘‘තාප්පය ඕනෑමයි‘ – ට්‍රම්ප් නැවත කියයි.

ට්‍රම්ප් අතිශය බිය විය යුතු ඇමරිකාවේ බලවත්ම ගැහැණිය

ගිනි ජාලා සහ අවුල් ජාලා ගැන – ධවල මන්දිරයේ කතා කරන පින්තූර





#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි