තිස් දහසකට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලිගත් සුනාමි ඛේදවාචකයට අදට පහළොස් වසරකි.
ඉන්දියානු සාගරයේ හටගත් භූකම්පනයක ප්‍රතිචාරයක් වශයෙන් සාගර ජලය පොළවට ගොඩගැලීම නිසා විපතට පත් රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් විය.
ඒ 2004 දෙසැම්බර් 26 වන දිනයයි. නත්තල සමරා පැය විසි හතරක් ගතවනනට මත්තෙන් දිවයිනේ වෙරළබඩ කළාපය ශෝකාන්තයකින් අඳුරු වී ඇසුනේ විලාපය පමණකි.
2005 වසරේ ජනවාරි පස් වන දින විට සුනාමි ඛේදවාචකයෙන් මිය ගිය පිරිස තිස් දහසකට අධික බවට බලධාරීන් පවසා තිබිණි.
සුනාමියේ බලපෑම වෙරළබඩ කලාපයට වඩාත් දරුණු විය. දකුණු හා නැගෙනහිර වෙරළබඩ කලාප ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක් මුහුදු රළපෙළේ උදහසට ලක්වූයේ ලක්ෂ පහකට අධික ජනතාව අවතැන් කරමිනි.
මරණයේ හෝරාව එතැනින් අවසන් වූයේ නැත.
සුනාමි ඛේදවාචකයත් සමඟ කොළරාව වැනි රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබිණි.
විවිධ ආසාදන තත්ත්ව මත වාර්තා වූ මරණ ප්‍රමාණයද සුළුපටු නොවීය.
මුහුදු රළපෙළ වෙරළ සිඹ ගත්තේ කවි සිත් තුළ පද වැල් ජනිත කරමිනි. ක්ෂිතිජය අසළ බැසයන හිරු දෙස බලමින් මහ සාගරයෙන් හමා ආ සුළඟ මැද තරුණ කැළ පෙම්බස් දෙඩුවේ ඉන්දියන් සාගරයේ පුංචි දූව ක අසිරිය විඳිමිනි.
එහෙත් එම ක්ෂණික මොහොතට සාගරය උරණ විය. නොකළ වරදකට සිය හස්තය විහිදීය. ජීවිත රැසක් අවසන් හුස්ම හෙලීය.
ජාතිභේද පක්ෂ පාට භේදයෙන් තොරව අවතැන් වූවන් හට සහන සැලසීමට ජනතාව එක්රැස් විය. ජාත්‍යන්තර සහය නොමඳව ලැබීය.
පහළොස් වසරකට පෙර සිදුවූ ඒ සුනාමි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත සිහිපත් කිරීමට අප මේ මොහොත යොදා ගන්නෙමු..
ප්‍රමෝද් චින්තක පීරිස්