×

නළ දරුවන් වෙනුවට විද්‍යාගාර දරුවන්

මිනිස් සිරුරෙන් බැහැරව ඩිම්භයක් සාර්ථකව වර්ධනය කරගත් පළමු අවස්ථාව හැටියට මෙය ඉතිහාස ගත වේ.


විද්‍යාගාර පෙට්‍රි දීසියක් තුළ මානව ඩිම්භයක් වර්ධනය කරන්නට බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පිරිසක් සමත් වෙති. ඔවුන් මේ හාස්කම කර තිබෙන්නේ නොමේරූ මිනිස් ඩිම්භ කෝෂ පටක ලබාගෙනය. ඩිම්භ කෝෂයෙන් ලබාගත් ඉතා කුඩා කොටසක අඩංගු සෛලවලින් ඩිම්භ දහස් ගණනක් නිපදවා ගන්නට නව ක්‍රමය භාවිතයෙන් හැකියාව ලැබී ඇති බව විද්‍යාඥයෝ පවසති. මිනිස් සිරුරෙන් බැහැරව ඩිම්භයක් සාර්ථකව වර්ධනය කරගත් පළමු අවස්ථාව හැටියට මෙය ඉතිහාස ගත වේ.

පර්යේෂණයට නායකත්වය දී තිබෙන්නේ එක්සත් රාජධානියේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එව්ලින් ටෙල්ෆර් සහ විද්‍යාඥයන් පිරිසකි. කාන්තාවන්ගෙන් ඩිම්භ කෝෂ සෛල ඔවුන් පළමුව ලබාගෙන ඇත. අවුරුදු 25ත් – 39ත් අතර වයස් ඛණ්ඩයේ පසුවන කාන්තාවන් දස දෙනෙකුගෙන් එම සෛල ලබාගත් බව පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ. සෛල ලබාගෙන තිබෙන්නේ කාන්තාවන් සිසේරියන් සැත්කම්වලට භාජනය කිරීමෙනි. ලබාගත් ඩිම්භ කෝෂ සෛල වර්ධනය කර තිබෙන්නේ ඉන් අනතුරුවයි.

සිරුරෙන් බැහැරව ඩිම්භ නිපදවා ගැනීම වඩාත් වැදගත් වන්නේ සරුභාවය පිළිබඳ ගැටළු ඇති කාන්තාවන්ටයි. නිසරු බව තහවුරුව ඇති කාන්තාවන්ට ඩිම්භ නිපදවා ගන්නට මෙය ඵලදායි ක්‍රමයක් වනු ඇත.

එමඟින් නොමේරූ ඩිම්භ අඩංගු පටක 87ක් සකසා ගන්නට විද්‍යාඥයෝ සමත් වූහ. එසේ වුවත් වර්ධිත තත්ත්වයේ ඩිම්භ ලබාගත හැකි වූයේ නවයක් පමණි. මෙලෙස සකස් කරගත් ඩිම්භ සංසේචිත තත්ත්වයට පමුණුවා ගත හැකිද යන්න දැනට පවත්නා ගැටළුවයි. එම ඩිම්භ සංසේචිත තත්ත්වයට පමුණුවා ගන්නට හැකි නම් එය විශාල ජයග්‍රහණයක් වනු ඇති බව මහාචාර්ය එව්ලින් ටෙල්ෆර් පවසන්නීය. එය තහවුරු වුවහොත් එවැනි ඩිම්භ ආකාර දෙකකින් ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත.

නල දරුවන් ඇතිකර ගැනීම ඉන් එක භාවිතයකි. අනෙක් භාවිතය මතු ප්‍රයෝජනය සඳහා ඩිම්භ සංරක්ෂණය කර තැබීමයි. සිරුරෙන් බැහැරව ඩිම්භ වර්ධනය කර සංසේචිත තත්ත්වයට පමුණුවා ගැනීම සාර්ථක වුවහොත් නල දරුවන් ඇති කරගැනීමේ සම්ප්‍රදායද උඩු යටිකුරු වනු ඇත. මේ අන්දමට ඩිම්භ වර්ධනය කරගැනීම වාසි සහගත බව මහාචාර්යය එව්ලින් ටෙල්ෆර් පෙන්වා දෙන්නීය. “… මිනිස් සිරුරෙන් බැහැරව ඩිම්භයක් වර්ධනය කරගැනීම, සාඵල්‍යතා ප්‍රතිකාර ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළනවා. … මෙය ඉතාමත් වාසිදායක තත්ත්වයක් බව පැහැදිලියි. එසේ වුවත් අවශ්‍ය වන්නේ ප්‍රායෝගිකව මෙය භාවිතයට ගැනීමේ ශාක්‍යතාව වර්ධනය කිරීමයි. හෝර්මෝන උත්තේජනයන්ගෙන් ඩිම්භ ලබාගන්නවාට වඩා වැඩියෙන් මේ ක්‍රමය යටතේ ඩිම්භ ලබාගන්න පුළුවන් බව න්‍යායාත්මක වශයෙන් සනාත වෙනවා. ඒ වගේම එපමණ ඩිම්භ සංඛ්‍යාවක් ලබාගන්න ආර්තව චක්‍ර ගණනාවක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. … මේ අනුව නල දරුවන් ලබාගැනීමේ සාම්ප්‍රදායික ක්‍රමයට මෙය විකල්පයක් වනවාට සැකයක් නැහැ. …” සිරුරෙන් බැහැරව ඩිම්භ නිපදවා ගැනීම වඩාත් වැදගත් වන්නේ සරුභාවය පිළිබඳ ගැටළු ඇති කාන්තාවන්ටයි. නිසරු බව තහවුරුව ඇති කාන්තාවන්ට ඩිම්භ නිපදවා ගන්නට මෙය ඵලදායි ක්‍රමයක් වනු ඇත.

මෙලෙස ඩිම්භ වර්ධනය කිරීම, පිළිකා නිසා පීඩා විඳින කාන්තාවන්ටත් ආර්තවාභාවයේ මුල් අවධියේ පසුවන කාන්තාවන්ටත් යම් යම් හේතු නිසා දරුවන් ලැබීම ප්‍රමාද කරන කාන්තාවන්ටත් සුබ ආරංචියක් වැනි ඇති බව පැවසේ. මෙවැනි තාක්ෂණයක් භාවිතයට ගෙන ඩිම්භ වර්ධනය කිරීම මින් පෙර අත්හදා බලා තිබෙන්නේ මීයන් සම්බන්ධයෙන් පමණි. මීයන්ගෙන් ලබාගත් ඩිම්භ පටකවලින්, සරු ඩිම්භ වර්ධනය කරගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. බැහැරදී වර්ධනය කරගත් ඩිම්භ සංසේචනය කරවිය හැකි බව විද්‍යාඥයන්ට 1996දී තහවුරු විණ. එවැනි ඩිම්භයකින් මීයකු ජනනය කිරීම ද සිදු වූයේය. ඌ හැඳින්වුණේ “එග්බර්ට්” යනුවෙනි. එග්බර්ට් උපත් සිටම දුර්වල තත්ත්වයෙන් පසු වූ බව සඳහන් වේ. පසුව උගේ සිරුර ස්ථුල වන්නට ද පටන් ගත්තේය. එමඟින් ඇතිවුණු සංකූලතා හේතුවෙන් ඌ ඉතා ඉක්මනින්ම මිය ගියේය. එසේ වුවත් විද්‍යාගාර තුළ වර්ධනය කරගන්නා ඩිම්භ සංසේචනයෙන් සාමාන්‍ය සහ නිරෝගී දුහිතෘන් ලබාගැනීම මීයන් සම්බන්ධයෙන් මේ වනවිට සාර්ථක වී තිබේ. mail online ඇසුරෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි